Rukshan Jayasekara



Kelathiya කැලතියා

 

ලෝකයේ බොහොමයක් රටවල කෘෂි කර්මාන්තය සඳහා ඉහළ පිළිගැනීමක් තිබුණත් අපේ ඇත්තන් එම ක්ෂේත‍්‍රය දෙස යොමු කරන්නේ නො පහන් උදාසීන බැල්මක්. අනෙක් අතට කෘෂිකර්මාන්තය කිව්වා ම වැඩි දෙනකු සිතන්නේ වී ගොවිතැන, එළවළු, පලා ආදිය පමණක් බව යි. නමුත් කෘෂි ක්ෂේත‍්‍රයේ ඉතා විසිතුරු ආශ්වාසද ජනක ඉසව් කිහිපයක් ම තිබෙනවා. ඒ අතරින් ඕකිඩ්, ඇන්තූරියම් වැනි අපනයන මට්ටමට ළඟාවිය හැකි මල්වර්ග මෙන් ම, වර්ග ගණනාවකින් යුතු විසිතුරු පති‍්‍රක ශාක ද ඉදිරියෙන් ම සිටිනවා.මෙහි දී අපනයනයේ දී ලංකාවේ ප‍්‍රමුඛ දායකත්වයක් දකින්නට ලැබෙන්නේ විසිතුරු පති‍්‍රක ශාක වෙතිනුයි. වී වගාව, එළවළු වගාව දෙස අවඥාවෙන් බලන්නවුන්ට පවා මෙම ක්ෂේත‍්‍රය ඉතාමත් සුදුසු යි. රැකියාවන්ට යාම සඳහා බස්රියේ, දුම්රියේ තෙරපෙමින්, මිරිකෙමින් තමන් කරන්නේ මොන තරම් දුෂ්කර කි‍්‍රයාවක්දැයි දන්නේ රැකියාවට යන අය ම පමණ යි.නිවෙසේ ම රැඳී සිටිමින් පරිසරය සමග අනුගත වී කෙරෙන විසිතුරු පති‍්‍රක ශාක වගාව වැනි ස්වයං රැකියා ක්ෂේත‍්‍රයක් ඉතා හොඳ ආදායම් මාර්ගයක් මෙන් ම ගත සිත නිවා සනසා සුවපත් කරවන සොඳුරු ව්‍යායාමයක් ද වනු නිසැකයි.අපනයනය සඳහා විසිතුරු පති‍්‍රක ශාක වගාවේ දී අවධානයට යොමු කළ යුතු තවත් සුවිශේෂී කරුණක් තිබෙනවා. එනම් ශාක විවිධාංගීකරණය යි. ඔබ අපනයන විසිතුරු පති‍්‍රක වගාවට යොමු වන්නේ නම් ශාක වර්ග කිහිපයක් වගා කරන්න. එහිදී ක්ලෝරොපයිටම්, ඇග්ලොනිමා සිල්වර් ක්වීන්, ඇග්ලොනිමා මැලේ ක්වීන්, කේන් ෆාම්.ඔබට වගාව සඳහා තිබෙන්නේ පර්චස් 10 - 15 ක් වැනි පුංචි ඉඩ ප‍්‍රමාණයක් නම් ක්ලෝරොපයිටම්, ඇග්ලොනිමා විශේෂ සහ කැලතියා විශේෂ වගා කරන්නට පුළුවන්. මෙම ශාක සඳහා විදේශයන්ගෙන් වෙන වෙන ම ඇණවුම් ලැබෙන නිසා ශාක විවිධාංගීකරණය කිරීමෙන් අඛණ්ඩ මාසික ආදායමක් පවත්වා ගැනීමට හැකියාව ලැබෙනවා.බොහෝ දෙනකු තුළ තිබෙන හැඟීමක් තමයි අපනයන තත්ත්වයට අවශ්‍ය මට්ටමට තමන්ට වගා කළ හැකිද යන්න. මෙම ක්ෂේත‍්‍රය පමණක් නොවෙයි ඕනෑම වගාවක දී හෝ ඕනෑ ම රැකියාවක දී ඒ සඳහා උපරිම දායකත්වය, කැපවීම, උනන්දුව තිබිය යුතු යි.මෙවර ඔබට දැනුම ලබා දෙන්නේ අපනයනයකට සුදුසු විසිතුරු පති‍්‍රක ශාකයක් වන කැලතියා විශේෂ කිහිපයක් පිළිබඳව.අපනයන විසිතුරු පති‍්‍රක ශාක වගාවේ දී ඉහළ තලයක සිටින ශාකයක් වන කැලතියා අයත් වන්නේ මැරන්තාසියේ (Marantaceae)කුලයට. අපනයනය සඳහා වගා කෙරෙන කැලතියා විශේෂ පහක් පමණ ප‍්‍රධාන වශයෙන් තිබෙනවා.01. කැලතියා ඉග්සිග්නස්.02. කැලතියා මැකයානා.03. කැලතියා සීබ්රිනා.04. කැලතියා රෝසියා.05. කැලතියා ඔරනාටා.මෙම ශාකය පඳුරක් වශයෙන් වැඩෙන අතර කඳ රෛසෝමයක් ලෙස දක්නට ලැබෙනවා. කඳෙන් හට ගන්නා පත‍්‍ර ඉහළට වැඩීම සිදු වෙනවා. මෙම ශාක පත‍්‍ර වල විවිධ වර්ණ සහිත ඉරි, පටි මෙන් ම විවිධ හැඩ තල දකින්නට ලැබෙනවා. මේවායෙ පත‍්‍ර ස්පර්ශයේදී තරමක් සවිමත් බවක් අත්විඳින්න පුළුවන්. සමහර කැලතියා විශේෂවල පත‍්‍ර උසට වැඩෙන අතර තවත් විශේෂවල පත‍්‍ර එලෙස උසට වැඩෙන්නේ නැහැ.පත‍්‍ර මත දිලිසෙන ස්වභාවයක් මෙන් ම වෙල්වට් ස්වභාවයක් ද තිබීම විශේෂයක්. මෙම හේතු නිසා ම කැලතියා පත‍්‍ර සඳහා විදේශයන්ගෙන් ඉතා හොඳ ඉල්ලුමක් තිබෙනවා. පත‍්‍ර සඳහා වගා කෙරෙන ශාක අතරින් වැඩිම මිලක් මෙන් ම වැඩි ම ඉල්ලුමක් ද ඇත්තේ කැලතියා විශේෂ වලට යි.

