Bonsai Kalawa බොන්සායි කලාව

 

හැඳින්වීම

බොන්සායී නම ඇසු පමණින් මේ කුමක්දැයි යන්න හඳුනන පිරිස බොහෝ වේ. මන්දයත් මෙය වර්තමානයේ කලාවක් බවට පත්ව ඇත. බොන්සායි යන්නෙහි අර්ථය, “බඳුනක සිටු වූ කුඩා ශාකය” යන්නයි. මුලින්ම චීනයෙන් ආරම්භවන මෙම කලාව විචිත්‍ර භූ දර්ශන නිර්මාණය කිරීම මෙන්ම ගෙවතු අලංකරණය කිරීමට යොදා ගනු ලැබූ ජනප්‍රිය කලාවකි. චීනය සහ ජපානය අතර වෙළෙඳ හා සංස්කෘතික ප්‍රබෝධයේ ප්‍රතිඵලයක් ලෙස මෙම කලාව ජපානයේද ඉතා ජනප්‍රිය විය. මෙය පසුව ජපානයේ සංස්කෘතික අංගයක් බවට පත් විය. එමෙන්ම එරටට පැමිණෙන සංචාරකයන්ගේ ආකර්ශනය දිනා ගැනිමටත් මෙම කුරු ශාක වගා කිරීමේ කලාව පත්ව ඇත.

මෙම බොන්සායි ක්‍රමය, බෙහෙත්, ආහාර සහ භූමි දර්ශන නිර්මාණයට යොදා නොගනී. අනෙක් ශාක මෙන්ම මෙම වගාවන් සඳහාද ආහාර සහ ජලය යෙදීම අවශ්‍ය වේ.

 

බොන්සායි බඳුන

සාමාන්‍ය‍යෙන් චීනයේ බොන්සායි බඳුනකට වඩා ජපානයේ බඳුන් ගැඹුරු බවකින් යුක්ත වේ. විවධ හැඩයෙන් යුක්ත මෙම බඳුන් නිර්මාණයට මැටි, ප්ලාස්ටික්, මයිකා ලෝහ භාවිතා කෙරේ. එහිදි ශාකයේ මුල් ශක්තිමත්ව සවි වීමටත්, ජලය අවශ්‍ය ප්‍රමාණයට වඩා බඳුන තුළ රඳා පැවතීම වළක්වා ගැනීමටත් බඳුන සකස් කිරීමේදී සිදුරු තැබීම කළ යුතුය.

 

බොන්සායි ශාක සිටුවීම සහ කප්පාදු කිරීම

වගාව සඳහා විවිධ ශාක වර්ග ගණනාවක් ඇත. උදාහරණ ලෙස, කළු පයින් ශාකය, ජූනිපර්, දේවදාර, මේපල්, ඔලිව්, කස වැනි ශාක විශේෂ පවති. තවද බොන්සායි ශාක වගා කිරීමේ දී මූල ආකෘතිය නිර්මාණය සඳහා විවිධ ක්‍රම අනුගමනය කෙරේ.

  • සිරස් ආධාරයක සිටුවූ විධිමත් භෝග වැවීමේ ක්‍රමය.
  • අවිධිමත් ක්‍රමය.
  • කුඩා දියඇල්ලක ආකාරය.
  • වන ලැහැබ ආකාරය.

මෙම කුරු ශාක හෙවත් බොන්සායි ශාක වගාවේ දී ඉතාමත් වැදගත් අංගයක් වන්නේ කප්පාදු කිරීමයි. අවශ්‍ය ආකෘතිය කිසි පරිදි පවත්වා ගෙන යාමට නම් නිතර කප්පාදු කිරීම කළ යුතුය. සාමාන්‍යයෙන් අතු කප්පාදු කිරීම මෙම කලාවේ පවතින වැදගත්ම කොටසයි. මේ සඳහා කුඩා ගෙවතු කතුරු සහ කප්පාදු කිරී‍මේ කතුරු වැනි උපකරණ භාවිතා කළ හැකිය. මෙම ශාක වගාව තරමක් අසීරු කාර්‍යයක් වනමුත් නිදහස් වටපිටාවක් තුළ කිරීම මඟින් එය විනෝදාංශයක් බවට පත් කරගත හැකිය.

 

පස සකස් කිරීම

මෙම බොන්සායි ශාක සඳහා තෙතමනය අවශ්‍ය වේ. මේ සඳහා කදිම විකල්පයක් ලෙස මූල පද්ධතිය වටා පාසි වියනක් ලෙස තැබීම කළ හැකිය. මෙමඟින් බාහිර අලංකරණයක් මෙන්ම ශාකයට අවශ්‍ය තෙතමනය ද ලැබේ. බොන්සායි ශාකවලටද අනෙක් ශාකවලට මෙන්ම ආහාර හා ජලය අවශ්‍ය වන නමුත් එම ශාකය සඳහා බඳුන් පස සැකසීමේ දී භාවිතා කරන අමුද්‍රව්‍ය වට්ටෝරුවක් පවතී.  කාබනික පොහොර, කුඩා ගල් කැට හෝ වැලි කැට, ලෝම් පස, ජීර්ණක පාසි, කොළ සාරය, පයින් ශාකයේ පොතු වැනි ස්වාභාවික අමුද්‍රව්‍ය රාශියක් යොදා ගනු ලැබේ.

 

බොන්සායි වගාවේ නීති

බොන්සායි වගාව සඳහා පොදුවේ භාවිතාවන නීති කිහිපයක් පවතී. නමුත් ඒවා පිළිපැදීම අත්‍යවශ්‍ය නැතත් ඒ අනුව බොන්සායි ශාකයක් වගා කිරීමෙන් බොන්සායි කලාවේ උපරිම අත්දැකීමක් ලැබිය හැකිය. එම නීති මෙසේය.

  • ශාකයේ හැඩය අසමමිතික ත්‍රිකෝණාකාර හැඩයක් ගැනීම.
  • ශාකයේ සමස්ථ උසින් 1/3 පමණ වු විට අතු බෙදීම සිදුවිය යුතුය.
  • අතු විහිදීමේ දී පිළිවෙළින් පළමු අත්ත දකුණටත්, දෙවැන්න වමටත්,තෙවැන්න වමටත් යනාදි පිළිවෙළින් ඉහළට යන තෙක් අතු විහිදීම විය යුතුය.
  • එක ස්ථානයෙන් අතු 2ක් හට නොගත යුතුය.
  • ශාකය නැමීමක් ඇත්නම් අතු හට ගැනීම උත්තල පැත්තෙන් විය යුතුය.
  • ශාකය වැඩෙමින් ඉහළට යන විට කඳෙහි මහත අඩුවිය යුතුය.
  • ප්‍රධාන අතුවල හටගන්නා අනෙකුත් අතු තිරස්ව පිහිටීම සිදුවිය යුතු අතර ඉහළට හෝ පහළට පිහිටීම වළක්වාගත යුතුය. මන්ද ගසේ හැඩයට හානිදායක වන බැවිනි.
  • ශාකයට එක් අග්‍රස්ථයක් තිබීම මෙන්ම සමබර වීමත් වැදගත් වේ.
  • ශාකය වඩාත් චමත්කාර ලෙස වර්ධනයකර ගැනීමට හැකිවන පරිදි විවිධ ස්වරූපයෙන් යුක්ත බඳුන් තෝරාගත යුතුය. එහිදි පිඟන් මැටි, පෝසිලේන්, සිමෙන්ති වලින් සකසන ලද නොගැඹුරු බඳුන් භාවිතා කළ යුතුය.