Erabadu එරබදු

 

අප රටේ සංස්කෘතියත් සමග අත්වැල් බැදගෙන මුළු රටම බත බුලතින් සපිරෙන සිංහල අවුරුදු උදාවන අපෙ‍්‍ර්ල් මාසයේ ගෙවත්තේ වැට මායිමේ මලින් බර වී පරිසරය සුවඳවත් කරන එරබදු ඖෂධීය ශාකයක් ලෙසින් හැඳින්විය හැක. දේශීය වෛද්‍ය විද්‍යාවේදී එරබදු එරට මුදලියා ලෙසින්ද හඳුන්වනු ලබයි.එරබදු ශාකය මීටර් 10 - 15 පමණ උසට වැඩේ. එරබදු ගසේ කද කටු වලින් පිරි ඇති අතර ඉත්තක පත‍්‍ර තුනක් සේ බැඳි පවතියි. මෙම ශාකයේ කොළ විශාලයි. මෙම ශාකයේ උද්භිද විද්‍යාත්මක නාමය වනුයේ Erythinavariegata  කුලය ශිම්බි නමින් ද උපකුලය අපරාජිත නම් වේ. මෙම ශාකය සිංහලෙන් එරබදු, එරමුදු ලෙසින්ද දෙමළ බසින් මුල්ලු මුරුක්කු හා සංස්කෘත නාමය වූයේ සාරිභද්‍රා යනුවෙන්ද හඳුන්වයි.ලංකාවේ නිදර්ශන ප‍්‍රදේශ ලෙස යාපනය වව්නියාව පොළොන්නරුව පුත්තලම මහනුවර මඩකලපුව අම්පාර හම්බන්තොට නම් කර ඇත. එමෙන්ම පේරාදෙණි උද්භිද උද්‍යානය නාවින්න බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණ ආයතන වලදී දැකීමට හැකිවේ. මෙහි එරබදු වර්ග දෙකක් ඇත. එරබදු හා යක්එරබදු (කටු එරබදු ) වේ. එරබදු පහත රට තෙත් ප‍්‍රදේශ හා වියළි ප‍්‍රදේශ වල බහුල වශයෙන් දැකීමට හැකිවේ.

 

එරබදු විශේෂයෙන් වැට මායිම් වල හා ඇලවේලි ගං ඉවුරු වල වැඩි වශයෙන් දක්නට හැකිය. ගැමි ජනතාවගේ රසවත් ව්‍යංජනයක් ලෙසින් හැඳින්විය හැක. නොමේරූ කොළ ව්‍යංජනයට එක්කරන අතර දලු රසවත් සලාදයක් ලෙස ද මැල්ලුමක් ලෙසින් ද ආහාරයට ගනු ලබයි. තවද එරබදු මල් රසවත් මැල්ලුමක් ලෙසින් ආහාරයට ගනු ලබයි.දේශීය වෛද්‍යවේදී හා ගොඩ වෙද කමේදී විශේෂ තැනක් එරබදු වලට හිමිව ඇත. අතිමහත් කුඩා දරුවන්ගේ හා වැඩිහිටියන්ගේ කිරිපණුවන් අධික අවස්ථාවලදී එරබදු කොළ මැල්ලුම හෝ ව්‍යාංජනය සකස් කර දීමෙන් පණුරෝග සුවවේ. ගොඩ වෙදකමේ මෙන්ම ආයුර්වේද වෙදකම් අත් බෙහෙතකි. අප ශරීරයේ තැලීම් කැඩීම් හා ඇට බිදිීම් වලදී බිදුණු ස්ථාන යථා තත්ත්වයට පත් කිරීමට මහඟු සේවයක් කරනු ලබයි. මේ ශාකයේ ඇට චූර්ණ සාදා දීමෙන් දරුවන්ගේ ලෙඩ සුව වීමට කදිම ඔසුවෙකි. තවද එරබදු කොළ හා පොතු අඹරා ලිප තබා කකාරා ගෑමෙන් තුවාල හා ඉදිමුම සුවවේ. එමෙන්ම මධුමේහ රෝගීන් එරබදු කොළ යුෂ පානයේත් ඉක්මන් සුවය ලැබීමට හැකිවේ. එරබදු කොළ හා දලු සකස් කර කෑමෙන් වාතය මෙන්ම සෙම් අමාරු සමනය වීමට හේතු වේ. එහෙත් මෙතරම් ඖෂධීය ගුණැති එරබදු කෙරෙහි දක්වන සැලකිල්ල හා විශ්වාස අප තුළින් ගිලිහී ඇත.