Gewathu Wagawa ගෙවතු වගාව

 

මූලික සිද්ධාන්ත

ගෙවත්තකියන්නෙ අප දැනටමත් ජීවත්වන වටාපිටාවටයි.ඒක සම්පූර්ණයෙන්ම වෙනස් කරලා අමුතුවෙන්ම සැලසුම් කරන්න කියන කරුණ ප්‍රයෝගික නැහැ.අපි හැමෝගෙම ගෙවත්ත එක වගේ නැහැනෙ. ඉඩකඩ, හිරුඑළිය, ජලය, යෙදවිය හැකි කාලය, මුදල් හා අනෙකුත් සම්පත් ලැබිලා තියෙන්නේ විවිධ ප්‍රමාණ වලින්. විවිධ ආකාරයට,

- අප ජීවත්වන පරිසරය. (ග්‍රාමීයව ද නාගරිකවද)

- සමාජ වටාපිටාව.(පවුලේ සාමාජික සංඛ්‍යාව, රැකියාව, ජීවන තත්ත්වය)

- දේශගුණය හා පවතින බෝග රටාව යන කරුණු අනුව මේ වෙනස ප්‍රධාන වශයෙන් දැකිය හැකියි.

එබැවින්දර්ශීය ගෙවත්තක් සැලසුම් කිරීමට නිශ්චිත උපදෙස් ලබාදෙන්න බැහැ.ඒත් "හොඳ ගෙවත්තක්" නිර්මාණය කිරීමට අවශ්‍ය ඉඟි (පොදු සංකල්ප) ලබාදෙන්න පුළුවන්.එම ඉඟි / සංකල්ප තමන්ගේ ගෙවත්තට ගැලපෙන ලෙස යොදා ගැනීමයි කළ යුත්තේ.

 

හොඳ ගෙවත්තක් නිර්මාණය කිරීමට අවශ්‍ය ඉඟි / සංකල්ප

01 හැමදාම එකම විදිහෙ දේවල් කෑමට ගන්න අපි කවුරුත් කැමති නැහැනෙ.

  • ඒ නිසා පළමුවැන්න තමයි අවුරුද්ද පුරාම විවිධත්වයකින් යුතු ආහාර ගත හැකිවන විදිහට විවිධ බෝග වර්ගවගා කිරීම සහ සතුන් ඇති කිරීම.

02 ඉඩමේ පිහිටීම, පස්වල ස්වභාවය, ජල සුලභතාවය, හිරුඑළිය යන කරුණු සැළකිල්ලට ගෙන බෝග වගා කරන්න.

03 එක් බෝගයක අස්වැන්න නෙලා අවසන් වනවාත් සමඟම තවත් බෝගයක් පිහිටුවන පරිදි වගාවන් සැළසුම් කරගන්න.

04 ජූනි - ජූලි සහ නොවැම්බර් - දෙසැම්බර් කාලවලදී එළවළු මිල ඉහළ යනවා.

  • එවැනිකාලවලට තමන්ගේ ගෙවත්තෙන් අස්වැන්න ලබාගත හැකිවන ලෙස වගා සැළසුම් කරගන්න.
  • පවුලේ අවශ්‍යතා සඳහා එක් බෝගයකින් පැළ කිහිපයක් පමණක් නඩත්තු කිරීම ප්‍රමාණවත්.

05 ආහාරයට ගත හැකි බෝග දැනටමත් ඔබ ගෙවත්තේ වගා කර ඇති නිසා පළමුව ඒවාට සාත්තු කර ඒවායේ අස්වැන්න වැඩි කරගන්න කටයුතු කරන්න. ඒ සඳහා,

  • විශාල ගස්වල අනවශ්‍ය අතු කප්පාදු කරන්න.
  • බෝග වලට පොහොර යොදන්න.
  • වල් පැළෑටි පාලනය කරන්න.
  • රෝග හා පළිබෝධ හානි අඩු කර ගැනීමට කටයුතු කරන්න.

