Deeshiya Ala Warga දේශීය අල වර්ග

 

ස්‌වාභාවික පරිසරයට මනා ළබැඳියාවක්‌ දැක්‌වූ ශ්‍රී ලංකාවේ ආදි ගම් වැසියන් ගේ දෛනික ආහාරය සපයාගනු ලැබුවේ අවට පරිසරයෙනි. අවට පරිසරයෙන් සරි කරගත් දෛනික ආහාරයට දේශීය පළා වර්ග මෙන්ම අල වර්ග ද අයත් ය. සිංහල මාස ක්‍රමයට අනුව ඉල් මස අවසන් වනවාත් සමඟ උඳුවප්, දුරුතු සහ නවම් යන මාස මුළුල්ලේ ඇසෙන අවිච්චියන් ගේ නද, දේශීය ගොවියාට සුබ ලකුණක්‌ විය. අවිච්චියා නඟන මිහිරි නදත් සමග ගොවීහු තමන් ගේ හේනේ හෝ කොරටුවේ ඇති තමන් සිටුවූ අල වර්ග උගුල්ලන්නට පටන් ගනිති. ඉල් මසෙන් අරඹා උඳුවප් මස අවසන් වන විට කොටුවල සිටුවූ අල වැල්වල මෙන්ම ගස්‌වල ද කොළ රන් පැහැ වීමට පටන් ගනී. මෙවන් ලක්‌ෂණ පහළ වූ විට ආදියේ මෙන්ම අදත් බොහෝ පළාත්වල ගොවීහු තමන් සිටුවූ අල මේරී ඇති බව දැනගනියි

අස්‌වනු නෙළීමෙන් පසු ඔවුහු ඒ හා සම්බන්ධ පුද පූජා පවත්වා අවට ගැමියන් සමග අල බෝග හුවමාරු කර ගැනීමෙන් පසු ඉදිරි කන්න සඳහා බීජ වෙන් කර තබා ගනිති. ඉතිරිය ඉදිරියේ එන වැසි සමයේ ආහාරය සඳහා තබා ගනිති. මනා සුරක්‍ෂිතතාවකට අනුව මේ අල බෝග වසරේ මාස 6ක කාලයක්‌ යන තුරු ම පරිභෝජනයට ගත හැකි විය.

අද වන විට විවිධ හේතු රැසක්‌ නිසා දේශීය අල බෝග භාවිතයෙන් මෙන්ම පරිසරයෙන් ද ඉවත් වී යැමේ ප්‍රවණතාවක්‌ තිබේ. මෙයට ප්‍රධාන හේතු කීපයක්‌ වෙයි. විවෘත ආර්ථිකය මෙරටට හඳුන්වා දීමෙන් පසු දේශීය ආහාරවලින් ඈත් වූ ලක්‌වැසියා ක්‍ෂණික බටහිර ආහාර පරිභෝජනයට යොමු වීම එකකි. අනෙක්‌ කරුණ වන්නේ ගොඩ මඩ ඉඩම් සහිත ප්‍රදේශ නාගරීකරණය වී ඉඩ ප්‍රමාණය කුඩා වීමයි. මේ ප්‍රධාන හේතු දෙකට අමතරව බලපෑ අනෙක්‌ කරුණ වන්නේ තිබෙන ඉඩකඩේ හෝ කවර හෝ බෝගයක්‌ වගා කිරීමට ගොවීන් මැළිකමක්‌ දැක්‌වීමයි.

එදා මෙන් අදත් දේශීය අල ප්‍රභේද වගා කිරීම වාසි රැසක්‌ ගෙන දීමට හේතු වෙයි. අල යනු ඕනෑ ම කුඩා හෝ බිම් කඩක වගා කළ හැකි බෝගයක්‌ වීම ජලය හා කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිත අත්‍යවශ්‍ය නො වීම, කාබනික පොහොර පමණක්‌ භාවිත කළ හැකි වීම, අවම ශ්‍රමයකින් වැඩි පලදාවක්‌ ලබාගත හැකි වීම සහ රෝග හා කෘමි උවදුරුවල බලපෑම් අවමයෙන් සිදු වීම යන වාසි මේ අතර වෙයි. ශ්‍රී ලංකාවේ අල වර්ග ප්‍රධාන කොටස්‌ දෙකකට බෙදෙයි ඒ වැල් අල හා ගස්‌ අල යනුවෙනි.

වැල් අල

බතල, කටු අල, දන්දිල අල, හිරිතල, නාට්‌ටල, උඩල අල, රාජ අල, කිරි කොඬොල්, කුකුලල, රතු= අල, හිඟුරල, අතු අල, ඇඟිලි අල, ඉනි අල, කහට අල, ගෝනාල වැනි අල වර්ග මීට අයත් වෙයි.

