Abiyoga Jayaganna Upakrama අභියෝග ජයගන්නා  උපක්‍රම

 

කෘෂිකාර්මික රටක් වන ශ‍්‍රී ලංකාව විවිධ ආහාර බෝග නිෂ්පාදනයෙන් ද ඉහළ තැනක සිටී. මෙකී කාර්යය ඉටු කිරීමෙහි ලා ප‍්‍රධාන වගකීම පැවැරී ඇත්තේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙතටයි. එහිලා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පසුගිය දශක නවයක් තුළ විශිෂ්ට කාර්යභාරයක් ඉටුකරන ලදී. කලින් කලට පැමිණෙන අභියෝගවලට මුහුණ දෙමින් ඒවා ජය ගැනීම සඳහා උපාය මාර්ග සකසා ක‍්‍රියාවට නැංවීමෙන් ආහාර බෝග ක්ෂේත‍්‍රයේ යම් ස්ථාවරත්වයක් ලබා ගැනීමට හැකියාව ලැබී තිබේ.එහෙත් ගෝලීීයකරණයත් සමඟ වර්තමානයේ අභියෝග රැසකට මුහුණ දීීමටත් ඒවා ජය ගැනීමට නව තාක්‍ෂණය සහිත අනාගත උපාය මාර්ග අනුගමනය කිරීමටත් සිදුවී ඇත. වර්තමාන ප‍්‍රධාන අභියෝග වනුයේ ඉඩම් හා ජල සම්පත් අඩුවීම, නිෂ්පාදනය හා ලාභය අඩුවීම සහ නිදහස් වෙළෙද ප‍්‍රතිපත්ති තුළ කෘෂිකර්මයට ඇති තරගකාරිත්වය යන ඒවාය. මෙම අභියෝග ජය ගැනීම සඳහා අපට තාක්‍ෂණිකව ආර්ථිකව සහ පාරිභෝගිකව යෝග්‍ය වූ සමාජය පිළිගත් දියුණු කෘෂිකාර්මික තාක්‍ෂණයන් අවශ්‍ය වේ.මෙම අභියෝග ජයගැනීමෙහිලා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දර්ශනය වී ඇත්තේ “ජාතියේ සෞභාග්‍යය උදෙසා කෘෂිකාර්මික විශිෂ්ටත්වය අත්පත් කර ගැනීම” යන්නයි. මේ සඳහා ප‍්‍රධාන වශයෙන් පර්යේෂණ, ව්‍යාප්ති, බීජ හා රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය සහ පැළෑටි සංරක්‍ෂණය හා පාංශු සංරක්‍ෂණ පනත් කි‍්‍රයාවට නැංවීම, පළිබෝධනාශක ලියාපදිංචි කිරීම සහ ජාන සම්පත් සංරක්‍ෂණය කිරීම වැනි සේවාවන් රැසක් ද ඉටු කරයි.මෙහිලා කෘෂිකර්ම ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛස්ථානය ලබා දී ඇත්තේ වී, එළවළු, පළතුරු, අල බෝග, රළු ධාන්‍ය, මාශ බෝග, තෙල් බෝග, සමහර කුළු බඩු, මල් හා විසිතුරු පැළවලටය. මෙකී ක්ෂේත‍්‍රයයන්ගෙන් ජාතික නිෂ්පාදනය හා ඵලදායිතාවය උදෙසා මහත් වූ දායකත්වයක් ලැබී තිබේ. නව ප‍්‍රබේද හඳුන්වා දීම, නව තාක්‍ෂණික ක‍්‍රම අනුගමනය කිරීම, පසු අස්වනු හානිය අවම කිරීම, විදේශ වෙළෙඳපළ පුළුල් කිරීම, ව්‍යාප්ති උපායමාර්ග අනුගමනය සහ ගුණාත්මයෙන් යුත් බීජ හා රෝපණ ද්‍රව්‍ය ලබා දීම මගින් විශිෂ්ට ප‍්‍රගතියක් අත්පත් කර ගැනීමට හැකි වී තිබේ.