06 ඉවුම් - පිහුම් කටයුතු සඳහා නිතර අවශ්‍යවන කරපිංචා, රම්පේ, මිරිස්, පළා වර්ග, කතුරුමුරුංගා වැනි බෝග වලින් ගෙවතු වගාව ආරම්භ කිරීමට/ වැඩි දියුණු කිරීමට සැළසුම් කරන්න .

07 පසුව හැකියාව අනුව වගාව ටිකෙන් ටික පුළුල් කරන්න.

08 ගෙවත්තේ එක අංගයක් විදියට සත්ත්ව පාලනය සිදුකරනවා නම් සතුන් සහ ශාක අතර ලොකු සම්බන්ධයක් ඇති කරන්න පුළුවන්.

  • සතුන්ට අවශ්‍ය ආහාර ගෙවත්තෙන් ලබාදෙන්න හැකිවෙනවා වගේම සතුන්ගේ මළද්‍රව්‍ය එකතු කිරීමෙන් ගෙවත්ත සරු කරගන්න පුළුවන්.
  • ඔබට තිබෙන ඉඩකඩ, වැයකළ හැකි කාලය, ශ්‍රමය, මුදල් හා දැනුම අනුව සතුන්ඇති කරන්න.

09 ගෙවත්තට ලැබෙන හිරුඑළියෙන් උපරිම ප්‍රයෝජන ලැබෙන ලෙස ගෙවත්ත සැළසුම් කරන්න.

  • බොහොමයක් එළවළු බෝග සඳහා ( කරල් හාගෙඩි හටගන්නා බෝග) පැය 6 ක කාලයක් හොඳින් හිරුඑළිය ලැබිය යුතු බව සළකන්න.
  • සෙවන සහිත තැන් සඳහා සෙවනට ඔරොත්තු දෙන බෝග වර්ග තෝරන්න.
  • ( කිරිඅල, ගොටුකොළ, ඉඟුරු)

10 ගෙවතු වගාව අපේ ප්‍රධාන ආදායම් මාර්ගය නොවේ විවිධ රැකියාවල වෙනත් ආර්ථීක හා

සමාජීය කටයුතුවල යෙදී සිටින අතරේ තමයි ගෙවතු වගාවට නැඹුරු වෙන්නෙ.

ඒ නිසා,

  • පවුලේ කාලය, ශ්‍රමය හා ධනය මනා කළමනාකරණයකින් පවුලේම සමාජයීය හා ආර්ථීක කාර්යයන්හා නොගැටෙන ලෙස, බාධා නොවන ලෙස ගෙවත්ත සැලසුම් විය යුතුයි.
  • කුඩාවට පටන්ගෙන ක්‍රමයෙන් ව්‍යාප්ත කිරීමට සැළසුම් කරන්න.
  • මුළු ගෙවත්තම එකවර සංවර්ධනය කිරීමට යෑමෙන් බිම් සැකසීම, පැළ සිටුවීම, වල් මර්දනය, වතුර දැමීම යනාදි නොයෙක් වගා කටයුතු සියල්ල එකවිට සිදුකළ යුතුවීම තුළින් වගාව කරදරයක් බවට පත්වීම වළක්වාගන්න.
  • ගෙවතු වගාවකින් වැඩි නිෂ්පාදනයක් බලාපොරොත්තු විය යුත්තේ සරල හා අවම තාක්ෂණ යෙදවුම්මතයි.
  • නඩත්තු කටයුතු අඩු, පහසුවෙන් වගා කළ හැකි බෝග පළමුවෙන් තෝරා ගන්න.
  • (දඹල,දේශීය මිරිස්, අවර හා වෙනත් බෝග, වට්ටක්කා, නිවිති, මිටි ඇඹරැල්ලා)

එවැනි බෝග වල රෝපණ ද්‍රව්‍ය බොහෝ විට අදාල වටාපිටාවෙන්ම සොයාගත හැකියි.