තෙත් කලාපයේ අඩි 3000ක්‌ පමණ දක්‌වා වූ උස්‌ ප්‍රදේශයක්‌ දක්‌වා වැවෙන වැල් අල වසරේ අප්‍රේල් සිට මැයි මස දක්‌වා වූ කාල සීමාවේ සිටුවා දෙසැම්බර් මස සිට ජනවාරි මස දක්‌වා වූ වියළි කාලය තුළ දී හාරාගත යුතු ය. පහතරටත් මැදරටත් ඉතා ම සාර්ථකව වගා කළ හැකි වැල් අල බොහෝ විට පොල් හා රබර් වගා කළ වතුවල අතුරු බෝගයක්‌ ලෙස වගා කළ හැකි ය. වසරේ ඕනෑ ම කාලසීමාවක දී දඬු කැබැලි ආධාරයෙන් බෝ කරගත හැකි අල ජලය බැස යන ඕනෑ ම බිමක වගා කළ හැකි ය. සමතලා බිම්වලත් කණ්‌ඩි හා කාණුවලත් වගා කළ හැකි අල කවර හෝ තැනක සිටුවුවත් ක්‍රම තුනකින් එකක්‌ අනුගමනය කළ යුතු ය.

1. දඬු ඇලේට සිටුවීම.

2. අංකුරය මැදට සිටින සේ දණ්‌ඩ දෙපස පසට යට කිරීම.

3. දෙකෙළවර අංකුර උඩට සිටින සේ පසට යට කිරීම.

දඬු පැළ වීමේ දී අළු දැමීම සාර්ථක ක්‍රමවේදයක්‌ වෙයි. පැළ සිටුවීමෙන් පසු වැල හොඳින් වැඩෙන තුරු වල් නෙළීම අත්‍යවශ්‍ය වෙයි. සිටුවා මාස 3 1/2ත් - 5ත් අතර කාලයේ දී අල මේරීම සිදු වෙයි. අල මේරූ විට පත්‍ර කහ පැහැයට හැරේ. මෙය අස්‌වනු නෙළීමට සුදුසු කාලය පෙන්වන සලකුණකි. අලයක්‌ ගලවා දෙකට කඩා බලන්න. කිරි පිට වූ විගස ඝන වීමක්‌ සිදු වේ නම් අල මේරූ බවට ලක්‌ෂණයකි. අල ගලවා ගැනීමේ දී අලවලට තුවාල නො වන ලෙස ගලවා ගැනීමට වගබලා ගත යුතු වෙයි. තුවාල වූ අල කල් තබා ගැනීමට අපහසු ය.

ගස්‌ අල

ගස්‌ අල හබරල සහ ගහල යනුවෙන් ප්‍රධාන කොටස්‌ දෙකකට බෙදෙයි. මේ දෙවර්ගයට ම අයත් අල, කිරි අල, මවු අල, සෙවෙල් අල, ආටිචොක්‌ අල, රැල් බුරුල්ලා අල, කිඩාරන් අල, හුළංකීරියා අල, බුත්සරණ අල, තුන්මස්‌ අල, හබරල, වෙල් අල, කදල, මඤ්ඤොක්‌කා, කොහිල යනුවෙන් වර්ග කෙරේ.

ගස්‌ අල වගා කිරීම

ගස්‌ අල මුහුදු මට්‌ටමේ සිට අඩි 4000ක්‌ තරම් උස්‌ වූ බිම් පෙදෙසක්‌ තුළ වගා කළ හැකි ය. හොඳින් වර්ෂාව ලැබෙන ප්‍රදේශවල මෙන්ම සතුටුදායක පරිසර තත්ත්වයක්‌ ඇති පහතරට සහ මැදරට තෙත් කලාපයට අයත් ප්‍රදේශවල හොඳින් වගා කළ හැකි ය. වියළි කලාපයේ ද වගා කළ හැකි වීම මෙහි ඇකි විශේෂ ලක්‌ෂණයකි. පත්‍ර ආහාරයට ගන්නා වෙල් අල කොළ හා පණු අල කොළ ජලාශ්‍රිත ප්‍රදේශවල ද වගා කළ හැකි ය. තද මැටි පස අල වගාවට සුදුසු නැත.

භූමිය සැකසීම

සාමාන්‍යයෙන් අඟල් 9 1/2ත් 10ත් අතර ප්‍රමාණයක ගැඹුරට හාරාගත් වළක බීජ අල සිටුවිය හැකි ය. වළක විශාලත්වය අඩි 1 දූ 1 ප්‍රමාණයක්‌ සෑහේ.

