Apeema Gaha Kola අපේ ම ගහ කොළ

 

අපේ රට අග්නිදිග ආසියාවේ     ඉහළම ජෛව විවිධත්වය ඇති රටයි. අපේ රටේ ඇති බොහෝ ජීවීන් හා සමහර ශාක ලෝකයේ කිසිම තැනක දක්නට නොලැබේ. ඒ අනුව මේ ජෛව සම්පත් අපට ඇති ප‍්‍රධානතම ස්වභාවික සම්පත ලෙස පෙන්වා දිය හැකි ය.එසේ වුවත් බටහිර රටවල් මගින් අපේ රට ඇතුළු අග්නිදිග ආසියාවේ රටවල ආවේණික ශාකවලට පේටන්ට් ලබා ගැනීමේ ජෛව මංකොල්ලයක් දැන්් දරුණු ලෙස කි‍්‍රයාත්මක වෙයි.ඒ අනුව දැන් අපේ ශාක හා ඖෂධ පැළෑටි සංයෝග සියයකට පමණ අමෙරිකාව, ජපානය, ඔස්ටේ‍්‍රලියාව හා යුරෝපීය රටවල් විසින් පේටන්ට්      බලපත‍්‍ර ලබාගෙන තිබේ.මීට අමතරව මෙරට ඇති ක්ෂුද්‍ර ජීවී විශේෂ 3 කට හා එක් මැලේරියා පරපෝෂි විශේෂයක ඇති ප්‍රෝටීන වර්ගයකට ද අමෙරිකාව පේටන්ට් ලබාගෙන ඇතැයි පරිසරවේදීහු පෙන්වා දෙති.පරිසර අධ්‍යයන සංගමයේ පරිසර නීතිඥ ජගත් ගුණවර්ධන මහතා       පවසන පරිදි පේටන්ට් අයිතිය යනු බුද්ධිමය දේපොළ අයිතිවාසිකමකි. පේටන්ට් යනු වානිජමය වටිනාකමක් ඇති නව නිර්මාණයක් සඳහා නිශ්චිත කාල සීමාවක් සඳහා ලබාගෙන අනන්‍ය අයිතිවාසිකමකි. ඒ අයිතිවාසිකම ලැබුණු විට ඒ නිර්මාණය ඒ අයිතිය ලැබුණු පුද්ගලයාගේ හෝ සමාගමේ හෝ අවසරය නොමැතිව වෙනත් අයකු විසින් නිපදවීම අලෙවි කිරීම හා        ආනයනය සපුරා තහනම්ය.

 

අමෙරිකා එක්සත් ජනපදය මේ පේටන්ට් අයිතිය උපයෝගි කරගනිමින් අපේ රටේ ශාක වලට හා අපේ රටේ ඇති ඖෂධ පැළෑටි සංයෝග  ගණනාවක් සඳහා ද පේටන්ට් ලබාගැනීම පසුගිය වසර 5 පමණ කාලය තුළ ආරම්භ කළේ ය. ලංකාවේ බුද්ධිමය දේපළ නීතිය අනුව ශාකවලට හා ඖෂධීය සංයෝගවලට පේටන්ට් ලබාගත නොහැකි වුවත් අමෙරිකාවේ දී ඒවාට පේටන්ට් අයිතිය ලබාගත හැකි ය.අද අමෙරිකාවේ පවතින මේ ලිහිල් නීතිය නිසා වෙනත් රටවල බහු ජාතික සමාගම් ද අපේ රට ඇතුළු අග්නි දිග ආසියා රටවල නිපැයුම් සඳහා අමෙරිකාවෙන් පේටන්ට් ලබාගෙන ඇත.මේ අනුව අද අපේ රට ඇතුළු අග්නිදිග ආසියා රටවල ජෛව සම්පත් හා ජාන සම්පත් සඳහා දියුණු රටවල් ගණනාවක් ඉතා අපහසුවෙන් පේටන්ට් අයිතිය ලබාගැනීමට කටයුතු කර ඇත.මේ තත්ත්වය නිසා අපට අපේ ගහ කොළ හා එහි ද්වීතියික නිපැයුම් අපට අවශ්‍ය විධියට භාවිත කිරීමට අයිතිවාසිකම් නැති වේ. මෙහි දී         සිදුවන්නේ එම ද්‍රව්‍ය සම්බන්ධයෙන්් අපට ඇති පාරම්පරික අයිතිය පවා අපෙන් උදුරා ගැනීමයි.