 

ශ‍්‍රී ලාංකික අපගේ ප‍්‍රධාන ආහාරය වන්නේ බත් ය. දේශීය සහල් පරිභෝජනය ඉහළ ගොස් ඇති අතර, ගුණාත්මක බවින් යුත් සහල් වෙළෙඳපොළට සැපයිය යුතුව ඇත. වී ක්ෂේත‍්‍රයේ ඇති ප‍්‍රධාන ගැටලු වන්නේ අස්වැන්න ඒකාකාරී වීමත්, විභව අස්වැන්න හා ගොවියා ලබන අස්වැන්න අතර වෙනස, ඉහළ නිෂ්පාදන වියදම හා අඩු ලාභය, සහල්වල අඩු ගුණාත්මය හා වෙළෙඳපොළ ගැටලු යන ඒවාය.මෙම ගැටලු නිරාකරණය කිරීම උදෙසා වැඩි අස්වනු විභවයක් ඇති ප‍්‍රභේද අභිිජනනය කිරීම, විභව අස්වැන්න හා ගොවියා ලබන අස්වැන්න අතර පරතරය අවම කිරිම, වී බුසලක් නිෂ්පාදනය කිරීම සඳහා යන වියදම අඩු කිරීම, සහල්වල ගුණාත්මක බව ඉහළ නැංවීම අරමුණු කරගත් වැඩසටහන් ගණනාවක් කි‍්‍රයාත්මක කෙරේ. මේ හැර වී නිෂ්පාදනය ඉහළ දැමීම අරමුණු කර ගනිමින් ධාන්‍යාගාර වැඩ සටහනක් කි‍්‍රයාත්මක කෙරේ. අම්පාර හෙක්ටයාර 52,035 ක් ද, අනුරාධපුර 53,298 ක් ද, පොළොන්නරුව 64,103 ක් ද, මහියංගන 30,358 ක් ද, හම්බන්තොට 37,923 ක් ද, මඩකළපුව 19,800 ක් ද, මන්නාරම 9893 ක් ද වශයෙන් තෝරාගත් දිස්ති‍්‍රක්ක හා ප‍්‍රදේශ හතක හෙක්ටයාර 267,590 ක් ආවරණය වන පරිදි මෙම වැඩසටහනට අනුව අවශ්‍ය තාක්‍ෂණික යෙදවුම් ලබා දෙමින් වී නිෂ්පාදනය ඉහළ නැංවීමට පියවර ගෙන තිබේ. මේ හැර සහතික කරන ලද බිත්තර වී ජාතික අවශ්‍යතාවයෙන් 15% කට වැඩි ප‍්‍රමාණයක් සැපයීම ද සාර්ථකව ඉටු කරමින් සිටී.එළවළු නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ වර්තමාන තත්ත්වය සලකා බැලූ කළ සියලුම පහතරට එළවළු ප‍්‍රභේද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් දෙමුහුන් කර තිබේ. එසේම උඩරට එළවළු නිෂ්පාදනයේ වැඩිවීමක් දක්නට ලැබේ. කෙටි කලකින් තක්කාලි හා බටු නව දෙමුහුන් වර්ග ගොවීන්ට හඳුන්වා දීමට නියමිත ය. එළවළු අපනයනය ද ඉහළ ගොස් තිබේ.මිල උච්ඡාවචනය වීම හා වාරයේදී මිල අඩුවීම, ගුණාත්මක බීජ ලබා ගැනීමේ අපහසුතාවය, පොහොර, පලිබෝධ නාශක අවිධිමත් ලෙස භාවිතා කිරීම, වර්ෂාපෝෂිත තත්ත්වය යටතේ වගාවට නැඹුරු වීම සහ පසු අස්නවනු හානිය එළවළු වගාවේ ප‍්‍රධාන ගැටලුයි.

