Aglonima Kween ඇග්ලොනිමා ක්වීන්

 

ඔබේ ගෙඋයන අලංකාර කරන ශාක ආදායම් මාර්ගයක් කරගත හැකි නම් එය ද සිත් සතුටු කරන කරුණකි. ශාක අතරින් දේශීය වෙළෙඳ පොළේත් විදේශීය වෙළෙඳ පොලේත් විසිතුරු පති‍්‍රක ශාක සඳහා ඇත්තේ විශාල ඉල්ලුමකි.අපනයන වෙළෙඳ පොළ දේශීය වෙළෙඳ පොළට වඩා සුවිශේෂී වැදගත් කමක් දරනු ලබන්නේ මහා පරිමාණයෙන් ඇණවුම් ලැබෙන නිස යි. සාමාන්‍ය වගා කරුවකුට විදේශයන් සඳහා ඍජු ඇණවුම් ලබා ගත නොහැකි අතර, වක‍්‍ර අපනයන කරුවකු ලෙස මෙම කි‍්‍රයාවලියට දායක විය හැකි යි.ප‍්‍රවේශය වශයෙන් ඇග්ලොනිමා සිල්වර් ක්වීන් සහ ඇග්ලොනිමා මැලේ ක්වීන් ශාක දෙ වර්ගයේ තොරතුරු විමසා බලමු.අග්නි දිග ආසියාතික රටවල උපත ලබා ව්‍යාප්ත වී ඇති මෙම ශාක විශේෂ ඇරේසියේ (ARACEAE) කුලයට අයත් වෙනවා. විසිතුරු පති‍්‍රක ශාක අතර විශේෂ තැනක් හිමි කර ගන්නා මෙම ශාක වල විශේෂත්වය වන්නේ පත‍්‍ර මත රිදී පැහයෙන් විචිත‍්‍ර රටා මැවී තිබීම යි. එක් එක් ආයතන අපනයනය කිරීමේ දී විවිධ ප‍්‍රමාණයන් ගෙන් යුතුව (සෙන්ටි මීර් 25 - 30 අතර) කරටි මිල දී ගනු ලබනවා. එහිදී කරටියේ ප‍්‍රමාණය, කොළවල හැඩය, රිදී පැහැය ආදිය විශේෂ අවධානයට ලක් වෙනවා. පත‍්‍රවල යටි පැත්තේ විවිධ ලප, පැල්ලම් සහ කෘමින් ඇලී ඇති පත‍්‍ර, ඉරී, කැඩී හෝ ඇද වී ඇති ඒවා අපනයනය සඳහා තෝරා ගන්නේ නැහැ. ලංකාවේ ග‍්‍රාමීය පෙදෙස්වල බහුලව දකින්නට ලැබෙන කෙටල පවුලට අයත් මෙම ශාක සාමාන්‍යයෙන් ඕනෑම පසක වගා කළ හැකි වුණත් වැලි මිශ‍්‍ර ලෝම පස වඩාත් සුදුසුයි. විෂ සහිත ශාක වන සිල්වර් සහ මැලේ ක්වීන් යුෂ ශරීර ගත වීම අන්තරාදායක බව ද විශේෂයෙන් මතක තබා ගත යුතුයි.

පැළ සිටුවීම ප‍්‍රචාරණය සිදු වන්නේ වර්ධක ප‍්‍රචාරණය (අලිංගික ප‍්‍රචාරණය) මගින්. ඒ සඳහා ශාකයේ අග‍්‍රස්ථය සහ තවාන් කර පැළ ලබා ගැනීම සඳහා කඳ කැබැලිත් යොදා ගන්නට පුළුවන්.පැළ සිටුවන ස්ථානයේ පස අනුව වගා මාධ්‍යයේ යම් යම් වෙනස් වීම් කළ යුතු වෙනවා. සාමාන්‍ය ලෝම පසක් සහිත පොළොවට දිරා ගිය කොළ රොඩු, රළු වැලි (ග‍ඟේ වැලි) කොටස් එක බැගින් සහ කොහුබත් කොටස් බාගයක් මිශ‍්‍ර කර ගත් වගා මාධ්‍යයක් සුදුසුයි. ව්‍යාපාරික මට්ටමේ දී ස්ථීර භූමිය යොදා ගත යුතු අතර උස් පාත්ති සුදුසු නැහැ. පාත්තියේ පළල අඩි තුනක් විය යුතු අතර දිග ඔබට ඉඩ ඇති පරිදි සකස් කර ගන්න. එම පාත්තිවල අඟල් නවයක පරතරයක් සහිතව පැළ සිටුවන්න.

