Rukshan Jayasekara



Idhdha Mala ඉද්ද මල

 

වතුසුද්ද, ගැටපිච්ච , නුවර පිච්ච, සමන් පිච්ච, ඉද්ද වැනි මල් වර්ග අපේ පැරැණි නිවෙස්වල ගෙමිදුල් සැරසු මල් වර්ග අතරින් පළමුවෙන්ම කියැවෙයි. විශේෂයෙන් බුදු පුදට යොදා ගත් නිසා මෙම මල් වර්ග ගෙමිදුලක වැරැදුණෙම නැත. ක‍්‍රමයෙන් මෙම මල් ගෙමිදුල් වලින් ඈත්වී ගියද වර්තමානයේ මල් වගා කරුවන් අතර යළිත් ජනප‍්‍රිය වී තිබේ.මෙම මල් වර්ග අතරින් අද ඔබට හඳුන්වා දෙනුයේ ඉද්ද ශාකයයි. අනෙකුත් මල් වර්ග මෙන් නොව ඉද්ද ශාකයට වර්තමානයේ හොඳ ඉල්ලුමක් මෙන්ම වැඩි වටිනාකමක්ද හිමි වී තිබේ.මන්ද මේ වනවිට ඉද්ද ශාකයේ නව ප‍්‍රභේද බිහි වී ඇති බැවිනි.වර්තමානයේ ඉද්ද වර්ග කිහිපයක්ම නිපදවා ඇත. බැංකොක් ඉද්ද , කුරු ඉද්ද, ලොකු මල් සහිත ඉද්ද ඒ අතර වේ. අප කවුරුත් දන්නා හඳුනන ඉද්ද සුදු පැහැති වුවද බැංකොක් ඉද්ද තද කහ පැහැතිය. එයින් ගාඩිනියා මලෙහි සුවඳට සමාන සුවඳක් වහනය වේ. මෑතකදී වෙළෙදපොළට එක්ව ඇති පුංචි තරුවකට සමාන මල් රාශියක් පිපෙන කුඩාම ඉද්ද වර්ගය කුරු ඉද්ද ලෙසින් හැඳීන්වේ.මෙහි පත‍්‍ර ඉතා කුඩා වන අතර සිහින්ය. අඟල් 1 1/2 ක් පමණ දිගැටි පත‍්‍ර සහිත මේ කුරු ඉද්ද පැළ වැඩි ප‍්‍රමාණයක් එකට සිටු වු කළ මල් පිපීමේදී ලැබෙන දසුන චමත්කාරජනකය.

 

සාමාන්‍යයෙන් ඉද්ද යනු වගාකිරීමට පහසු ශාකයකි. මෙරට පවතින ඉද්ද ගසෙහි ඇට මේරුණු පසුව සුළඟින් පවා පැතිර ගොස් තම වර්ගයා බෝ කරයි. ඒ හැරුණු කළ අතු මාර්ගයෙන් ව්‍යාප්ත කිරීමද පහසු වේ. ඇතැම් ඉද්ද වර්ග වල කරල් හටගෙන බීජයන් ජනිත වුණත් එම බීජ මඟින් හටගන්නා ශාකද සාමාන්‍ය ඉද්ද ශාකයේ ගුණයම ගනියි.ඉද්ද පත‍්‍ර තද කොළ පැහැතිය. නමුත් වර්තමානයේ ද්විත්ව වර්ණ ගත් පත‍්‍රද දක්නට ඇත. ඒ කහ සහ ළා කොළ පැහැය මිශ‍්‍ර වු ඉද්ද පත‍්‍රය.අතු කැබැලි මාර්ගයෙන් මෙහි වර්ගයා බෝ කරගැනීමේ දී වැලි සහ කොහුබත් මිශ‍්‍ර වගා මාධ්‍යයේ සිටුවා ප්‍රොපගෙටරයක් තුළ තැබිය යුතුය. එවිට එකවර පැළ රාශියක් ලබා ගැනීමේ හැකියාව පවතී. අනතුරුව සති 03ක් පමණ ගත වී මුල් ඇදුණු පසුව කොම්පොස්ට් සහ වැලි මිශ‍්‍ර වගා මිශ‍්‍රණයකට මාරු කරන්න. ඉන් පසුව එය සාමාන්‍ය සෙවණක සති 02ක් පමණ තබා ක‍්‍රමයෙන් තද සුර්යාලෝකයට යොමු කරවන්න.අනතුරුව වැඩෙන ශාකය වරින් වර කප්පාදු කිරීම තුළින් අලංකාර පඳුරක් ලෙසට සකස් කරගත හැකිය. මෙම ඉද්ද වගාවට සති 2 කට වරක් පොහොර කිරීම ප‍්‍රමාණවත් වන අතර ශාක වර්ධනයේ දී 20: 20: 20 සමතුලිත පොහොරක් යොදන්න. පසුව මල් හට ගැනීම වැඩි කර ගැනීම පිණිස පොටෑසියම් වැඩි පොහොරක් සැපයීම සුදුසුය.මෙම ශාකයට ඇතැම් අවස්ථාවලදී දිලීර රෝග සහ කුඩා පණුවන්ගෙන් හානි සිදු කරයි. එවිට දිලීර නාශක හෝ කෘමි නාශක භාවිතයෙන් රෝග මර්ධනය කරගත හැකිය. කෙසේ වුවද ආගමික කටයුතු සඳහාම යොදා ගැනෙන මෙම ශාකයේ ප‍්‍රයෝජනය කියා නිම කළ නොහැක්කේ එහි වර්ෂය පුරාම මල් පිපෙනා බැවිනි.