Jeraniya ජෙරනිය

 

ඕනෑම ගෙමිදුලක මල් පිපෙන ශාක කිහිපයක් දක්නට ලැබේ. හිමිදිරි උදෑසන මේ ගස්වල පිපිලා තියෙන මල් සමූහය දකින විට සිතට දැනෙන ප‍්‍රබෝධය කියා නිම කරන්න බැහැ. ඒ නිසාදෝ බොහෝ දෙනකු තම ගෙමිදුල මලින් සරසා ගන්න වැඩි උනන්දුවක් දක්වනවා.සෑම ශාකයකම වාගේ මල් පිපුණත් විවිධ දේශගුණික තත්ත්වයන් යටතේ ඒ ඒ ශාකවල පිපෙන මල්වල සුන්දරත්වය අඩු වැඩි වෙනවා. බොහෝ විට ශීත දේශගුණයේදී වැඩි අලංකාරයක් ගෙන දෙන මල් වියළි දේශගුණයෙහිදී එතරම් සුන්දර නැහැ. ඒ වගේම වියළි පරිසරය තුළ ලස්සනට පිපෙන මල ශීීත පරිසරයකදී සුන්දර නැති වෙන්නත් පුළුවන්. මන්ද මේ මල් වලටම ආවේණික වූ තත්ත්ව යටතේ වැඩීමට අවශ්‍ය බැවිනි. ඒ අනුව අද අපි හඳුන්වාදෙන මේ “ජෙරනියම්” ශාකය හොඳින් වැඩෙනුයේ ශීත දේශගුණයක් පවතින ප‍්‍රදේශවලය.“ජෙරනේසියේ”  පවුලට අයත් වන බහුවාර්ෂික ශාකයක් වූ මෙම ජෙරනියම් ශාකය පඳුරු වශයෙන් වැඩේ. මෙහි ප‍්‍රභේද 300 ක් පමණ ඇතත් ඒවා එකිනෙකට වෙනස් ස්වභාවයක් ගන්නා අතර විවිධ දේශගුණික තත්ත්ව යටතේ ඇතැම් ප‍්‍රභේද ඉතා ශක්තිමත් වුවද තවත් ඒවා මෘදු බවක් ගනියි.ජෙරනියම් ශාකයේ පත‍්‍ර තරමක ඝනකම් ස්වභාවයක් ගන්නා අතර තද කොළ පැහැතිය. අතක ඇඟිලි විහිදුන ආකාරයක හැඩයක් ඇති පත‍්‍ර මෙන්ම, මඳක් රැලි ගැසුණු ගොටුකොළ පත‍්‍රයක හැඩැති පත‍්‍රද ඒ අතර වේ.සාමාන්‍යයෙන් වසරකට දෙවරක් පමණ ජෙරනියම් මල් හටගන්නා අතර එය පොකුරු වශයෙන් දැකිය හැකිය. පෙති පහකින් සමන්විත මෙම මලේ පෙත්ත මඳක් පැතැලි ස්වභාවයකින් යුතු වන අතර තවත් ප‍්‍රභේදයක පෙත්තෙහි කෙළවර නැමී ගිය බවක් දක්නට ලැබේ. සුදු, රතු, රෝස, තැඹිලි, ළා දම් වැනි විවිධ වර්ණයන්ගෙන් මෙහි මල් පිපෙන බැවින් වැඩි සුන්දරත්වයකින් ද යුක්ත වේ.සාමාන්‍ය හිරු එළියේ ජෙරනියම් ශාකය වගා කළ හැකි වුවත් වැඩි අලංකාරත්වයකින් යුක්ත මල් හට ගැනීම සඳහා හොඳ සූූර්යාලෝකයක්් සමඟ මනා ආලෝකයක් තිබිය යුතුවේ. විශේෂයෙන්ම පෙරවරුවේ ලැබෙන හිරු එළිය මේ සඳහා වඩාත් සුදුසුය.සාරවත් ලෝම පසක් පි‍්‍රය කරන මෙම ශාකය ශීීත දේශගුණයේදී නම් වැලි මිශ‍්‍ර රතු පසෙහි මනාව වැඩේ. කොම්පෝස්ට් මාධ්‍යයද මේ වගාව සඳහා සුදුසු වන අතර වියළි ගොම, වැලි, කොම්පෝස්ට් ආදිය මිශ‍්‍ර කොට සකසා ගත් වගා මාධ්‍යයද යොදා ගත හැකිය.සාමාන්‍යයෙන් ජෙරනියම් ශාකයේ මුල් වහා පැතිරී යන සුළුය. එබැවින් උද්‍යාන නිර්මාණයේදී ජෙරනියම් පාත්ති වශයෙනුත් වැටි වශයෙනුත්, බිම් ආවරණය වන සේ සකසා ගත හැකිය. තවත් සමහරකු මෙම ශාකය බඳුන්ගත කොට එල්ලා හැලෙන ශාකයක් ලෙසින් නිවෙසෙහි තැබීමට සකස් කර ගනිති.පහසුවෙන් ව්‍යාප්ත කරගත හැකි ශාකයක් වූ මෙය පඳුරු කඩා වෙන් කිරීම මඟින්ද, අතු කපා සිටුවීම මඟින්ද බෝකර ගත හැකිය. මෙහි හට ගන්නා බීජ මාර්ගයෙන්ද පැළ ලබාගත හැකි අතර බොහෝ විට මෙය බීජ මාර්ගයෙන් පැතිරී යන ශාක යටතට වැටේ.ජෙරනියම් ශාකය කුඩා කාලයේදී නයිට‍්‍රජන් වැඩි පොහොරක් සැපයිය හැකි වුවත් වර්ධනය වන සමයේදී සමතුලිත පොහොරක් (20 : 20 : 20) යෙදිය යුතුය. අනතුරුව මල් පිපෙන සමයේදී පොටෑසියම් වැඩි පොහොරක් යෙදීම තුළින් වඩාත් අලංකාර මල් රැසක් ඔබට ලබා ගැනීමට හැකියාව ලැබේ.එතරම් රෝග හට නොගන්නා නමුදු ජෙරනියම් ශාකය පිටි මකුණු උවදුරට ලක්වීමට ඇති හැකියාව වැඩිය. එවැනි අවස්ථාවකදී කෘමිනාශක භාවිතා කිරීම සුදුසුය. ඊට අමතරව දිලීීර හානියටද ඉඩකඩ ඇති අතර දිලීීර නාශක නිසි පරිදි භාවිතා කිරීම තුළින් මෙම ශාකය රැක ගැනීමට ඔබට අවස්ථාව ලැබේ.ජෙරනියම් ශාකය අලංකාරව වගා කර ගැනීම සඳහා කාලයෙන් කාලයට කප්පාදු කළයුතු වේ. මෙහිදී කපා ඉවත් කරන අතු මඟින් නැවත පැළ බෝ කර ගැනීමත් කළ හැකිය. බඳුන් ගත වගාවකට වඩා පාත්ති වශයෙන් සිටුවීමට ඉඩ සුදුසු ශාකයක් වූ ජෙරනියම් එක යායට වැඩුණු කළ ඕනෑම අයකුගේ නෙත සිත වශී කරවීමට සමත් බව නොකියාම බැහැ.