11 විශේෂයෙන්ම ඉඩකඩ සීමිත අවස්ථාවලදී සිරස් ඉඩ උපරිමව භාවිතයට ගතහැකි ක්‍රම හඳුනාගන්න. (වගා කුළුණු, එල්ලෙන වගා බඳුන්, බඳුන්වල වගාව, ජල රෝපිත වගා ක්‍රම)

වෙනස් විය යුතු කරුණු හඳුනා ගැනීම

අපේ ගෙවතු වල වර්තමාන තත්ත්වය

අපට දකින්න ලැබෙන බොහෝමයක් ගෙවතු වල සම්පත් උපරිම ලෙස ප‍්‍රයෝජනයට ගෙන වගා කර නැහැ
- තනි ශාක වියනක් විතරයි තියෙන්නේ. ඒ නිසා ඉඩකඩත්, හිරුඑළියත් උපරිම විදියට ප‍්‍රයෝජනයට අරගෙන නැහැ.
- වගා කරලා තියෙන බෝග වල විවිධත්වය අඩුයි. ඒ කියන්නේ බෝග වර්ග කිහිපයක් විතරයි.දකින්න ලැබෙන්නේබෝග වර්ග හිටවලා තියෙන්නේ ඒවාට සුදුසුම තැන්වලත් නෙවෙයි. බෝග අතර තියෙන්න ඕන පරතරය ගැනත් සැළකිලිමත් වෙලා නැහැ
වගා කර ඇත්තේ උචිත නොවන බෝගයන් වැඩි පැළ ගහණයත් දුර්වල කප්පාදුවත් නිසා ඵලදාව අඩුයි.හොඳින් නඩත්තු නොකරන නිසා බෝග ඉස්මතුව වල් බිහි වෙලා දුර්වල භූමි පරිහරණය නිසා පස නිසරු වෙලා

ඔබත් ඔබේ ගෙවත්ත වැඩි දියුණු කරන්න සැළසුම් කරනවා නම් වැදගත් කරුණු කිහිපයක් ගැන සළකා බැලිය යුතුයි .මුලින්ම තමන්ගේ ගෙවත්තේ දැනට පවතින තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහ දැනට පවතින බෝග, ඇතිකරන සතුන් ඒ සඳහා යොදන පාලන තත්ත්ව හා එම බෝගවලත් සතුන්ගේත් නිෂ්පාදන තත්ත්ව දැනගන්න.ඉඩමේ කෘෂිකාර්මික විභවය (හැකියාව) තීරණය කරන්න. එය තීරණය කිරීමේදී ඉඩමේ පිහිටීම හා අඩංගු නිෂ්පාදන සංඝටක වල පිහිටීම දළ සිතියමක ලකුණු කරන්න.ඉඩමේ පවතින තත්ත්වය හා කාර්යයන් අවබෝධ කරගන්න මේ දළ සිතියම අපට උදව් වෙනවා. සිතියමේ පහත සඳහන් දේවල් ලකුණු කරන්න ඔබට පුළුවන්. පවතින තත්ත්ව සඳහන් කිරීමත් ඉතා වැදගත්

අ. ඉඩමේ පිහිටීම, ප‍්‍රමාණය, පවතින ඉඩකඩ, ගොඩනැගිලි හා ඒවායේ ප‍්‍රමාණය, පසේ ලක්‍ෂණ හා සරුබව, වගාවට යොදාගෙන ඇති භූමි ප‍්‍රතිශතය, බෑවුම් තත්ත්වය, ජල සම්පත හා හිරුඑළිය විවිධ අවස්ථාවල වැටෙන අකාරය

ආ. අඩංගු ජෛව විවිධත්වය :- මෙහිදී ඔබගේ ගෙවත්තේ දැනට ඇති ගස් වර්ග (එළවළු, පලතුරු, මල්, දැව) සතුන් (ගව, කුකුළු, එළු) ආදිය මොනවාද යන්නත් ඒවායේ ප‍්‍රමාණයනුත් සටහන් කරගන්න

