Rukshan Jayasekara



සාම්ප්‍රදායික දැනුම යොදාගෙන දිගුකාලීන කාලගුණ අනාවැකි පැවසීම නිවැරැදි ද?

මේ ලිපිය ආරම්භ කළ යුත්තේ මෑත කාලයේ දී අපට අසන්නට ලැබුණු එක්‌තරා සිදුවීමකිනි. ඉන් කියෑවෙන්නේ සාම්ප්‍රදායික හෙවත් පාරම්පරික දැනුම භාවිත කරමින් පවසන දිගුකාලීන කාලගුණ තත්ත්ව පිළිබඳ අනාවැකි සම්බන්ධව මීට වඩා වැඩි විමසුමක්‌ කළ යුතු ව ඇති බව ය.

මේ පළමු සිදුවීම කියවන්නට ලැබුණේ ෆේස්‌බුක්‌ සමාජ ජාලයේ පවත්නා 'වනස්‌පති' නම් කණ්‌ඩායමකට වෛද්‍ය සචින් ජයනෙත්ති විසින් ඉදිරිපත් කරන ලද සඳහනක්‌ හරහා ය. එහි සඳහන් වූ අන්දමට, මධ්‍යම පළාතේ හිටපු ආයුර්වේද කොමසාරිස්‌වරයකු වූ වෛද්‍ය එච්. එම්. සේනාධීර මහතාට ගලේවෙල ප්‍රදේශයේ පාරම්පරික වෛද්‍යවරුන් හමු වූ අවස්‌ථාවේ දී එක්‌ වෛද්‍යවරයකු පවසා ඇත්තේ ''මේ පාර අපට නගුල් දුම්මැස්‌සට දාලා බල්ලොත් එක්‌ක දඩයමේ යන්නයි වෙන්නේ'' යනුවෙනි. එයින් ඔවුන් අදහස්‌ කර ඇත්තේ ඊළඟ කන්නයේ දී දැඩි නියඟයක්‌ පැමිණෙන බවයි. ඔවුන් ඒ නිගමනයට පැමිණ ඇත්තේ කුඹුරු අසබඩ සහ පරිසරයේ ඇති කරඳ ගස්‌වල අසාමාන්‍ය ලෙස වැඩිපුර මල් පිපීම නිරීක්‌ෂණය කිරීමෙනි. මේ තත්ත්වය ළඟ එය නියඟයක පෙර නිමිත්තක්‌ බව ඔවුන් පාරම්පරිකව අත්දැක ඇති බව ද පවසා තිබේ. මේ අනාවැකිය අපට අසන්නට ලැබුණේ පසුගිය වර්ෂයේ නොවැම්බර් මාසයේ දී පමණ වූ අතර එය පළ වී සති කිහිපයක්‌ ඇතුළත මුළු රට පුරා ම පාහේ දැඩි වර්ෂාවක්‌ හා ගංවතුරක්‌ ඇති විය. අප දන්නා පරිදි 2012/13 මහ කන්නය සාමාන්‍යයෙන් යහපත් වූ අතර ඊට වැඩි බලපෑමක්‌ ඇති වූයේ වරින් වර ඇති වූ ගංවතුරින් බව පෙනේ. රජයේ වාර්තා අනුව හෙක්‌ටාර 75,000කට අධික ප්‍රමාණයකට ගංවතුරින් හානි සිදු වී තිබේ.

කල්මුනේ ප්‍රදේශවාසී සමාජ ක්‍රියාකාරිකයකු විසින් 2011 වර්ෂයේ දී අප හා පැවසූ පරිදි සාම්ප්‍රදායිකව අනුගමනය කරන දින වකවානු බලා වී වැපිරූ ඒ ප්‍රදේශයේ ගොවීන් ගේ වගා කටයුතු ආසන්න කන්න කිහිපයක දී ම අසාර්ථක වී ඇත. ඊට හේතු වී ඇත්තේ සාමාන්‍යයෙන් අපේක්‌ෂා කළ කාලයේ දී වර්ෂාව නො පැමිණීම ය. එනම්, වර්ෂා රටාව වෙනස්‌ වී තිබීම ය.

මේ සිදුවීම් දෙකෙන් පැහැදිලි වන එක්‌ කරුණක්‌ වන්නේ දිගුකාලීන කාලගුණ තත්ත්ව පිළිබඳ අනාවැකි පැවසීමට යොදාගන්නා ඇතැම් දේශීය හෙවත් සාම්ප්‍රදායික දැනුම පිළිබඳව යම් යම් ගැටලු ඇති බව ය. එනම් ඒවායේ නිරවද්‍යතාව ගැන ගැටලු ඇති වී තිබේ. මේ සඳහා බලපා ඇති සාධකය දේශගුණ වෙනස්‌ වීම ද වීම හැකි බව ද පෙනේ.

