Dilira Gullan Kidawan දිලීර, ගුල්ලන්, කීඩෑවන්

 

පලතුරක් වශයෙන් අඹ ජනපි‍්‍රය වී ඇත්තේ කාලාන්තරයක පටන්ය. ගෘහ ආශි‍්‍රතව වඩාත් පහසුවෙන් වගා කළ හැකි අඹ ගසට වැලඳෙන රෝග පිළිබඳ අවබෝධයෙන් සිටීම වඩාත් වැදගත් ය.කොලෙට්‍රොටිකම් ග්ලොයෙස්පෝරියෝඩස් නම් දිලීරය නිසා ඇන්ත‍්‍රැක්තෝස් රෝගය අඹ වගාවට වැලඳෙ. ශී‍්‍ර ලංකාවේ අඹ වගා කරන සියලුම ප‍්‍රදේශවල මේ රෝගය දක්නට ලැබේ. පත‍්‍ර, මල් පොකුරු හා සියලුම වර්ධක අවස්ථාවලදී රෝගය වැලඳිය හැකිය. තෙත් කාලගුණික තත්ත්වයක් යටතේ දී මේ රෝගය වඩා දරුණු තත්ත්වයකට පත් වේ. අඹ ප‍්‍රභේද අනුව රෝගය ඔරොත්තු දීම එකිනෙකට වෙනස්ය.රෝගී තත්ත්වය හඳුනා ගැනීම පිළිබඳ හෝමාගම පැළෑටි වෛරස් මධ්‍යස්ථානයේ කෘෂිකර්ම උපදේශක ටියුඩර් අගම්පොඩි අදහස් පළ කළේ මෙලෙසිනි.පත‍්‍රවල පළමුවෙන් ඇති වෙන රෝග ලක්ෂණය වන්නේ කුඩා තද දුඹුරු හෝ කළු පැහැති ලප. මේ ලප විශාල වී එකිනෙකට සම්බන්ධ වී අක‍්‍රමවත් ස්වරූපයක් ගන්නවා. රෝගය දරුණු වෙන්න පටන් ගත්තට පස්සෙ පැහැදිලිවම දැක ගත හැකි ලක්ෂණය අතුරිකිලි මැරී යාමයි. මල්වලට රෝගය වැලඳිලා තියෙන අවස්ථාවල මල් කළු පැහැ ගැන්වී වියළී යයි. මල් පොකුරේ ඇති සියලුම මල් මේ හේතුවෙන් විනාශ වෙනවා. රෝගය වැලඳී ඇති ළපටි ගෙඩි පවා කළු පැහැ ගැන්වී වියළී වැටෙනවා. අඹ ගෙඩි ඉදීමට පටන් ගත් විට මේ කළු පැහැති ලප ලොකු වී පැල්ලම් හට ගනී. මේ තත්ත්වයට ගොදුරු වීමෙන් පසු අඹ ගෙඩි අලෙවි කළ නොහැකිය.

 