අල ප්‍රභේදවලට අනුව වළවල පරතරය වෙනස්‌ වෙයි. තුන් මස්‌ අල අඩි 2ක පරතරයක්‌ ඇති ව ද ගහල, දෙහි අල වැනි අල වර්ග අඩි 3ක පරතරය ඇති ව ද, කිරි අල අඩි 4ක පරතරයක්‌ ඇති ව ද වළවල් සැකසිය යුතු ය.

සකස්‌ කළ වළවලට හෝ කාණුවලට හෝ කණ්‌ඩිවලට කාබනික පොහොර අවශ්‍ය පමණ යෙදිය යුතු ය. මෙහි දි වල් පැළෑටි මර්දනය ඉතා ම වැදගත් ය. පැළ සිටුවා මාස 1 1/2 පමණ කල් ගත වූ පසු වල් මර්දනය කිරීම ආරම්භ කළ යුතු වෙයි. වල් පැළෑටි උගුල්ලා දමන අවස්‌ථාවේ දී ම පැළය මුලට පස්‌ දැමීම කළ යුතු ය. මෙහි දී විශේෂ අවධානයක්‌ යොමු කළ යුත්තේ වැඩෙන අල හිරු එළියට නිරාවරණය නො වන ලෙස පස්‌වලින් වසා තැබීමට ය.

අල කල් තබා ගැනීම

අස්‌වැන්නක්‌ ආකාරයට නෙළාගත් අල කල් තබා ගැනීම අත්‍යවශ්‍ය වෙයි දේශීය වශයෙන් අල කල් තබාගැනීමේ දී ගොවීහු ක්‍රම කීපයක්‌ අනුගමනය කළ හ. පැරැණි ගොවීන් මේ සඳහා අල බිස්‌ස හා අල අටුව භාවිත කළ හ. අල පස්‌ යට දැමීම ද සිදු කළ හ.

අල බිස්‌සේ හෝ අල අටුවේ හෝ අල ගබඩා කර තැබීමේ දී කරුණු දෙකක්‌ පිළිබඳව අවධානයක්‌ යොමු කෙරිණි.

පසෙන් ඉවතට ගත් අල වියළි ස්‌වභාවයෙන් ආරක්‌ෂා කිරීම එකකි.

අල හෑරීමෙන් පසු එහි ගෑවී ඇති පස්‌ ඉවත් කර පිරිසිදු කර ගැනීම අනෙකයි.

මෙහි දී අලවල පස්‌ තැවරී තිබුණ හොත් අලවලින් අංකුර මතු වීම නිසා ආහාරයට ගැනීමට නොහැකි වෙයි. අල මතුපිට

රැඳි පස්‌ ඉවත් කරන විට අලයේ පිටත සිවියට හානි නො වන ලෙස එය සිදු කිරීමට වගබලාගත යුතු ය.

පස්‌ යට තැබීම

තෙතමනය නැති නො තෙමෙන තැනක වාතය නො ලැබෙන සේ වියළි වැල්වලින් අල යට කර තැබීමෙන් අතීත ගොවියෝ අල කල් තබා ගත් හ. මේ ක්‍රමවේදයෙන් මාස 3ත් 6ත් අතර කාලයක්‌ අල කල් තබා ගැනීමට හැකි විය.

අල බීජ මැටි ගැසීම

බීජ සඳහා තෝරාගත් අල සිටුවන කාලය එන තෙක්‌ කල් තබා ගත යුතු ය. මෙහි දී බීජ සඳහා තෝරා ගත් අල බීජ මඩුවක කොනක තබා අල හොඳින් වැසෙන සේ මැටි ගසා වසා තැබීමෙන් අල සිටුවන කාලය තෙක්‌ නරක්‌ නො වී තබාගත හැකි විය.

බීජ අල දහයියා මිශ්‍ර කර තැබීම

ඊළඟ කන්නය සඳහා වෙන් කළ බීජ කල් තබා ගැනීමේ දී අනුගමනය කළ තවත් ක්‍රමවේදයක්‌ නම් අල බීජ ගොම හෝ මැටි පොළොව මතට දහයියා දමා ඇඟිලි ආකාරයට තැන්පත් කිරීම ය.

ශ්‍රී ලංකාවෙන් මේ වන විට අල විශේෂ 60ක්‌ පමණ වාර්තා වන අතර ඉන් විශේෂ 23ක්‌ ගැන පමණ විද්‍යාත්මක අධ්‍යයන කර තිබෙන බව පෙනී යයි.