Wijesundara Sami
Hot Kello

Kabanika Gowithana  කාබනික ගොවිතැන

 

කාබනික ගොවිතැන  (Organic Farming) යන්න ශී‍්‍ර ලාංකික ගොවීනට අලුත් ගොවිතැන් ක‍්‍රමයක් සේ පෙනුණත් මෙය ලෝකය පුරා ශීඝ‍්‍රයෙන් වර්ධනය වන ගොවිතැන් ක‍්‍රමයකි. තව අතකට මෙය අපේ මුතුන් මිත්තන් කළ පරිසර හිතකාමී අතීත ගොවිතැන් ක‍්‍රම නූතන තාක්ෂණික දැනුමත් සමග සංකලනය කිරීමෙන් සාදාගත් තිරසාර ගොවිතැන් ක‍්‍රමයක්(Sustainable Farming System) ලෙසද හැඳින්විය හැක. මෙහි ඇති විශේෂත්වය වන්නේ පරිසර දූෂණයට හේතුවන හා මිනිස් සෞඛ්‍යයට අහිතකර කෘමිනාශක රසායනික පොහොර ඉන්ධන වැනි ද්‍රව්‍ය භාවිතා නොකිරීම හෝ ඉතා අවමයක් දක්වා සීමාකරන ලද ඒ වෙනුවට ගොවිපළ ආශි‍්‍රතව සපයා ගත හැකි පරිසර හිතකාමී විකල්ප ද්‍රව්‍ය හා ක‍්‍රම මෙහිදී උපයෝගී කර ගැනීමයි.කාබනික ගොවිතැනේදී රසායනික පොහොර භාවිතය අවම මට්ටමක පවතින අතර ඒ වෙනුවට ගොවිපළ ආශි‍්‍රතව සපයා ගත හැකි සත්ව හා ශාක අපද්‍රව්‍ය භාවිතයෙන් සාදා ගත හැකි කොම්පෝස්ට් පොහොර ශාක කොටස් ආශ‍්‍රයෙන් ලබාගන්නා කොළ පොහොර හා ගොවිපළට බැහැරව සපයා ගත හැකි වියෝජනය වන කාබනික අපද්‍රව්‍ය පොහොරක් වශයෙන් භාවිතයට ගනී. තවද රනිල කුලයේ ශාක  ක්ෂේත‍්‍රයේ වගා කිරීමෙන් පසට ස්වාභාවිකවම පෝෂක එක්්කර ගත හැක. ඊට අමතරව කාබනික ගොවිතැනේදී රසායනික පොහොර භාවිතය වෙනුවට කාබනික පොහොර භාවිතා කරන හෙයින් බෝගවල රෝග හා පලිබෝධවලට ඔරොත්තු දීමේ ගුණය වැඩිවීමක් ද සිදු වේ.

 

රසායනික පොහොර, පලිබෝධ නාශක වැනි විෂ රසායනික ද්‍රව්‍ය භාවිතය මගින් මිනිසාට හා පරිසර පද්ධතීන්ට වන හානිය පරීක්ෂණ මගින් තහවුරු වීමත් සමගම රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් තොරව කාබනිකව නිපදවූ ආහාර වෙත යොමුවීමේ ප‍්‍රවණතාවයක් ලොව පුරා නිර්මාණය වෙමින් පවතී. මේ නිසා ගුණාත්මකත්වයෙන් ඉහළ කාබනික ආහාර සඳහා වඩා වැඩි මිලක් වෙළෙඳපොළේදී ලබාගත හැක. බොහෝවිට විදේශ වෙළෙඳ පොළේ මෙම මිල දෙගුණයක් හෝ ඊටත් වඩා වැඩි මිලක් වීමට වුවද ඉඩ ඇත.ලෝක වෙළෙඳ පොළේ කාබනික නිෂ්පාදනය කරන ලද ආහාර සඳහා පවතින ඉහළ ඉල්ලුම හේතුකොට ගෙන බොහෝ රටවල ගොවීන් මේ සඳහා දැන් යොමුවෙමින් පවතී. විශේෂයෙන් ඉන්දියාව වැනි රටවල් පවා මේ කෙරෙහි තම උනන්දුව යොමු කරමින් සිටියි. කෙසේ වුවත් කාබනික ගොවිතැන අතින් ඉහළම ප‍්‍රගතියක් ලබාගෙන සිටින්නේ බටහිර රටවල්ය. යුරෝපා සංගමයේ දත්තවලට අනුව යුරෝපයේ පමණක් 1993 දී කාබනික ගොවිතැන් සිදුතරන භුමි ප‍්‍රමාණය හෙක්ටයාර් 900,000 වු අතර මේ අගය 1998 වන විට හෙක්ටයාර් මිලියන 2.9 දක්වා වැඩි වී ඇත. මේ සඳහා යොදාගත් භුමි ප‍්‍රමාණය යුරෝපයේ මුළු කෘෂිකාර්මික භුමි ප‍්‍රමාණයෙන් 2% ක් වූ අතර මෙම අගය 2005 වසර අවසන් වන විට 5% සිට 10% තරම් වූ භුමි ප‍්‍රමාණයක් දක්වා වැඩිවනු ඇතැයි යුරෝපා සංගමය ඇස්තමේන්තු කර ඇත. එසේම යුරෝපා සංගමයේ රවල්වල මේ වන විට කාබනික ගොවිතැන ප‍්‍රවර්ධනය කිරීමට අවශ්‍ය නීති හා ආයතන ව්‍යුහයන් ස්ථාපිත කර ඇති අතර තම ගොවිපළ කාබනික ගොවිපොළ බවට පරිවර්තනය කරන ගොවීන් සඳහා සහනාධාර විවිධ දිරි ගැන්වීම් ලබාදීම සිදු කරනු ලබයි.

 

ශී‍්‍ර ලංකාවේද දැනට කාබනික එළවළු, කාබනික කුළුබඩු, කාබනික තේ සුළු පරිමාණයෙන් අපනයනය සිදු කරනු ලබයි. ඉදිරියේදී ශී‍්‍ර ලංකාවේ කාබනික ගොවිතැන දියුණු කිරීමට විශාල විභවයක් ඇති අතර දැනට මේ සම්බන්ධයෙන් ප‍්‍රමාණවත් උත්සාහයක් දරා නොමැත. විශේෂයෙන් දැනටමත් කෘමිනාශක හා කෘති‍්‍රම පොහොර ඉතා අඩුවෙන් යොදා ගනිමින් වගා කරන ගම්මිරිස්, කෝපි, කුරුඳු වැනි අපනයන බෝගත්, තේ වැනි වැවිලි බෝගත් පහසුවෙන් කාබනික වගාවන් බවට පත් කළ හැකිය.කාබනික ආහාර ලෝක වෙළෙඳ පොළේ අලෙවි කිරීමට අවශ්‍යය. ගැනුම්කරුවන් සොයා ගැනීම අන්තර්ජාලය ඔස්සේ පහසුවෙන්ම කළ හැකි අතර අදාළ ආහාරවල පැවැතිය යුතු ප‍්‍රමිතීන්  හා ඇසුරුම්කරණය  වැනි තොරතුරු මේ මගින් පහසුවෙන් ලබාගත හැක.අපේ ගොවීන් ද රසායනික ක‍්‍රමවලින් බැහැරව කාබනික ගොවිතැන වැනි නවීන ක‍්‍රම අනුගමනය කර වැඩි විදේශ විනිමයක් ලබාගැනීමට උත්සුක විය යුතු කාලය එලඹ ඇති බව සඳහන් කළ යුතුව ඇත.