 

ඉන්දියාවේ කොහොඹ ගසට පේටන්ට් බලපත‍්‍රයක් ලබාගත්තා මෙන් දැන් ශ‍්‍රී ලංකාවේ ඖෂධීය පැළෑටි හා වෙනත් ශාක ප‍්‍රභේද සියයකට පමණ ඇමෙරිකාව, ජපානය, ඕස්ටේ‍්‍රලියාව ඇතුළු රටවල් පේටන්ට් බලපත‍්‍ර ලබාගෙන තිබේ.බිනර ප‍්‍රභේදවලට අදාළව පේටන්ට් 6 ක් ද මුරුත ශාකයේ විවිධ ස්වරූපයේ මල් පිපෙන ප‍්‍රභේද 9 ක් සඳහා පේටන්ට් 9 ක් ද කොතලහිඹුටු සඳහා පේටන්ට් බලපත‍්‍ර 7 ක් ද කොහොඹ සඳහා පේටන්ට් බලපත‍්‍ර 4 ක් ද කෝමාරිකා සඳහා පේටන්ට් බලපත‍්‍ර 6 ක් ද ගම්මාලු ¼ඳහා පේටන්ට් බලපත‍්‍ර 9 ක් ද ලබාගෙන තිබෙනවා.මීට අමතරව කතුරුපිල,මාදං,කැකුණ තෙල්,කුරුඳු,සාදික්කා,ගොටුකොළ,මස්බැද්ද ආදියට ද බටහිර රටවල් පේටන්ට් ලබාගෙන තිබෙනවා." අපේ රටේ අලුතෙන් සොයා ගත් ක්ෂුද්‍රජීවීන් දෙදෙනෙක් සඳහා පේටන්ට් බලපත‍්‍ර 3 ක් ද මැලේරියා පරපෝෂිතයාගේ ශරීරයේ තිබෙන පෙ‍්‍රීටීන සඳහා සහ ඒ පෙ‍්‍රීටීන නිපදවෙන ජානය සදහා ලබාගත් පේටන්ට් කිහිපයක් ද අප කළ අධ්‍යයනයකදී හමු වුණා"පරිසර නීතිඥ ජගත් ගුණවර්ධන මහතා පවසයි.ජගත් ගුණවර්ධන මහතා පෙන්වා දුන් පරිදි අපේ කෝමාරිකාවලින් නිපදවූ ඖෂධ හා නිෂ්පාදන කි‍්‍රයාවලි 6 කට මේ අයුරින් අමෙරිකාව පේටන්ට් ලබා ගෙන තිබේ. සම පැහැපත් කිරීමට එරට විවිධ රෝග සඳහා ඖෂධ ලෙසත් මෙම ඖෂධ සංයෝග යොදා ගනී. ඒ අනුව US4966892, US4957907, US4917890, US4959214, US4851224, US4735935 යන පේටන්ට් බලපත‍්‍ර අංක ඒ සඳහා ලබාගෙන ඇත.අපේ මස්බැද්ද නම් ඖෂධ පැළෑටියට ජපානය ලබාගෙන ඇති පේටන්ට් අංකය  බ්ර්‍ථ1104692 ලෙස   අනාවරණය වී ඇත. අපේ වැල් රුක්අත්තන පැළෑටියට අමෙරිකාව දැන් පේටන්ට් බලපත‍්‍ර 6 ක් ලබාගෙන තිබේ. US5753790, US5628999, US 5925647, US 5681758, US 5917052, US 5625319 යන පේටන්ට් අංක ඒ සඳහා ලබා ඇතැයි පරිසරවේදීහු පෙන්වා දෙති.කොතල හිඹුටු පසුගිය කාලයේ      පිටරට ගෙන යෑම පිළිබඳ මහත්        ආන්දෝලනයක් ඇති විය. දැන්්           අමෙරිකාව දියවැඩියාවට ප‍්‍රතිකාර කිරීමට කොතලහිඹුටු යොදා ගැනීම පිණිස අංක  US 5691386 දරන පේටන්ට් බලපත‍්‍රය ද, හෙපටයිටිස් බී රෝගය සඳහා US 5650167 අංක දරන පේටන්ට් බලපත‍්‍රය ද ලබාගෙන ඇත. මීට අමතරව ජපානය ද කොතල හිඹුටුවලින්් දියවැඩියා රෝගය ස¼දහා ප‍්‍රතිකාර කිරීමට අංක  JP1029472 දරන පේටන්ට් බලපත‍්‍රය ලබාගෙන ඇතැයි අන්තර්ජාලය පෙන්නුම් කරයි.මේ අතර ජමනාරංවලින් කරිවිල වලින් හා මාදං වලින්් නිපදවන  ඖෂධයකට ද පේටන්ට් බලපත‍්‍රයක්  US 5900240) ලබාගැනීමට    අමෙරිකාව කටයුතු කර තිබේ. නෙල්ලි, ලුණුවිල, ගොටුකොළ යන ඖෂධීය පැළෑටි වලට ද බටහිර රටවල් පේටන්ට් ලබාගෙන තිබේ.කරඳමුංගු, වලගසාල්, හීන් බැබිල, කතුරුපිල, වැල් අල, සාදික්කා, මාසක්කා, ගොඩ කඳුරු කළුදුරු, පතෝල, වෙනිවැල් ගැට, මිනිමල්,ඇත්තෝඩ, මස් බැද්ද කරිවිල යනු ඖෂධ පැළෑටිවල ඖෂධීය සංයෝගවවලට ද ජපානය තවත් විශේෂ පේටන්ට් බලපත‍්‍රයක් JP 60054312 ලබාගෙන තිබේ. ජපානය නිසාන් තසුරුයි යකුගින් සමාගම මෙම බලපත‍්‍රය ලබාගෙන ඇත.විශ්ව විද්‍යාලයක් ජපානයේ කෝනල් විශ්ව විද්‍යාලයට පර්යේෂණ  කාර්යයක් ස¼ඳහා යැවීමට තැත් කළ ශාක සාර 907 ක් 1997 දී රේගු ජෛව විවිධත්ව බළකායට අසුවිය. අරළු, බුළු, නෙල්ලි, හීීන්් අරත්ත, කටු කරෝසන ඇතුළු ඖෂධීය පැළෑටි 900 කට අධික ගණනක් එහි අඩංගු විය. ඒවා පිටරටවල්වලට ගියා නම් ඒවාට ද පේටන්ට් ලබාගැනීමට ඉඩ කඩක් තිබිණි.මේ ජෛව සම්පත් මංකොල්ලය මගින් ඖෂධ වර්ග නිපදවා මුළු ලොවටම අලෙවි කොට අධික ලාභ ගන්නා බහු ජාතික සමාගම් රැසක්් බටහිර රටවල තිබේ. පරිසරවේදීන් පවසන පරිදි මේ ජාවාරම අවි ජාවාරමට සමාන ආදායමින් ලබා ගත හැකි එකකි.