දිගුකාලීන කාලගුණ අනාවැකි පවසන දැනුම

දේශීය දැනුම භාවිතයෙන් සිදු කරන දිගුකාලීන කාලගුණ අනාවැකි පැවසීම පිළිබඳ බොහෝ දෙනාට වැදගත් වේ. කෙසේ වෙතත් එය වඩාත් වැදගත් වන්නේ කෘෂිකාර්මික කටයුතුවල නියෑළෙන ගොවීන්ට ය. වී වගාව මේ අතරින් වඩාත් වැදගත් වන්නේ එය නියඟයෙන් මෙන්ම ගංවතුරින් ද පීඩාවට පත් විය හැකි වගාවක්‌ නිසා ය. අනෙක්‌ අතට මේ තත්ත්වය වඩා වැදගත් වන්නේ අහස්‌ දියෙන් පමණක්‌ සිය වගා කටයුතුවල නියෑළෙන ගොවීන්ට ය.

මේ අනාවැකි පවසනු ලබන්නේ බොහෝ විට පරිසරයේ දැකිය හැකි ස්‌වාභාවික සාධකවල ඇති වන වෙනස්‌වීම් මත ය. මීට ඇතැම් ශාකවල දලු දැමීම, මල් පිපීම හා ගෙඩි ඇති වීම වැනි වෙනස්‌කම් ප්‍රධාන වශයෙන් ඇතුළත් ය. එසේ ම ඇතැම් සතුන් ගේ හැසිරීම හා බිජු දැමීම හා කූඩු සෑදීමේ දැකිය හැකි වෙනස්‌ වීම් ද මේ සඳහා යොදාගන්නා සාධක අතර වේ. මේ කරුණු මත වැඩි වශයෙන් පවසන වැදගත් අනාවැකිය වන්නේ වර්ෂාව ඇති වීම හා වර්ෂාව ඇති වන ප්‍රමාණයයි. (කෙටි කාලීන කාලගුණ වෙනස්‌කම් පැවසීම සඳහා යොදාගන්නා මෙවැනි බොහෝ සිදුවීම් ඇතත් අප මෙහි දී අවධානය යොමු කරන්නේ දිගුකාලීන කාලගුණය පිළිබඳ අනාවැකි පැවසිය හැකි දැනුම පිළිබඳව ය. කෘෂිකර්මය සඳහා වැදගත් වන්නේ දිගුකාලීන කාලගුණය පිළිබඳ අනාවැකි ය.)

දිගුකාලීන කාලගුණ අනාවැකි පිළිබඳ මේ දැනුම යොදාගනිමින් ගොවීන් තම භෝග වගා කළ යුතු කාලය හා වගා කරන ප්‍රමාණය තීරණය කිරීම සිදු කරන බවක්‌ දැකිය හැකි ය. ඒ නිසා මේ අනාවැකිවල නිරවද්‍යතාවේ ගැටලුවක්‌ ඇති වීම මේ වගා හා වෙනත් කටයුතු සඳහා අහිතකර ලෙස බලපාන බව පැහැදිලි ය.

මේ දිගුකාලීන කාලගුණ අනාවැකි පැවසීම සඳහා යොදාගන්නා දේශීය දැනුම පිළිබඳව සැලකිය යුතු පිළිගැනීමක්‌ අප රටේ ද ඇති අතර, ක්‍රමයෙන් සමාජයෙන් ඈත් වෙමින් පැවතෙන මේ දැනුම යළි සමාජගත කිරීමට ද යම් යම් පියවර ගෙන ඇත.

අනාවැකිවල අසාර්ථකත්වය සඳහා සාධක

සාම්ප්‍රදායික දැනුම හා ඒවා කාලගුණ අනාවැකි පැවසීම සඳහා භාවිත කිරීම ලෝකයේ බොහෝ රටවල දැකිය හැකි ය. මේ රටවලින් ද දිගුකාලීන අනාවැකිවල සාර්ථකත්වය හා සම්බන්ධ ගැටලු වාර්තා වී තිබේ. විශේෂයෙන් වර්ෂාපතනය පිළිබඳ පුරෝකථන කිරීමේ ඇති හැකියාව අඩු වී ඇති බව බොහෝ ප්‍රදේශවල ජනතාව අතර ඇති අදහසකි. මේ වර්ෂාපතනයේ ඇති වෙනස්‌වීම් හෙවත් විචල්‍යතා නිසා ඇතැම් ප්‍රදේශවල භාවිත කරන වගා දින දර්ශන පිළිබඳව විශ්වාසය තැබීමට ඇති හැකියාව ද අඩු වී ඇති බවක්‌ වාර්තා වී තිබේ. සංකීර්ණ ගෝලීය මට්‌ටමේ වෙනස්‌වීම් හමුවේ මේ කාලගුණ පුරෝකථනවල ප්‍රයෝජනවත් බව අනාගතයේ දී අඩු වීමට ඉඩ ඇති බවට යම් පිළිගැනීමක්‌ ඇත.

