Gusmeeniya Shaka ගුස්මේනියා ශාඛ

 

සොබා දහම තරම් අපූර්ව මැවුම් කරුවකු ලොව ඇත්තේ නැහැ. නිවර්තන වැසි වනාන්තරයකට වගේ ම කර්කශ නිරුදක කාන්තාරයකට ගියාමත් සොබා දහමේ විස්මිත නිර්මාණ දැක බලා ගන්න පුළුවන්. කාන්තාරයක පිපෙන පතොක් මල් මොන තරම් සුන්දරද? ජලය නැහැ කියල පතොක් ශාකවල වර්ධනයේ වෙනසක් නැහැ. ඒ වගේ ම ඇල දොළ, ගංගා, විල්, පොකුණු වලින් අඩුවක් නො මැති ආර්ද්‍රතාවයෙන් යුතු ගන වනයක පිපෙන විවිධාකාර මල් වර්ගත් අර වගේ ම සුන්දර යි.දකුණු ඇමරිකාව කියන්නෙ මහා වනාන්තර වලින් සුසැදි සොබා දහමේ සියලු විස්මයන් කැටි කර ගත් විශාල රටක්. ලංකාවේ ගෙ උයන් හැඩ කරන ඇන්තූරියම්, බ්‍රොමීලියා, ගුස්මේනියා වගේ ශාකවල නිජබිම වන්නේත් දකුණු ඇමරිකාව යි.මේ ඡායාරූප වලින් දැක්වෙන්නේ බ්‍රොමීලියා මෙන් ම එම පවුලේ ම තවත් සාමාජිකයකු වන ගුස්මේනියා ශාක කිහිපයක්.

 

මල්වල අලංකාරය වගේ ම පත‍්‍රවල විසිතුරු භාවයත් යන දෙක ම ඇති නිසා මෙම ශාක විශේෂ දෙක ම වැඩි වටිනාකමක් හිමි කරගෙන තිබෙනවා.සාමාන්‍ය ලෙසට මෙන් ම ගසකට තබා බැඳීමෙන් ද මෙම දෙවර්ගය ම වගා කරන්නට පුළුවන්. නිජබිම දකුණු ඇමරිකාව වුණත් අනෙකුත් ශාක බොහොමයක සේ ම බ්‍රොමීලියා පවුල පිළිබඳවත් පර්යේෂණ බොහොමයක්ම සිදු කරනු ලබන්නේ නෙදර්ලන්තය විසින්.බඳුන්ගත කිරීමේ දී වගා මාධ්‍යය ලෙසින් දිරාගිය කොළ රොඩු ප‍්‍රධාන වශයෙන් යොදා ගැනෙනවා. බඳුනේ අඩියට අඟලක තරම ප‍්‍රමාණයට තබාගත් ගඩොල් කැට තට්ටුවක් යෙදිය යුතුයි. දිරා ගිය කොළ රොඩු බඳුනට දැමිය යුතු වන්නේ ඉන් අනතුරුවයි. මුල් ගමන් කිරීමේ පහසුව සඳහා වගා මාධ්‍යය නිතර ම බුරුල්ව පැවතිය යුතු යි.පොහොර යෙදීමේ දී වඩාත් සුදුසු වන්නේ දියර පොහොර භාවිතය යි. සති දෙකත් තුනත් අතර කාලයක දී පත‍්‍ර සහ මුල් හොඳින් තෙමී යන සේ පොහොර ඉසින්න. බ්‍රොමීලියා පවුලේ ශාක වැසි ජලයට ඉමහත් ඇල්මක් දක්වනවා.මෙම ශාකයක මල් පිපුන පසු එය මාස තුනක් පමණ පර නොවී තිබීමත් ෂ;ශ්ෂයක් ලෙසින් පෙන්වා දෙන්නට පුළුවන්. මල පර වී යාම ඇරඹීමත් සමග ම ශාකයේ මුලෙන් කුරුල්ලන් හට ගැනීම ඇරඹෙනවා. ඒවා එසේම තිබෙන්නට හැරීමෙන් පඳුරක් ලෙසින් පවත්වා ගෙන යන්නත් පුළුවන්. මව් ශාකයෙන් තුනෙන් එකක් ප‍්‍රමාණයට වැඩුන පැළ වෙනම සිටුවීමට යොදා ගන්නට පුළුවන්.ලෙඩ රෝග ඉතාම අඩු ශාක ලෙසින් ද මේවා ප‍්‍රචලිතයි. ගොළුබෙල්ලන් සහ හංගොල්ලන් මල් කැකුළු කෑමට යොමු වන අතර, පත‍්‍ර කා දැමීමේදී තණකොළ පෙත්තා ඉදිරියෙන්ම සිටිනවා. ගෙ උයනට කුරුල්ලන් පැමිණෙනවා නම් මෙම තර්ජන නිරායාසයෙන් ම මැඩ පවත්වා ගන්නට පුළුවන්. එසේ නො මැතිනම් නිර්දේශිත කෘමිනාශක යෙදීමෙන් හානි වැඩ පවත්වා ගත යුතුයි.