ඇ.බෝග පිළිබඳ තොරතුරු :- මෙහිදී බෝග වල දැනට පවතින පාලන තත්ත්වය පිළිබඳ පහත සඳහන් දේ පිළිබඳව සටහන් කරගන්න
- බෝග වල පාලන තත්ත්වය

- පැළ ගහණය

- පස සහ ජලය ප‍්‍රයෝජනයට ගෙන ඇති ආකාරය

- කාබනික පොහොර නිපදවීම

- කප්පාදු කිරීම (කප්පාදු කර ඇත්ද, කප්පාදු කරන කාලාන්තරය)

ඈ. සතුන් පිළිබඳ තොරතුරු

- පාලන තත්ත්වය

- ලබාදෙන ආහාර වර්ග, ප‍්‍රමාණය

- සතුන් ඇතිකරන මඩුවල / කොටුවල ස්වභාවය

- අපද්‍රව්‍ය බැහැර කරන ආකාරය

- සතුන්ගේ සෞඛ්‍ය හා සනීපාරක්‍ෂාව

ඉ. බෝග හා සත්ත්ව ඒකකවල නිෂ්පාදන තත්ත්ව

- බෝග වලින් ලබාගන්නා අස්වනු ප‍්‍රමාණය

- සතුන්ගෙන් ලබාගන්නා නිෂ්පාදන (කිරි, බිත්තර) ප‍්‍රමාණය

මෙසේ ඔබ සටහන් කරගත්ත තොරතුරු වලට අනුව ඔබේ ගෙවත්තේ ඵලදායිතාවය නැංවීම සම්බන්ධයෙන් ඇති ප‍්‍රධාන ගැටළු එහෙමත් නැත්නම් ගෙවත්තෙන් උපරිම ප‍්‍රයෝජන ලැබීමට බාධා කරන කරුණු හඳුනාගන්න ඕන ඊළඟට අවශ්‍යතාවය අනුව එම ගැටළුවලට ප‍්‍රමුඛත්‍වය ලැබෙන විදියට පෙළගස්වන්න .ඉදිරියේදී ඔබ ගෙවත්තෙන් ලබාගන්න බලාපොරොත්තු වන දේවල් පහත පරිදි වෙන්න පුළුවන්

- පවුලේ එදිනෙදා පෝෂණ අවශ්‍යතාවයන් සැපයීම

- අමතර ආදායම් ඉපැයීම

ඉදිරියේදී ඔබ ගෙවත්තෙන් ලබාගන්න බලාපොරොත්තු වන දේවල් පහත පරිදි වෙන්න පුළුවන්

- පවුලේ එදිනෙදා පෝෂණ අවශ්‍යතාවයන් සැපයීම

- අමතර ආදායම් ඉපැයීම

- ගෙවත්තේ නිපදවන දේවල්වල විවිධත්‍වයක් ඇති කිරීම

- අවුරුද්ද පුරාම ආහාර ලබාගත හැකි බවට (ආහාර සුරක්‍ෂිතභාවයට* පත් කිරීම

- ඵලදාව අඩු ගස්වැල් වල ඵලදාව වැඩි කිරීම

- ගෙවත්තේ නිපදවන දේවල්වල විවිධත්‍වයක් ඇති කිරීම

- අවුරුද්ද පුරාම ආහාර ලබාගත හැකි බවට (ආහාර සුරක්‍ෂිතභාවයට)පත් කිරීම

- ඵලදාව අඩු ගස්වැල් වල ඵලදාව වැඩි කිරීම

- විසිතුරු පැළ, වතු බෝග සහ අපනයන බෝග වල තවාන් ඇති කිරීම

- හානිකර කෘමි සතුන් (පළිබෝධ) සහ වල් පැළෑටි මර්දනය කිරීම

- භූමිය උපරිම ප‍්‍රයෝජන ලැබෙන විදියට යොදා ගැනීම

- නෙත් සිත් පිනවන විදියට වටාපිටාව සකස් කිරීම (භූමි අලංකරණය)