නිදසුනක්‌ ලෙස ගත හොත්, අතීතයේ දී ඔවුන් සිදු කළ ආකාරයට කාලගුණය පිළිබඳව පුරෝකථන සිදු කිරීම අද වන විට අපහසු බව ආක්‌ටික්‌ ප්‍රදේශවාසී විවිධ ජන කොටස්‌ විසින් පෙන්වා දෙනු ලබන කරුණකි. ඊට හේතුව ලෙස ඔවුන් දක්‌වන්නේ කාලගුණයේ දැකිය හැකි අධික විචල්‍යතාවයි. (බලන්න, Nakashima, D.J. හා තවත් අය, 2012. Weathering Uncertainty:Traditional Knowledge for Climate ChangeAssessment and Adaptation&').

නැෙ`ගනහිර කෙන්යාවේ කළ අධ්‍යයනයක දී හෙළි වී ඇති ආකාරයට කාලගුණ අනාවැකි පැවසීමට යොදාගන්නා ස්‌වාභාවික සංසිද්ධිවලට පාදක වන ඇතැම් දර්ශක විශේෂ මත විශ්වාසය තැබීම තරමක්‌ අසීරු වී ඇත. ඊට හේතුව වන්නේ කාලගුණ තත්ත්ව විශාල ලෙසින් වෙනස්‌ වී තිබීමයි. මේ තත්ත්වයට විසඳුමක්‌ ලෙස උක්‌ත සාම්ප්‍රදායික දැනුම භාවිත කරන පුද්ගලයන් තම පුරෝකථන හා විද්‍යාත්මක දත්ත හා සංසන්දනය කරමින් සමස්‌ත කාලගුණ අනාවැකියක්‌ අදාළ සමාජයට ඉදිරිපත් කිරීමක්‌ සිදු කරන බව සඳහන් වේ. (www.idrc.ca/EN/Resources/Publications/
Pages/ArticleDetails.aspx?PublicationID=20)

මේ අතර චීනයේ සාම්ප්‍රදායික ගොවි දින දර්ශනයේ යම් යම් වෙනස්‌ කිරීම් සිදු කළ යුතු ව ඇති බව පර්යේෂණයකින් හෙළි වී තිබේ. ඊට හේතුව වන්නේ දේශගුණ වෙනස්‌ වීමේ බලපෑම හේතුවෙන් උෂ්ණත්වය ඉහළ යැම නිසා උණුසුම් ශ්‍රීෂ්ම Rතුව දිගු වී තිබීම හා ශීත කාලය අඩු වීමයි. (බලන්න - ජගත් පරිසර විමසුම, විදුසර, 2012-02-29 හා මූලාශ්‍රයChinese Science Bulletin, DOI:10.1007/s11434-011-4724-4)

මේ අනුව කාලගුණ අනාවැකි පැවසීමට අප යොදාගන්නා දර්ශක පිළිබඳව යම් ගැටලුවක්‌ ඇති විය හැකි නම් ඒ පිළිබඳව සැලකිලිමත් වීම වැදගත් බවට සැකයක්‌ නොමැත. නිදසුනක්‌ ලෙස ගත හොත්, Bridging Scales and Knowledge
Systems නම් කෘතියට (Harmonizing Traditional and Scientific Knowledge Systems in Rainfall Prediction and Utilization) ලිපියක්‌ සපයන එක්‌ ඉන්දීය පර්යේෂකයකුට අනුව සාම්ප්‍රදායික දැනුම පිළිබඳව ඇති විශ්වාසය අඩු වීම නිසා ගොවීන් වැඩි වශයෙන් නූතන විද්‍යාත්මක කාලගුණ අනාවැකි පිළිබඳව වැඩි අවධානයක්‌ යොමු කරන්නට ගොවීන් පෙලඹී තිබේ.

පරිණාමය වන දේශීය දැනුම

අප අද භාවිත කරන දේශීය දැනුම යනු අතීතයේ විසූ මිනිසුන් පරිසර සාධක පිළිබඳ ඔවුන් ගේ අත්දැකීම් ආශ්‍රයෙන් ගොඩන`ගන ලද දැනුම් පද්ධතියකි. මේ දැනුම සඳහා පාදක වන පරිසරයේ ඇති වන වෙනස්‌ වීම් නිසා ඒ ආශ්‍රිත අනාවැකි වැනි ප්‍රකාශන අසාර්ථක වීමට යම් ඉඩක්‌ තිබේ. වර්තමානයේ ලෝකයේ ඇති වී තිබෙන දේශගුණ වෙනස්‌ වීම එවැනි බලපෑමක්‌ කළ හැකි සාධකයකි.

