Bigooniya Warga බිගෝනියා වර්ග

 

මල් වගාව ගැන කතා කිරීමේදී මල් හට ගන්නා ශාක පිළිබඳව මෙන්ම විසිතුරු පත‍්‍ර සහිත ශාක ගැනත් දැනගන්න අපේ කාන්තාවන් වැඩි උනන්දුවක් දක්වනවා. ඒ නිසාම අප විචිත‍්‍ර පති‍්‍රක ශාක අතරින් විශේෂ ස්ථානයක් හිමි බිගෝනියා වගාව ගැන කතා කරන්න හිතුවා.මනාව වර්ධනය වූ, නියමාකාර පැහැයෙන් යුත් බිගෝනියා වගාව පැළ වවන්නන්ට හොඳ ආදායම් මාර්ගයක් ද වන අතර පසුගිය සතියේ අප මල් පිපෙන බිගෝනියා වගාව පිළිබඳ සෑහෙන තොරතුරු ප‍්‍රමාණයක් ඔබ වෙත ඉදිරිපත් කළා. එබැවින් අද අප ඔබ වෙත රැගෙන එන්නේ විචිත‍්‍ර පත‍්‍ර සහිත බිගෝනියා වගාව පිළිබඳවය.බිගෝනියා ප‍්‍රදේශයන්හි ඉතා විසිතුරු වර්ණ රැගත් පත‍්‍ර මෙන්ම විචිත‍්‍ර රටාවලින් යුක්ත පත‍්‍ර ද වේ. ඊට අමතරව සාමාන්‍ය පත‍්‍ර ද දක්නට ලැබේ. බිගෝනියා විශේෂ දහස් ගණනක් හඳුනාගෙන ඇති අතර මේ සියල්ලම පාහේ බ‍්‍රසීලයේ සහ අපි‍්‍රකාවේ සම්භවය වී ඇත. මෙම ශාකයේ මුල පද්ධතියේ ස්වභාවය අනුව කොටස් තුනකට වර්ග කර ඇත.1. Fibrous - Rooted Begonias (තන්තුමය මුල් සහිත බිගෝනියා)2. Tuborous - Rooted Begonias (ආකන්ද මුල් සහිත බිගෝනියා)3. Rhizomatous (රෛසෝමීය මුල් සහිත බිගෝනියා)මෙලෙස බිගෝනියා ශාකය විවිධ වර්ගීකරණයන්ට ලක්වී ඇති අතර ගෘහ පැළෑටියක් වශයෙන් ගත් කළ ප‍්‍රධාන කොටස් දෙකකට වෙන් කෙරේ. ඒ විචිත‍්‍ර පත‍්‍ර සහිත ප‍්‍රභේද සහ මල් හට ගන්නා ප‍්‍රභේද යනුවෙනි.මෙම විසිතුරු පත‍්‍ර සහිත බිගෝනියා වර්ගයන්ද කොටස් දෙකකින් යුක්තය. එනම් සැමදා පත‍්‍ර හටගන්නා වර්ගය සහ වසරේ එක්තරා කාලයකදී පත‍්‍ර වැටී යන වර්ගය වශයෙනි. මෙම බිගෝනියා ශාක ඉතාම ලස්සන වර්ණ රටා වලින් සහ හැඩතල වලින්ද යුක්තය. මෙම පත‍්‍ර වටා හෝ පත‍්‍රයේ මැද එසේත් නැතිනම් පත‍්‍රයේ තැනින් තැන දිළිසෙන පෘෂ්ඨ සහිත ඒවා මෙන්ම තනි වර්ණයේ, වර්ණ කිහිපයක් සම්මිශ‍්‍ර වූ ඒවාද වේ. පත‍්‍ර කෙළවර උල් හැඩැති මෙන්ම කැරැළි ගැසුණු ඒවා ද තාරකා හැඩ, බෝ කොළයක හැඩ, හදවතක හැඩ ආදී විවිධ හැඩයෙන් යුක්ත පත‍්‍ර ද වේ. මේවා විවිධ නම් වලින් හඳුන්වනු ලබන අතර සිල්වර් ඩස්ට්, අයිලෑෂ්, රෝසි ජුවෙල් ටෙසොනියානා අයන් ක්‍රොස්, ඉන්කානා, රෙක්ස් යුල්ටයිල් ආදී නම් මේ අතරින් වඩාත් ජනපි‍්‍රයතාවයක් උසුලයි.විසිතුරු පති‍්‍රක බිගෝනියා වගාව සඳහා හොඳ ආලෝකයක් අවශ්‍ය අතර හොඳ හිරු එළියද පි‍්‍රය කරයි. නමුදු ඍජු සූූර්යාලෝකය පත‍්‍ර මත පතිත වීම තුළින් පත‍්‍ර පිළිස්සීමට ඉඩ ඇති අතර වර්ණයෙහි වෙනස්වීම් ද දක්නට ලැබේ. එබැවින් අතු පතරින් පෙරී එන සූර්යාලෝකයත්, පෙරවරුවේ පතිත වන සූර්යාලෝකයත් මෙම ශාක සඳහා ලබා දීම වැදගත්. එවිට පත‍්‍රවල වර්ණය මෙන්ම අලංකාරයද සුරැකේ.නමුදු බිගෝනියා ශාකය සෙවණ අධික ස්ථානයක වගා කිරීමෙන් හෝ තැබීමෙන් පත‍්‍රවල විචිත‍්‍ර වර්ණය නැති වී යන අතර ශාකයේ සොඳුරු පෙනුමද දුරස් වේ. විශේෂයෙන්ම මෙම ශාකයට සෙවණ වැඩිවීමෙන් පත‍්‍රවල නටු දික්ව වැඩේ. ඒ සමඟම උස්ව වැඩෙන කඳක් සහිත බිගෝනියා ප‍්‍රභේද තද හිරු එළියටද නිරාවරණය වීමෙන් එතරම් ගැටලුවක් පැන නොනඟින්නේ එය හිරුඑළියට ඔරොත්තු දීමේ ශක්තියකින් හෙබි බැවිනි.බිගෝනියා ජලය පි‍්‍රය කරන ශාකයක් වුවද ජලය රඳා පැවැත්ම පි‍්‍රය නොකරයි. මන්ද එමඟින් මුල් කුණුවීමට සහ කඳ කුණුවීමට ඉඩ ඇති බැවිනි. එනිසාම මෙම වගාවේදී හොඳ ජලවහනයක් ඇති පරිද්දෙන් වගා මාධ්‍යයත්, වගා බඳුනත් සකසා ගැනීම කළ යුතු වේ.මෙම වගාව සඳහා බොහෝ දෙනකු විවිධ වගා මිශ‍්‍රණ උපයෝගී කර ගනියි. එම වගා මාධ්‍යය කුමක් වුවත් ඊට ගැළපෙන පරිද්දෙන් ජලය සැපයීම කළ යුතුය. විශේෂයෙන්ම වැලි වැඩියෙන් භාවිතා කළ වගා මාධ්‍යයේ ජලය ඉක්මනින් බැස යන අතර එවැනි වගා මිශ‍්‍රණයක් සහිත වගාවකට දිනකට වරක් හොඳ ජල සැපයුමක් අවශ්‍යය. එසේ නොමැති වූ විට ජලය හිඟවීමෙන් පත‍්‍ර මැලවී යන ස්වභාවයක් ඇතිවේ.