රෝගී පත‍්‍ර හා මල් පොකුරුවල හට ගන්නා දිලීර බීජාණු වර්ෂාවත් සමග ගෙඩි වෙත සෝදා ගෙන ඒම නිසා තරමක් වැඩුණු ගෙඩිවලට කුඩා ලප ඇති වෙනවා. මේ හේතුවෙන් රෝගය අඹ ගෙඩිය ගොදුරු කරගෙන ඇති බව අපට පැහැදිලිවම පෙනෙනවා. අමු ගෙඩි මත අක‍්‍රමවත්ව ඇති දිලීර, ගෙඩි ඉදීමත් සමග වේගවත් වෙනවා. මේ තත්ත්වය හේතුවෙන් අඹ ගෙඩි ක්ෂණිකව නරක් වෙනවා. වගාකරුවන්ට අලාබ ලැබීමට මේ තත්ත්ව සෘජුවම බලපානවා. රෝගයට වගාව ගොදුරු වෙමින් පවතින අවස්ථාවක රෝග පාලනය කළ යුතු ආකාරය පිළිබඳ හෝමාගම පැළෑටි වෛරස් මධ්‍යස්ථානයේ කෘෂිකර්ම වැඩ සටහන් සහකාරක නිරෝෂා උබේසේකර දැක්වූයේ මෙවැනි අදහසකි.ගස මතු පිටට හොඳින් හිරු එළිය වැටීමට සැලැස්වීම සඳහා අනවශ්‍ය අතු ඉති කපා දමන්න. මල් හට ගැනීමට ආසන්න අවස්ථාවේදීත් මල් හට ගත් පසුවත්, මල් හා පත‍්‍ර වල ස්පර්ෂ වන අයුරින් දිලීර නාශක ඉසිය හැකිය. බෙක්ලේට් ග‍්‍රෑම් 6 ක් ජලය ලීටර් 10 ක හෝ ඩැකොනිල් ග‍්‍රෑම් 20 ක් ජලය ලීටර් 10 ක් හෝ මැකෙබි ග‍්‍රෑම් 20 ක් ජලය ලීටර් 10 ක් සමඟ මිශ‍්‍ර කර ඉසීමට පුළුවන්. අඹ ගෙඩි නෙළා ගැනීමෙන් පැය 24 ක් ඉකුත් වීමට පෙර සෙන්ටිග්‍රේඩ් 50 ක උෂ්ණත්වය ඇති ජලයේ විනාඩි 5 ක් ගිල්වන්න. ජලය ලීටර් 100 ට බෙතොමිල් ග‍්‍රෑම් 100 ක් මිශ‍්‍ර කර ගත යුතුය. ගෙඩි වලට වන හානිය වලක්වා ගැනීම සඳහා උෂ්ණත්වය පාලනය ගැන සැලකිලිමත් විය යුතුමයි.

 

නිවසේදී නම් අපට මෙවැනි පිළිවෙතක් අනුගමනය කිරීම අසීරුයි. මේ නිසා අඹ ගෙඩි හොඳින් සෝදා එක මත එක නොසිටින පරිදි හොඳින් වාතාශ‍්‍රය ලැබෙන ස්ථානයක අසුරා තබන්න.වගාව රැක බලා ගැනීමේදී වගාවට හානි පමුණුවන පළිබෝධකයක් පිළිබඳ අවබෝධයෙන් සිටීම වැදගත්. මේ පිළිබඳ ටියුඩර් මහතා අදහස් පළ කළේ මේ අයුරිනි.“අඹ වගාවට හානි පමුණුවන පළිබෝධකයන් අතර පලතුරු මැස්සා පිළිබඳ දැනුවත්වීම වැදගත් වෙනවා. වැඩුණු දුඹුරු පැහැති කෘමි විශේෂයක් වන පලතුරු මැස්සාගේ උරහිසෙහි තද කහ පැහැති සලකුණු තිබේ. ගැහැනු පලතුරු මැස්සිය අඹ ගෙඩියේ පොත්ත සිදුරු කර බිත්තර දමනවා. බිත්තරවලින් පිටවෙන කීටයෝ ගෙඩියේ මාංසලය ආහාරයට ගන්නවා. මේ හේතුවෙන් මදය දියාරු බවට පත්වී ආහාරයට නුසුදුසු තත්ත්වයට පත් වෙනවා. බිත්තර දැමීමට සිදුරු කරන ස්ථානයෙන් රෝග කාරකයක් ඇතුළු වී ගෙඩියට හානි කිරීම නිසා ගෙඩියේ දුඹුරු පැහැති ලප හට ගෙන කුණු වීමට ඇති ඉඩ සැලැසේ.රෝග පාලනයට ඉක්මන් පියවරක් ගත යුතුයි. ගස යට වැටී ඇති කෘමි හානියට ලක්වූ අඹගෙඩි වල දමා පස්වලින් යට කිරීමෙන් රෝග ව්‍යාප්තිය වළකී. එපමණක් නොවේ අස්වැන්න වෙළෙඳ පොළට යැවීමට පෙර සෙන්ටිග්‍රේඩ් 40 උෂ්ණත්වයට රත් කරන ලද ජලයේ විනාඩි 20 ක පමණ කාලයක් ගිල්වා තබා ගන්න. අස්වනු නෙළීම ආරම්භ කිරීමට සති දෙකකට පෙර කෘමි නාශක යෙදීම නවත්තන්න.අඹ ඇට ගුල්ලා ගැනත් දැනුවත්වීම වගා කරුවන්ට වැදගත්ය. කෘෂිකර්ම වැඩ සටහන් සහකාර නිරෝෂා මහත්මිය පැහැදිලි කළේ මේ අයුරිනි.අඹ ඇට ගුල්ලා අඹ බීජයට පමණක් හානි කරන පළිබෝධකයෙකි. සාමාන්‍යයෙන් ගෙඩියේ ආහාරයට ගත හැකි කොටසට හානියක් සිදුවන්නෙ නැහැ. ඒත් අඹ තවාන් පාලනයේදී හානිකර පළිබෝධකයෙක් වෙන්න පුළුවන්.රතු දුඹුරු හෝ අළු පැහැයට හුරු කළු පැහැති කෘමියෙකු වන අඹ ඇට ගුල්ලාට රාති‍්‍ර කාලයේ කි‍්‍රයාශීලීව පියාඹීමේ හැකියාව ඇත. ළපටි හෝ තරමක් වර්ධනය වූ අඹ ගෙඩිවල පොත්තේ යටි පැත්තේ මේ කෘමියෝ බිත්තර දමති. වර්ධනය වෙන කීටයෝ අඹ ඇටය තුළට ගොස් එහි මාංසල කොටස් හරහා ඇටය තුළට ගොස් තවමත් වර්ධනය වෙමින් පවතින අඹ ඇටය ආහාරයට ගනිමින් ජීවත් වෙනවා.