 

අමෙරිකාව පමණක් එක් වසරක් තුළ දී ලොව වැසි වනාන්තරවලින් ලබා ගන්නා ඖෂධීය සංයෝග විකුණා ඩොලර් කෝටි 4500 ක් උපයන බව වාර්තා වෙයි. එසේ වුවත් ඒ පැළෑටිවල රාජ්‍ය භාගයවත් අදාළ රටවලට ලැබෙන්නේ නැත. ඒ අනුව මේ ජාවාරම නිසා අපට ආවේණික අපේ ගහ කොළ වලින් සල්ලි හොයන්නේ බටහිර ජාතීන් ය.මෙය වැළැක්වීමට කාටවත් බලයක් නැද්ද?1992 දී ශ‍්‍රී ලංකාව ලෝක ජෛව විවිධත්ව සම්මුතියට අස්සන් කර වසර 13 ක් ගත වී තිබුණ ද අපේ ජෛව සම්පත් සුරැකීමට පසුගිය කාලයේ කිසිම රජයක් නිසි පියවරක් ගෙන නොමැත. මීට අදාළ නීති කෙටුම්පතක් සකස් කර අවසන් වී ඇතත් එය තවමත්  කි‍්‍රයාත්මක නොවීම ද අපට ප‍්‍රශ්නයකි. දැන් ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය කියන්නේ එය සංශෝධනය කරන බවකි.මේ පිළිබඳව පරිසර හා ස්වභාවික සම්පත් අමාත්‍යාංශය, වෙළෙඳ හා වාණිජ අමාත්‍යාංශය, දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මගින් යම් පියවරක් ගත යුතුයි.ජගත් ගුණවර්ධන මහතා පවසන පරිදි මුලින් ම කළ යුත්තේ ලංකාවේ බුද්ධිමය දේපොළ නීතිය මගින් මේ දේවල් වලට පිටරට දී පේටන්ට් ගැනීමේ ඉඩකඩ අසුරා තිබීමයි.එමෙන් ම ලංකාව තුළ ජෛව වට්ටෝරු සුරැකීම සඳහා දැනට තිබෙන නීති කි‍්‍රයාත්මක කිරීම ද කළයුතු ය. ඒ නීතිවල අඩුපාඩු ද  වැසීමට වහා පියවර ගත යුතු ය.මීට අමතරව අපේ දේවල් වල  අයිතිවාසිකම් අහිමිවන ලෙස ලබාගෙන ඇති පේටන්ට් බලපත‍්‍රවලට ද විරුද්ධව කටයුතු කිරීම ද කළ යුතු ය.ඉන්දියාව කොහොඹ ගසේ අයිතිය ලබාගත් ආකාරයෙනුත් මීට පෙර බාස්මතී වීවල හා කහ බෝගයේ අයිතිය ඉන්දියාව ලබාගත්                ආකාරයටත්, බටහිර ජාතීන් ලබාගෙන ඇති අපේ ගහ කොළ වල අයිතිය ද අප අතට ගැනීමට පියවර ගත හැකි ය. ඉන්දියාවේ ආචාර්ය වන්දනා ශිවා පසුගියදා කළ කි‍්‍රයාව ඊට හොඳ  ආදර්ශයකි, මග පෙන්වීමකි. අපිත් ඒ අනුව ඒ ගමන යමු.

නිහාල් පී. අබේසිංහ