මේ අරමුණු ඉටුකර ගන්න බාධාවන ගැටළු විසඳා ගැනීමට කල්පනාකාරීව ගෙවත්ත සැලසුම් කරන්න ඕන .විශේෂයෙන්ම පහත සඳහන් කරුණු ගැන සැළකිලිමත්වීම වැදගත් වෙනවා

 

- ප‍්‍රදේශයේ දේශගුණික හා පාංශු තත්ත්ව

- ඉඩමේ කෘෂිකාර්මික විභවය (හැකියාව)හා නිදහසේ ලැබෙන සම්පත්

(හිරුඑළිය, වර්ෂාව)

- වැය කළ හැකි පවුලේ ශ‍්‍රමය, කාලය, මුදල

මේ කරුණුු අනුව ඔබේ ගෙවත්ත සැළසුම් කර සංවර්ධනය කරන්න යොදාගන්න තාක්ෂණික උපක‍්‍රම වෙනස් විය යුතු වෙනවා.මේවා ඉතාම සරල වෙන්නත් පුළුවන්. අධි තාක්‍ෂණයන් වෙන්නත් පුළුවන්

 

ඇතුලත් විය යුතු මූලික අංග

  • හැමෝගේම ගෙවත්ත එක වගේ නැහැනෙ. ආර්ථීක, සමාජීය හා භෞතික පරිසරයට අනුව ගෙවත්තේ ස්වභාවය වෙනස් වෙනවා.
  • ගැමි පරිසරයක ජීවත් වෙනවා නම් බොහෝවිට ප්‍රමාණයෙන් වැඩි ඉඩකඩක් හිමිවෙනවා.
  • අර්ධනාගරික හෝ නාගරික ප්‍රදේශවල බොහෝවිට ලැබෙන්නෙ සීමිත ඉඩකඩක්.
  • අපේ වටාපිටාවත්, ස්වභාවිකව ලැබෙන සම්පත් වගේම අපට ලැබෙන කාලයත් ඒ අනුව වෙනස් වෙනවා.
  • ගෙවතු එකිනෙකට වෙනස් වුවත් හැමෝගෙම ගෙවතුවල හඳුනාගත හැකි ප්‍රධාන පරිසර තුනක් තියෙනවා.
  1. සමාජීය වටාපිටාව
  2. උපයෝගිතා වටාපිටාව
  3. නිෂ්පාදන වටාපිටාව
  • ගෙවත්ත කුඩා වන්නට කුඩා වන්නට මෙම පරිසර තුන අතිපිහිතව තිබෙන්නට පුළුවන්.
  • නාගරික ගෙවත්තක (සමහරවිට කොන්ක්‍රීට් බැල්කනිය වන්නට පුළුවන්) පවතින කුඩා ඉඩකඩේ මේ පරිසර තුනම එකට ක්‍රියාකරනවා.
  • බැල්කනියේ පෝච්චිවල වගාව නිෂ්පාදන පරිසරයට අයිතියි.
  • රෙදිවැලක අව්වේ රෙදි වේලීම අයත් වන්නේ උපයෝගිතා පරිසරයට.
  • පවුලේ උදවිය බැල්කනියේ පුටු කිහිපයක් තබා විවේකීව කාලය ගතකිරීම සමාජයීය පරිසරයයි.
  • ගමේ ගෙවත්තේ වුවත් දරමඩුව අයත් වන්නේ උපයෝගිතා පරිසරයට. එහෙත් එහි වහලයේ තිබෙන ලබු, පුහුල් වැල් නිෂ්පාදන පරිසරයට අයත් එකක්.
  • ගෙවත්තකඅඩංගු වන විවිධ අත්‍යවශ්‍ය අංග හෝ උපාංග පැතිරිලා තිබෙන්නේ මේ පරිසරවලයි .(සමාජයීය, උපයෝගිතා, නිෂ්පාදන පරිසරයන්)
  • ඉඩම විශාලවන්නට විශාලවන්නට මෙම පරිසර තුන හොඳින් හඳුනාගන්නට හැකි වුවත් බොහෝවිට කුඩා ගෙවත්තකදී එකිනෙක අතිපිහිතවයි තියෙන්නේ.
  • මේ කරුණු අනුව ගෙවත්තක තියෙන්න පුළුවන් අංගත් එහි සංකලනයත් අනිවාර්යයෙන්ම වෙනස් වෙන්න ඕන.
  • මේ දක්වලා තියන අංග සියල්ලම හෝ එයින් සමහරක් හෝ ගෙවත්තක දකින්න ලැබෙනවා.