 

මෙවැනි අඹ ගෙඩි ආහාරයට ගැනීමෙන් පසු ඉවත දමන අඹ ඇටයෙ සිටින අඹ ඇට ගුල්ලා පිටතට පැමිණ අඹ ගසේ පොත්තෙහි අඳුරු ස්ථානයක තම වර්ගය බෝ කරන අදහසින් සැඟවෙන්න පුළුවන්. බිත්තර වලින් පිටවෙන සුදු පැහැති කීටයෝ අඹ ඇටය තුළට ගමන් කළ මාර්ගය අඹ ඇටය ඉදෙන තුරුවත් නොපෙනේ. අඹ වගාවේ වර්ධනය අඹ ඇට ගුල්ලාගෙන් ඇති වෙන තර්ජනය නිසා මෙය පාලනය කිරීමට උනන්දු විය යුතුයි.පාලනය පිළිබඳ ටියුඩර් මහතා දැඩි අවධානය යොමු කරමින් ප‍්‍රකාශ කළ කරුණු වගා කරුවන්ට වඩාත් වැදගත්ය. මම හිතන්නෙ අපි ගෙඩි හට ගැනීමට ආරම්භ වන අවදියේ දී මේ පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕනෙ. වගාවට ඩයිමෙතොඑටි කෘමිනාශකයෙන් මිලිලීටර් 30 ක් ජලය ලීටර් 10 ක් සමඟ මිශ‍්‍ර කර ගසේ අතු පතරට මෙන්ම කුඩා ගෙඩි වලට වදින සේ හොඳින් ඉසින්න. මේ තත්ත්වය පිළියම් මුලදීම කිරීමෙන් වගාව රැක ගැනීමට හැකි වේවි.අඹ ඇට ගුල්ලා වගේ අඹ කීඩෑවන් ගැන ද වගා කරුවන් දැනුවත් වීම වගාව සුරක්ෂිත කර ගැනීමට වැදගත්. මේ නිසාම අඹ කීඩෑවන් ගැන අවබෝධය වැදගත්. මි. මි. 4ක් පමණ දිග ඉතා කි‍්‍රයාශීලි කෘමියෙකි. වසර පුරාම අඹ ගසේ කඳ හා අතු පතර මත ජීවත් වේ. කෘමීන් ශ‍්‍රාවය කරන දියරයක් නිසා වෙන් කළු පැහැති දිලීරයක් වර්ධනය වේ. මේ නිසා පත‍්‍ර මල් පොකුරු කළු පැහැති වේ.අඹ ගසේ අතු නිසි ලෙස කප්පාදුවෙන් මේ උවදුරු වලක්වා ගැනීමට හැකියාව ලැබේ.අවශ්‍ය උපදෙස් හෝමාගම පැළෑටි වෛරස් මධ්‍යස්ථානයෙන් ලබා ගත හැකිය.