Advertisement
Hot Kello

Aswanu Kal Thabeema අස්වනු කල් තැබීම

 

කොස්, දෙල්, මිරිස් හා එළවළු වැනි භෝග බහුල කාලවලදී අපතේ යෑම අද ග‍්‍රාමීය මට්ටමේදී මුහුණපාන ප‍්‍රධානතම ගැටලුව වී ඇත. ඊට විසඳුමක් ලෙස අයි. පී. එච්. ටී. නමින් විවිධ බෝග වියලනයක් අනුරාධපුර පශ්චාත් අස්වැන්න පිළිබඳ තාක්ෂණ ආයතනය විසින් දැන් හඳුන්වා දී තිිබේ.අවුරුද්දේ එක් කාල සීමාවකදී පමණක් ඵල දරන එළවළු හා පළතුරු වැනි කෙටි කාලයකින් නරක් වී යන භෝගවලින් සැලකිය යුතු ප‍්‍රමාණයක් ඵල නෙලන අවස්ථාවේදීම අපතේ යන අතර මෙම භෝගවල මිල ද එම කාලවලදී ඉතාමත් විශාල ලෙස පහළ යයි. මෙලෙස විශාල ලෙස මිල පහත වැටීමට ප‍්‍රධාන හේතුව නම් නිෂ්පාදන නරක්වීමට පෙර කෙටි කාලසීමාවකදී පාරිභෝජනය කිරීමට ඉඩ සැලසිය නොහැකි වීමයි.මෙවැනි භෝග දිගු කාලයක් ගබඩා කර තබා ගත හැකි පරිදි සකසා වියලා ගත් කල එහි අගය වැඩි වේ. එළවළු හා පළතුරු ක‍්‍රමානුකූලව වියලා සකස් කර ස්වයං රැකියාවක් කරගත හොත් ඒ සඳහා උචිත නව වෙළෙඳපොළක් ද සොයා ගත හැකි බව පශ්චාත් අස්වැන්න පිළිබඳ තාක්ෂණික ආයතනයේ ජ්‍යෙෂ්ඨ යාන්ති‍්‍රක ඉංජිනේරු දුමින්ද්‍රා සේනානායක මහත්මිය පවසයි. වියළා ගත් භෝග දීර්ඝ කාලයක් කල් තබාගත හැකිවන අතරම හොඳ මිලක් සහිතව දේශීය මෙන්ම විදේශීය වෙළෙඳ පොළටද යැවීමට හැකිවේ. ග‍්‍රාමීය මට්ටමේදී බොහෝ විට හිරු එළියේ වියලීම සිදුකෙරේ. එහෙත් වර්ෂා කාලයේදී වර්ෂාවට අසුවීමෙන් එවැනි භෝග වියලීම අපහසුවේ.

දැනට භාවිතයේ පවතින යන්ත‍්‍රානුසාර විජලන ක‍්‍රමවලදී භාවිත කරන්නාවූ වාතය රත් කිරීමට ගන්නා විදුලි හෝ වායු තාපයන් සහ වාතය හොඳින් චකී‍්‍රය ලෙස සංසරණය කිරීමට අවශ්‍ය පංකා සඳහා අධික වියදමක් දරන්නට සිදුවීමෙන් ග‍්‍රාමීය ගොවි ජනතාවට එම ක‍්‍රම භාවිතා කිරීමට නොහැකි වී ඇත.එබැවින් මෙයට පිළියමක් ලෙස අනුරාධපුර පශ්චාත් අස්වැන්න පිළිබඳ තාක්ෂණ ආයතනය මගින් උතුරු මැද පළාත් සහභාගිත්ව ග‍්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිය අනුග‍්‍රහයෙන් ග‍්‍රාමීය මට්ටමට උචිත අඩු වියදමකින් සාදා ගත හැකි පරිදි වියලනයක් හඳුන්වාදී තිබීම ගොවි ජනතාවගේ වාසනාවකි. මෙය ග‍්‍රාමීය මට්ටමේ පවතින ගොඩනැගිලි ද්‍රව්‍ය භාවිතයෙන් සාදා ගත හැක. තාපය ලබාගැනීම සඳහා ඉන්ධන වශයෙන් දහයියා භාවිතා කරන අතර වාතය චකි‍්‍රය ලෙස ගමන් කරවීමට අවශ්‍ය පංකා ආදිය අවශ්‍ය නොවන බවද ජ්‍යෙෂ්ඨ යාන්ති‍්‍රක ඉංජිනේරු සේනානායක මහත්මිය සඳහන් කරයි.මෙම වියලනය මුලින්ම නිර්මාණය කර ඇත්තේ හිරු රශ්මියෙන් මිරිස් වියලීමේදී ඇතිවන තත්ත්වයේ බාලවීම, අධික කම්කරු ශ‍්‍රමයක් අවශ්‍ය වීම, දීර්ඝ කාලයක් වියලීමට සිදුවීම, හා තෙත් සහ වැසි සහිත කාලගුණයන්හිදී දිලීර මගින් හානි සිදුවීම යන ප‍්‍රශ්න මගහරවා ගැනීමට පිළියමක් ලෙසිනි. මෙම වියලනය මගින් මිරිස්, කැරට්, ලීක්ස්, කරවිල, අළුකෙසෙල්, කොස්, දෙල්, කෙසෙල්, කරපිංචා, ගොටුකොළ, බඩඉරිඟු, සෝයා, මුංඇට හා කරාබු නැටි ආදී විවිධ භෝග වියලීම සඳහා සාර්ථක ලෙස අත්හදා බලා ඇති බවද සේනානායක මහත්මිය අනාවරණය කළාය.

මෙම වියලනය ගොඩනැගීම සඳහා අවශ්‍ය ගොඩනැගිලි ද්‍රව්‍ය ග‍්‍රාමීය මට්ටමෙන් අඩු මුදලකින් සපයාගත හැකිවීම වාසියකි. සහල් මෝල්වලින් ඉවත් කරන දහයියා මෙහිදී ඉන්ධන ලෙස භාවිතා වේ. වියලුම් වාතය ගමන් කරවීම සඳහා හෝ දහයියා දහනය සඳහා බ්ලෙන්ඩරයක් අවශ්‍ය නොවන නිසා විදුලි බලය නොමැති ප‍්‍රදේශවල වුවද භාවිතා කළ හැකිය. දර හෝ දහයියා දැමීම මගින් නිකුත්වන උණුසුම් දුම, වියලන ද්‍රව්‍ය සමග මිශ‍්‍ර නොවේ. එමගින් වියලනය ඇතුළත ඇති පිරිසිදු වාතය රත්කිරීම පමණක් සිදුවේ. මේ සඳහා වියලනය තුළ බට සවිකර ඇත. එම බට තුළින් ගමන් ගන්නා උණුසුම් දුමාරය වියලනයට බාහිරව පිහිටා ඇති චිමිනිය ඔස්සේ පිටතට යැවේ.