ගෙවත්තක තිබිය හැකි අංග

සමාජීය පරිසරය

- නිවස

- මිදුල

උපයෝගිතා පරිසරය

- ළිඳ / ජල සැපයුම

- දරමඩුව

- වැට / තාප්පය

- වළං මැස්ස

- පොල් උල

- කුණු රොඩු දමන වළවල්

- වැසිකිළිය

නිෂ්පාදන පරිසරය

  1. බෝග
    1. මල් - අලංකාරයට සහ අලෙවියට
    2. එළවළු - බෝංචි, වැටකොළු, පතෝල, කරවිල, වට්ටක්කා, මෑකරල්
    3. පළා - කතුරුමුරුංගා, ගොටුකොළ, මුකුණුවැන්න, කන්කුන්, තම්පලා, සාරණ, තෙබු, කොහිල, පෙනෙල, නිවිති
    4. අල - බතල, කිරිඅල, දෙහිඅල, ඉන්නල, කිඩාරං, අර්තාපල්
    5. පලතුරු - කෙසෙල්, පැපොල්, අඹ, අලිපේර, රඹුටන්, අන්නාසි, අනෝදා, වැල් දොඩම්, නාරං, දෙහි
    6. කුළුබඩු - කරපිංචා, රම්පේ, සේර, එනසාල්, ගම්මිරිස්
    7. දැව - කොස්, බුරුත, තේක්ක, මැහෝගනී, නඳුන්, ග්ලිරිසීඩියා
    8. ඖෂධ - කෝමාරිකා, පොල්පලා, කුප්පමේනියා, හාතාවාරිය
  1. මී මැසි පාලනය
  1. සත්ත්ව පාලනය

ගව, එළු, කුකුල්, තාරා, හාවුන්, මත්ස්‍ය වගාව

  1. ජීව වායු ඒකකය

අලුතෙන්ම ගෙවත්තක් නිර්මාණය කරනවා නම් ඉහත සඳහන් කළ අංග නියමිත සැලැස්මක් ඇතිව ගෙවත්තට ඇතුලු කරන්න පුළුවන්

  • එහෙත් අපගේ බොහොමයක් ගෙවතු දැනටමත් පවතින ඒවායි
  • ඒ නිසා අප කළයුත්තේ ගෙවත්තට එක්කර ගත හැකි අංග රාශිය අතුරින් අප සතු සම්පත්, ඉඩකඩ, ශ්‍රමය, කාලය, වැයකල හැකි මුදල, ගෙවත්තක් පිහිටුවීමේ අරමුණු අනුව වැදගත් වන අංග හඳුනාගෙන ඒවා ඇතුළත් කරගැනීමෙන් සාර්ථක ගෙවතු වගාවක් පවත්වාගෙන යාමයි

ගෙවත්තකට වැදගත් වන මූලික අංග කිහිපයක්

² එළවළු, පලතුරු, අලබෝග, රනිල බෝග සහ පළාවර්ග වැනි විවිධ ආහාර බෝග

² ඖෂධ හා කුළුබඩු බෝග

² කොම්පෝස්ට් පොහොර නිෂ්පාදන ඒකකය

² පැළ තවානක්

මීට අමතරව ඉඩකඩ හා සම්පත් අනුව මී මැසි ජනාවාසයක්, සත්ත්ව පාලන ඒකකයක්, ජීව වායු ඒකකයක් වැනි අංග එකතු කර ගැනීම වැදගත්.