Edaru  එඬරු

 

එඬරු හෙවත් එරඬු කියූ පමණින් අපට සිහිවන්නේ ආයුර්වේද ඖෂධයකි. එහෙත් ශාක පිළිබඳව පවත්වන ලද පරීක්ෂණවලට අනුව ලෝකයේ පවතින විෂ සහිත ශාක අතරට එඬරු ශාකයද අයත් බව ඔබ දැන සිටියාද? එඬරු විෂ වී මිය ගිය පුද්ගලයන් පිළිබඳව අසා නොතිබුණත් එඬරු බීජ 2 - 6 ප‍්‍රමාණයක් ශරීරගත වුවහොත් මරණය පවා ගෙන දිය හැකි බව පරීක්ණ වලින් හෙළි වී ඇත.බොහෝ විට එඬරු හෙවත් එරඬු ශාකය ගෙවතු වල පාරවල් අසළ බහුලව දැකිය හැකිය. තෙල් එඬරු (බෙහෙත් එඬරු), වැට එඬරු වශයෙන් එඬරු වර්ග දෙකක් දක්නට ලැබේ. පොදුවේ ගත් කළ එඬරු ශාකය විශාලව වැඩෙන අතර මෘදු කඳක් සහිත පඳුරකි. පත‍්‍ර දාරය දත් වැනි වූ සැලකිය යුතු ප‍්‍රමාණයක කඩතොලු වලින් යුතු වේ. මෙහි හට ගන්නා ඵලය ඕවලාකාරය, එය කොළ හෝ රතු පැහැතිය. රෝම සහිත වෙයි. එක් ඵලයක බීජ 3 ක් බැගින් පිහිටයි. මෙය අලංකාර ලෙස දුඹුරු හෝ අළු පැහැයෙන් තිත් වැටී තිබෙනු දැකිය හැකිය.   Ricinus communis නම් වූ උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වන එඬරු වල ඉංගී‍්‍රසි නම   Castor Oil Plant වේ. ‘රිසින්’(Ricin) ලෙස හැඳින්වෙන විස කාරක ඇල්බියුම්නය ශාකයේ සෑම කොටසකම දැකිය හැකිය.අප දන්නා පරිදි තෙල් එරඬු හෙවත් බෙහෙත් එරඬු ආයුර්වේද ඖෂධයකි. මෙම ශාකයේ බීජ වලින් ලබා ගන්නා තෙල් පමණක්ම ඖෂධයක් වන අතර තෙල් ලබා ගැනීමෙන් පසු ඉතිරිවන මණ්ඩි කොටස විස සහිත වේ.

කුරුමිණියකු වැනි හැඩයෙන් යුක්ත බීජ (ඇට) අළු පාට පසුබිමක් සහිත දුඹුරු පාටින් තිත් වැටී තිබෙනු දැකිය හැකිය. සතකු වැනි හැඩයක් ගැනීම නිසා පුංචි ළමයින් මේ සඳහා වැඩි කැමැත්තක් දක්වයි. එහෙත් නොදැනුවත්කම නිසා හෝ වෙනයම් හේතුවකින් මෙම බීජ ගිලුනහොත් විස අවශෝෂණය වී හුස්ම හිරවීමක් සිදු වේ. එබැවින් මෙම ශාකය මරණය පවා ගෙන දිය හැකි ශාකයකි.එමෙන්ම වැට එඬරු හෙවත් වැට එරඬු නමින් හැඳින් වූ ශාකයද ආයුර්වේද ඖෂධයක් නොවේ. මෙම ශාකයේ උද්භිද විද්‍යාත්මක නාමය වන්නේ  Jatropha curcas වේ. කළු පැහැයට හුරු තද දුඹුරු පැහැයෙන් යුක්ත බීජ මෙම ශාකයේ දැකිය හැකි අතර, මෙහි සෑම කොටසකම  curcin නම් වූ විෂ කාරකය දැකිය හැකිය. බෙහෙත් එඬරු ශාකයේ බීජ මෙන්ම වැට එඬරු බීජය ද විෂ සහිත වන අතර බීජ 5 - 6 ක් ගිලීමෙන් මරණය පවා දැකිය හැකිය.මේ උවදුරට බොහෝ විට ගොදුරු විය හැක්කේ පාසල් යන වයසේ කුඩා දරුවන් වන අතර විවිධ ප‍්‍රායෝගික පෙරහුරුවලට ඇට වර්ග ගෙන යෑමට ඔවුන්ට සිදුවේ. පහසුවෙන් සපයාගත හැකි එඬරු ඇට ගෙන යෑමට ඔවුන් අමතක කරන්නේ නැහැ. එහිදී ඔවුන්ගේ නොදැනුවත්කම නිසා ඒවා ගිලීමට පුළුවන්. මේ උවදුරින් ඔවුන් බේරා ගැනීම අප සතු යුතුකමක්. එසේම ගස්වල කිරි පාසල් කළු ලෑල්ල කළු කිරීමට යොදා ගන්නා අතර, මෙම කිරි ශරීර ගත වීමෙන්ද අනතුරු විය හැකිය. එඬරු විස ශාකයක් බැවින් භාවිතා කිරීමේදී ප‍්‍රවේශමෙන් භාවිතා කළ යුතුය. දිවි නසා ගැනීමට නම් එඬරු ශාකය යොදා ගන්නේ නැති තරම් වුවත් කුඩා ළමයින් මේ නිසා අනතුරට ලක්වීමට ඇති ඉඩකඩ වැඩිය. එබැවින් මාපියන් හා පාසල් ගුරුවරුන් මේ සම්බන්ධයෙන් දැනුවත්වී සිටීම මෙමඟින් සිදුවිය හැකි උවදුරු දුරු කිරීමට පිටිවහලකි.