ජලය සැපයීමමෙම ශාක සඳහා ජලය අත්‍යවශ්‍යයි. වියළි කාලයේදී උදය හා සවස ලෙසින් දෙවරක් ජලය යෙදීම වඩාත් හොඳයි. සාමාන්‍යයෙන් පොළොව තෙත්ව තැබීම මෙම ශාක වල වර්ධනයට මනා පිටිවහලක්.

පොහොර භාවිතය රසායනික (අකාබනික) පොහොර යෙදීමේදී නයිට‍්‍රජන් (එන්) ප‍්‍රතිශතය වැඩි පොහොරක් යොදන්න. කාබනික දියර පොහොර ඉසීම සහ පසට කොම්පෝස්ට් යෙදීමෙන් යහපත් වර්ධන වේගයක් පවත්වා ගන්නට පුළුවන්. සෙවණ යෙදීම බොහොමයක් විසිතුරු පති‍්‍රක ශාක සේ ම මෙම දෙ වර්ගය ද සෙවණ පි‍්‍රය කරනවා. ස්වාභාවික සෙවණ නොමැති ස්ථානවල 50 - 60% සෙවණ දැල් මගින් ද සෙවණ ලබා දීමට පුළුවන්.

පළිබෝධ සහ රෝග පත‍්‍රවල යුෂ උරාබොන විවිධ කෘමි සතුන් මෙන් ම දළඹුවන්, ගොළු බෙල්ලන් සහ හංගොල්ලන් ගෙන් ද වගාවට හානි සිදුවිය හැකියි. මුලින් හඳුනා ගෙන අතින් ඉවත් කිරීම, සෝදා හැරීම ආදී ක‍්‍රම මගින් උවදුර මැඩලිය හැකි අතර, අවශ්‍ය විටෙක විෂ අඩු කෘමි නාශකයක් යෙදීමෙන් ද පහසුවෙන් පිටු දැකීමට පුළුවන්. බොහෝ පත‍්‍ර වල ලප, පුස් ආදිය පැතිරීමක් සිදුවන්නේ දිලීර අසාදනයකදී යි. ඒ සඳහා දිලීර නාශකයක් ;යාදන්න. කෘමි හෝ දිලීර නාශක යෙදීම සඳහා උදය කාලය තෝරා ගන්න. පසු දිනයේ එම විෂ රසායන හොඳින් සේදී යන සේ ජලය යොදන්න. පළමුවර යොදා දින හතකින් නැවත කෘෂි රසායන යොදන්න.

අස්වැන්න නෙලීම පැළ සිටුවා මාස 1 - 2 ත් අතර කාලයකදී පළමු අස්වැන්න ලබා ගත හැකියි. එයින් මාස 3 - 4 ත් අතර කාලයකදී යළිත් අස්වනු නෙලීමට පුළුවන්. මෙම දෙවන අවස්ථාවේ විශේෂ වාසියක් අත් වෙනවා. එනම් මුල්වර කරටිය කැපූ ස්ථානයෙන් අංකුර 2 - 4 ත් අතර වැඩී ඒමයි. සෑම අස්වනු නෙලීමකින් ම පසු පාත්තියට පොහාර යෙදිය යුතු යි. මෙය අත්‍යවශ්‍ය සාධකයක්. දෙවන වර එක් ශාකයක අංකුර කිහිපයක් වැඩෙන නිසා නිසි පෝෂණය නො ලැබේ නම් ප‍්‍රමිතියට අනුකූල වර්ධනයක් සිදුවන්නේ නැහැ. අපනයනය සඳහා වසර පුරා ම අඛණ්ඩ ඉල්ලුමක් තිබෙන නිසා වගා කරුවන් අතර මෙන්ම අපනයන කරුවන් අතර ද අග්ලොනිමා සිල්වර් ක්වීන් සහ මැලේ ක්වීන් ඉතාමත් ජනපි‍්‍රය වී තිබෙනවා.