Awushadiya Guna Kohila ඖෂධීය ගුණ කොහිල

 

විශාල ඖෂධීය ගුණ සමුදායකට හිමිකම් කියන කොහිල අප රටේ ඕනෑම ජලය රැඳෙන ස්ථානයක පහසුවෙන් වගා කිරීමට හැකියාව ඇත. වසර පුරාම වගා කිරීමට වුව ද පුළුවන. විශේෂයෙන් ඉතා සෙවණ ඇති මඩ වගුරු සහිත ඉඩම් වල ඉතා සාර්තක ලෙස වගා කිරීමට පුළුවන. කොහිල වගා කර ඇති ස්ථාන වල මදුරුවන් බෝ වීම සිදු නොවේ.කොහිල ශාකයේ උද්භිද විද්‍යාත්මක නාමය වූයේ Lasia Spinosa Thw  වේ. කුලය සුරණ නම් වේ. මෙම ශාකයේ සිංහල නාමය වූයේ කොහිවිල වන අතර දෙමළ භාෂාවෙන් කොහිල නම් වේ. කොහිල ශාකයේ මුල්  කඳ කුඩා කටු වලින් ගහනව ඇත. කොහිල කොළය ඊතලයක හැඩයෙන් හා තද කොළපාටින් යුක්ත වන අතර දල්ල ළා කොළ පාටින් යුක්ත වේ. කොළය සිනිඳු වූ අතර කොහිල මල ඇන්තූරියන් මලට සමාන තැඹිලි හා රතුපාට මලකි. මෙහි කොපුව දුඹුරු හා කහ පාටින් යුක්ත වේ.

කොහිල ගම්බද ප‍්‍රදේශ වල තම නාන ළිඳ ළඟ හා ජලය බීමට ගන්නා ළිං අසල ඇතැම් අය සිට වා ඇත. මෙම ශාකය සෙවණ ඇති වගුරු බිම් වල බහුල ලෙස වගා කෙරේ. තවද ඇල ඉවුරු වල හා කුඹුරු ආශ‍්‍රිතව කොහිල ශාකය දැකීමට හැකි වේ. ගම් බද ප‍්‍රදේශ වල ආදායම් ගෙනෙන ආර්ථික භෝගයක් ලෙස හැඳින්විය හැකිය. දේශීය වෙළඳපොළ තුළ කොහිල අල සහ දල්ලට ද මහත් ඉල්ලුමක් ඇත.

දේශීය වෛද්‍ය විද්‍යාවේ හා පාරම්පරික වෙදකම තුළ කොහිල ශාකයට අද්විතීය ස්ථානයක් හිමිව ඇත. බඩවැල් වල ඇති වන විෂ දෝෂ මෙන්ද  විවිධ රුධිර රෝග සුව කිරීමට ද මෙමගින් හැකියාව ඇත. අක්මාවේ හටගන්නා රෝග විශේෂයෙන් සුව කරන අතර රුචිය නැති කර දැවිල්ල සමනය කරනු ලබයි. මෙම ලෙඩ රෝග සඳහා ගනු ලබන්නේ කොහිල දලු හා අල පමණි.කොහිල දලු රසවත් ව්‍යාංජනයක් ලෙසින් ද මැල්ලුමක් ලෙසින් හා සලාදයක් ලෙසින් ගනු ලබන අතර අල රසවත් ව්‍යාංජනයක් ලෙසින් භාවිතයට ගනු ලබයි. මෙම ශාකයේ ඇති විශේෂත්වය නම් අල හා දලු වල ඇති කෙඳි ආමාශයේ ජරා ජීර්ණ කොටස් එකට බැදී මළ පහ සමඟ පිට කරනු ලබයි. එවිට ශරීරය ඇතුළත පිරිසිදු වේ. කිසිදු කෘමිනාශක වලින් තොර ඉතා ගුණවත් ඖෂධයක් කිසිඳු අපහසුවකින් තොරව අපට එදිනෙදා භාවිතයට ගත හැක.