 

මෙම ගැටලු නිරාකරණය උදෙසා වසර පුරා වගා කිරීම (ආරක්‍ෂිත ගෘහ ප‍්‍රයෝජනයට ගැනීමෙන්) සුදුසු පසු අස්වනු තාක්‍ෂණයන් හඳුන්වා දීම, පොහොර පළිබෝධ නාශක භාවිතය විධිමත් කිරීම හා එළවළු අපනයන වැඩි කිරීමටත් පියවර ගැනේ.පළතුරු වගාවේ ප‍්‍රගතියක් ලබා ඇති අතර, නැවුම් පළතුරු අපනයනයේදී සැලකිය යුතු ආදායමක් ලැබීමට නැඹුරුතාවක් ඇතිවී තිබේ. පළතුරු වගාවේ ප‍්‍රධාන ගැටලු වන්නේ වතු වගාවක් ලෙස සංවිධානය විම සීමාවීම, වාරයේදී ඬෂ්පාදනය වැඩිවීම නිසා අතිරික්ත නිෂ්පාදනය නාස්තිය, වැඩිදියුනු කළ ප‍්‍රභේද හිඟවීම, ප‍්‍රවාහන හා ගබඩා කිරීමේ දුර්වලතා නිසා ඇතිවන පසු අස්වනු හානිය සහ සැකසීමේ තාක්‍ෂණ පහසුකම් අඩුවීම යනාදියයි.මෙම ගැටලු ජය ගැනීම සඳහා උපාය මාර්ග ලෙස පළතුරු ගම්මාන පිහිටුවීම, ගුණාත්මක රෝපණ ද්‍රව්‍ය නිපදවීම, පසු අස්වනු තාක්‍ෂණික ක‍්‍රම අනුගමනය කිරීම, ඉදිරි ගිවිසුම් සහිත සුදුසු වෙළෙඳපළක් ඇතිකිරීම, ඌණ භාවිත පළතුරු සංවර්ධනය, අපනයනය අරමුණු කර ගත් කාබනික පළතුරු නිෂ්පාදනය දියුණු කිරීමට බලාපොරොත්තු වේ.මේ හැර 2005 වසරේදී මොනරාගල ප‍්‍රදේශයේ අක්කර 150 ක දොඩම් වගාව අලුතින් ආරම්භ කිරීමට ද දැනට පවතින අක්කර 150 ක් පුනරුත්ථාපනය කිරීමට ද පියවර ගෙන තිබේ. අක්කර 5000 ක් දක්වා මෙම වැඩපිළිවෙළ වාර්ෂිකව ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වේ.බඩඉරිඟ, මිරිස්, ලූනු සහ මුං වැනි වෙනත් ක්ෂේත‍්‍ර බෝග වගාවේදී මහඉලුප්පල්ලම ප‍්‍රභේද ජනප‍්‍රිය වී ඇත. වියලි කලාපයට උචිත කෘෂි තාක්‍ෂණයන් දියුණු කිරීමටත්, ප‍්‍රථම වරට දෙමුහුන් බඩඉරිඟ ප‍්‍රභේදයක් නිපදවීමත් මෑත කාලයේ ලබන ලද ජයග‍්‍රහණයන් ය.අඩු නිෂ්පාදකතාවය, ජල හිඟය, නව තාක්‍ෂණයට හුරුවීම අඩු වීම, ගුනාත්මක බීජ හිඟය, වෙළෙඳපොළ සංවිධානයේ දුර්වලතා වෙනත් ක්ෂේත‍්‍ර බෝගවගාවට බලපාන ගැටලු වේ. මෙම ගැටලු මඟහැරීම සඳහා වැඩිදියුණු තාක්‍ෂණය යෙදවීම, ගොවි කණ්ඩායම් මඟින් නිෂ්පාදනය, වෙළෙඳපොළ තත්ත්වය දියුණු කිරීම, ගුණාත්මක බීජ සැපයීම සහ අඩු වියදම් ගබඩා හා සැකසීමේ තාක්‍ෂණ සැපයීමට අරමුණු කෙරේ.