සාම්ප්‍රදායික දැනුම වුව ද එක තැන නො පවතින අතර එය පවතින තත්ත්වයන් මත වෙනස්‌ වන ගතික දැනුම ධාරාවකි. පරම්පරාවෙන් පරම්පරාවට ජනතාව ගේ අත්දැකීම් මත පාරම්පරික දැනුමට නව දැනුම එක්‌ වීම හා වෙනස්‌ වීම සිදු වේ. මීට හොඳ ම නිදසුනක්‌ ලෙස දේශීය වෛද්‍ය ක්‍රමය සඳහා අපේ රටට හqන්වා දුන් ශාක යොදාගැනීම දැක්‌විය හැකි ය. එය අදාළ ශාකවල ඖෂධීය ගුණ හඳුනාගැනීමත් සමඟ සිදු වන්නකි.

මෙය අප වටහා ගත යුතු කරුණකි. වෙනත් ආකාරයකින් පවසන්නේ නම් පාරිසරික හා වෙනත් සාධක අනුව අප අද භාවිත කරන දේශීය දැනුමේ වෙනස්‌කම් ඇති වේ ද යන්න විමසිලිමත් විය යුතු ව තිබේ. මේ නිසා ඒවායේ නිරවද්‍යතාව හා සාර්ථකත්වය පිළිබඳව අඛණ්‌ඩ නිරීක්‌ෂණයේ යෙදීම හා එහි නිරවද්‍යතාව පිළිබඳව පර්යේෂණ පැවැත්වීම අවශ්‍ය බව පෙනේ. විශේෂයෙන් අප මෙහි දී අවධානය යොමු කළ දිගුකාලීනව ඇති වන වෙනස්‌කම් පුරෝකථනය කරන දැනුම පද්ධතිවල සිදු වන වෙනස්‌කම් පරීක්‌ෂාවට ලක්‌ කිරීම ඉතා වැදගත් වේ.

මෙහි දී සඳහන් කළ යුතු වැදගත් කරුණ වන්නේ දේශීය දැනුමේ වලංගුතාවක්‌ නොමැති බවක්‌ මින් අදහස්‌ නො වන බව ය. දේශීය දැනුම සැලකෙන්නේ දේශගුණ වෙනස්‌වීම මෙන්ම වෙනත් ගෝලීය වෙනස්‌වීම්වලට හැඩගැසීමට හා අනුහුරු වීමට ගැලපෙන දැනුම කොටසක්‌ ලෙස ය. එය බොහෝ විට ප්‍රායෝගිකව අත්හදා බලා තිබේ. නිදසුනක්‌ ලෙස ගංවතුර, නියඟය හා ලවණතාව වැනි විවිධ පාරිසරික තත්ත්වවලට ඔරොත්තු දෙන භෝග වර්ග වගා කිරීම දැක්‌විය හැකි ය. අනෙක්‌ අතට දේශගුණ වෙනස්‌ වීමට අනුහුරු වීම සඳහා මේ සාම්ප්‍රදායික දැනුම වැදගත් බව සිවුවැනි දේශගුණ ඇගයීමේ ද පිළිගෙන තිබේ.

මේ අනුව අපට අද අවශ්‍ය වන්නේ එහි ඇති වන වෙනස්‌කම් හෙවත් විකාශනයක්‌ පවතී නම් එය නිවැරැදිව තේරුම් ගැනීමේ ඇති වැදගත්කමයි. දේශගුණ වෙනස්‌ වීම නිසා දිගුකාලීන කාලගුණ අනාවැකි පැවසීම අසීරු වුව හොත් ඇති වන තවත් ගැටලූවක්‌ වන්නේ මේ දේශගුණ අනාවැකි පවසන බොහෝ විට වැඩි වශයෙන් වැඩිහිටියන් සතු දැනුම පිළිබඳ විශ්වසනීයත්වය අඩු වීමයි. එය අදාළ දැනුමේ පැවැත්මට ද බලපෑමක්‌ විය හැකි ය. දේශීය දැනුම පිළිබඳව වඩා විමසිලිමත් වීමෙන් ඉන් අප ලබාගන්නා ප්‍රයෝජන වඩා සාර්ථක කරගත හැකි වනු ඇත.

ධනේෂ් විසුම්පෙරුම