 

* රෝපණය සඳහා පැළ ලබා ගැනීමකැලතියා ප‍්‍රචාරණය සිදුවන්නේ මව් ශාකයෙන් හට ගන්නා පැළ මගින්. වගාව ව්‍යාප්ත කිරීම සඳහා පැළ ලබා ගැනීමේ දී කැලතියා පඳුරක් ගලවා එහි ඇති සෑම පැළයක් ම මුල් සහිත වන සේ එකින් එක වෙන් කර ගන්න. වෙන්කර ගන්නා සෑම කොටසක ම පත‍්‍ර එකක්, දෙකක් තිබීම අනිවාර්ය යි. මෙලෙස වෙන් කර ගත් පැළ ක්ෂේත‍්‍රයේ සිටුවීම සඳහා යොදා ගන්නට පුළුවන්.

 

* පැළ සිටුවීමමෙහි දී වඩාත් ඵලදායී වන්නේ ස්ථිර භූමියේ වගා කටයුතු කිරීම යි. ඒ සඳහා අඩි තුනක් පමණ පළලට පාත්ති සකස් කර ගන්න. දිග ප‍්‍රමාණය ඔබට තිබෙන භූමියේ ප‍්‍රමාණය අනුව තීරණය කළ හැකි අතර, සාමාන්‍යයෙන් අඩි දහයත් විස්සත් අතර දිගක් වඩාත් සුදුසු යි. පාත්ති පමණට වඩා දිග පළල වීමෙන් නඩත්තු කටයුතු වලදී යම් යම් අපහසුතා ඇතිවීමට පුළුවන්. වගා මාධ්‍යය පහත සඳහන් අයුරින් සකසා ගන්න.කොහුබත් කොටස් - 01වියළි ගොම කොටස් - 01රළු වැලි (ගඟේ වැලි) කොටස් - 01ඉහත මිශ‍්‍රණය පාත්තියේ පස බුරුල් කර එයට මිශ‍්‍ර කරන්න. ඉන්පසු ක්ෂේත‍්‍රය සමතලා කොට ජලය මද වශයෙන් යොදා පැළ සිටුවිය යුතුයි. එහිදී පැළ අතර පරතරය අඟල් දහයක් පමණ සිටින සේ සිටුවන්න. පාත්ති වශයෙන් සකස් නොකර අඩි 1*1*1 ප‍්‍රමාණයේ වළවල කපා ඒවායේ ද පැළ සිටුවීමට පුළුවන්.පැළ සිටවූ පසු වගා මාධ්‍යය වැසෙන සේ කොළ රොඩු යොදන්න. එමගින් පසේ ඇති සීතල ස්වභාවය ආරක්ෂා කර ගත හැකි යි. පාත්ති වටේට පොල්ලෙලි හො වෙනත් සුදුසු දෙයකින් (ගඩොල් ආදිය) යොදා වර්ෂාවෙන් සේ ම ජලය සැපයීමේදී ද පස සෝදා යාමෙන් වළක්වා ගන්නට පුළුවන්.

