Aroogya Dhodam ආරෝග්‍යා දොඩම්

 

වෙළෙඳ පොළේ ඇති විදේශ පැණි දොඩම් වර්ගවලට සමාන, වසර පුරාම ඵලදාවක් ලබාගත හැකි “ආරෝග්‍යා” නම් පැණි දොඩම් ප‍්‍රභේදයක් රජයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් බණ්ඩාරවෙල කහගොල්ල කෘෂිකර්ම පර්යේෂණ ආයතනය ගොවීන්ට හඳුන්වා දී තිබේ.සිටාරස් සිනෙන්සික් යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන පැණි දොඩම් අප රටේ ජනප‍්‍රිය පලතුරක් වන අතර පොස්පරස්, කැල්සියම් වැනි ඛනිජ ලවන සමඟ ‘සී’ විටමින් වලින් ද පිරී ඇත.පලතුරු ගොවීන්ට හඳුන්වා දී ඇති ‘ආරෝග්‍යා’ පැණි දොඩම් ප‍්‍රභේදය උඩරට අතර මැදි කලාපයේ වගා කිරීම විශේෂයෙන්ම නිර්දේශ කර ඇති බව කිව යුතුය.මෙම ආරෝග්‍යා පැණි දොඩම්වල ඇති ප‍්‍රධාන ලක්ෂණ කිහිපයකි. වසර පුරාම ගෙඩි වැඩිපුර ලබා ගත හැකිවීම, එක ගෙඩියක සාමාන්‍ය බර ග‍්‍රෑම් 200-250 අතර වීම, පැසුණ ගෙඩිය කහ පැහැති වීම, වැඩි යුෂ ප‍්‍රමාණයක් තිබීම හා පලතුරක් ලෙස පරිභෝජනයට ඉතාමත් සුදුසුවීම ඒ අතර වේ.මෙම පැණි දොඩම් ගස පඳුරක් ලෙසින් මීටර් 2-3ක් පමණ උසට වැඩීම නිසා එය රැක බලා ගැනීම හා ගෙඩි කඩා ගැනීමේ පහසුවක් ඇතිවේ. පැළ සිටුවා වසර 2-3න් ගෙඩි හටගැනීම සිදුවන අතර වසර 5 -10 අතර කාලයක්් ඉහළ අස්වැන්නක් ලබාගත හැක. ගසක ආයු කාලය වසර 15ක් පමණ වේ. වසර 6- 8 ගසකින් වසරකට ගෙඩි 200-250 පමණ ලබාගත හැක.මුහුදු මට්ටමේ සිට මීටර් 1000 කට වඩා උසැති උඩරට අතර මැදි කලාපයට විශේෂයෙන්ම නිර්දේශ කර ඇති “ආරෝග්‍යා” පැණි දොඩම් වගාවට වාර්ෂික වර්ෂාපතනය මීටර් 1200කට වඩා වැඩිපුර ලැබෙන්නේ නම් වැඩි ඵලදාවක් සඳහා හේතුවනු ඇත. අඩු උෂ්ණත්වය මත පොත්තේ වර්ණය කහපාට බවට පත්වේ. හොඳ ජල වහනයක් සහිත කාබනික ද්‍රව්‍ය අඩංගු මීටර් 02ක් පමණ ගැඹුරු පසෙහි පැණි දොඩම් වගාවට වඩාත් සුදුසු වේ. උදාසීන ලක්ෂණ සහිත පසක දොඩම් වගාව හොඳින් වර්ධනය වේ. ආම්ලිකතාව වැඩි පසක් ඇත්නම් ඩොලමයිට් හො අළුහුණු යොදා පස උදාසීන කිරීම වැදගත්ය.මෙම ආරෝග්‍යා පැණි දොඩම් බද්ධ කරනුයේ (ග‍්‍රාහකයා) “පිලජීන් රෙඩ්ලයිම්” නැමැති දොඩම් විශේෂයටයි. මෙසේ පිලජීන් රෙඩ්ලයිම් ග‍්‍රාහකයට බද්ධ කළ ආරෝග්‍යා පැණි දොඩම් පැළ සිටුවීමේ දී පැළ අතර මීටර් 4ක් ද, පැළ අතර පරතරය මීටර් 3.5 වන සේ වලවල් කපාගත යුතුය. හෙක්ටයාර් එකකට පැළ 700ක් පමණ අවශ්‍ය වේ. (අක්කරයට පැළ 280කි) පැළයක් රෝපණය කරන වලක් සෙ.මී.60*60*60 විය යුතුය. මෙසේ කපාගත් වලක් මතුපිට පස්/ගොම පොහොර කි.ග‍්‍රෑ.12-15ක් සහ දිරාපත් වූ කොළ පොහොරින් පුරවා ගතයුතු වේ. පැළ සිටුවීමෙන් පසු හොඳින් ජලය සැපයීම අවශ්‍ය වේ. එසේම පැළ සිටුවීමට දින 2කට පෙර යූරියා ග‍්‍රෑම් 90ක්, ත‍්‍රිත්ව සුපර් පොස්පේට් ග‍්‍රෑම් 150ක්, මියුරි ගෙට් ඔෆ් පොටෑස් ග‍්‍රෑම් 50ක මිශ‍්‍රණයක් වලකට යෙදීම කළ යුතුය. වසරින් වසර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශිත පොහොර ප‍්‍රමාණය ගසකට යෙදිය යුතුය.ගස වටා කවකාර ලෙසින් අතු විහිද යෑමට සැලැස්වීම වැදගත් වේ. එක් ගසකින් වසරකට කිලෝ ග‍්‍රෑම් 40-50ක් පමණ ලබාගත හැක.මෙයට දිලීර රෝග වැළැඳීමේ ඉඩකඩ ඇත. එම රෝග වැළැඳුණු අතු කපා ඉවත්කර පුළුස්සා දැමීම, ගසේ කැපුම් අතුවල දිලීර නාශක තැවරීම ද කළ යුතුවේ. හොඳින් හිරු එළිය වැටීමට සැලැස්වීම ද කළයුතු දෙයකි. මෙයට ෆොලිකර් සල්පර් ටොප්සීන් වැනි දිලීර නාශක භාවිතා කිරීම සුදුසුය. බැක්ටීරියා මඟින් වැළඳෙන පිළිකා රෝගයක් ද ඇත. රෝගී අතු ඉවත් කර තඹ අඩංගු දිලීර නාශකයක් යෙදීම අවශ්‍යය. කබළු රෝගයක්ද දොඩම් වගාවට බලපායි. මෙම රෝගය පාලනය කිරීමට අතු කපා දමා තඹ මිශ‍්‍ර දිලීර නාශකයක් යෙදිය යුතුය.මෙසේ සාර්ථකව ආරෝග්‍යා පැණි දොඩම් වගාව පවත්වාගන යාමෙන් පැණි දොඩම් සඳහා ඇති වෙළෙඳ පොළේ ඉල්ලුම සාර්ථකව ඉටුකර විදේශ විනිමය පිටරට ගලායාම වෙනුවට මෙරටේ සංවර්ධනයට රඳවා ගැනීමට හැකියාව ලැබේ. ඒ තුළින් පලතුරු ගොවියාගේ ආර්ථිකය මෙන්ම රටේ ආර්ථිකය ද නංවාලීමට හැකිවනු ඇත.