 

* සෙවණ සැපයීමකැලතියා සඳහා තද හිරු එළිය සුදුසු නැහැ. දැඩි සූර්ය රශ්මිය නිසා ශාකයේ වර්ධනය බාලවන අතර ම පත‍්‍ර දුර්වලතා වීම මෙන් ම පත‍්‍ර දාරය පිළිස්සී ගිය ස්වභාවයට පත්වීම ද සිදු වෙනවා. මේ නිසා 60% ක් පමණ සෙවණක් කැලතියා සඳහා අවශ්‍ය වෙනවා. සොබාවික සෙවණ ද කැලතියා සඳහා සුදුසු වන අතර, සෙවණ දැල් යොදා වගා කරන්නේ නම් ඉතා උසස් තත්ත්වයේ පත‍්‍ර ලබා ගැනීමට පුළුවන්. උණුසුම් දේශගුණික තත්ත්වයක් පැළ වැඩිවීමට හේතුවක්.

ජලය සැපයීමදිනපතා ජලය සැපයිය යුතු අතර, එමගින් මූල මණ්ඩලයේ සිසිලස රඳවා ගැනීමට පුළුවන්. ජලය සැපයීම අඩුවීමෙන් පත‍්‍ර දුර්වර්ණ වීම සිදු වෙනවා. සමස්ථ ශාක සහ වගා මාධ්‍යය හොඳින් තෙමී යන සේ ජලය සැපයීම කළ යුතු යි.

 

* පොහොර යෙදීමපොහොර යෙදීමේ දී නයිට‍්‍රජන් ප‍්‍රතිශතය වැඩි පොහොරක් යෙදීම සුදුසු යි. එයට අමතරව ග්ලිරිසීඩියා (වැටමාර) කොළ, කොම්පෝස්ට්, ගොම ආදිය වරින්වර යෙදීමෙන් ශාකයේ නියමිත වර්ධනයට හොඳ පිටිවහලක්.

 

* කෘමි, දිලීර සහ පාරිසරික හානිසූූර්යාලෝකය අධික වූ විට පත‍්‍රවල පිළිස්සුන ස්වභාවයේ ලප ඇති වෙනවා. ජලය අඩු වීමෙන් පත‍්‍ර දුර්වර්ණ වීම සහ පත ඉරී යාමේ ප‍්‍රවණතාවයක් ද ඇති විය හැකි යි. පළිබෝධ හානිය ලෙසින් ප‍්‍රධාන වශයෙන් දකින්නට ලැබෙන්නේ මයිටාවන් ගේ හානිය යි. මොවුන් පත‍්‍රවල යුෂ උරාබොන අතර, එහි ප‍්‍රතිඵල ලෙසින් ශාක කුරුවීම, පත‍්‍ර නාරටි වියළී යාම මෙන් ම ක‍්‍රමයෙන් සමස්ථ ශාකයම මැරී යාමේ අවදානමක් ද ඇති වීමට පුළුවන්.මයිටා උවදුර මුල් කාලයේ දීම හඳුනා ගනු ලැබුවහොත් සබන් වතුර මිශ‍්‍රණයකින් සෝදා හැරීමෙන් මැඩ පවත්වා ගන්නට පුළුවන්. හානිය විශාල වශයෙන් ව්‍යාප්ත වී ඇත්නම් සුදුසු කෘමිනාශකයක් භාවිතා කළ යුතු වෙනවා.

 

* වෙළෙඳ පොළට සැපයීමහොඳින් වැඩුන පඳුරක නීරෝගී පත‍්‍ර ආපනයනය සඳහා සුදුසුයි. පත‍්‍ර තේරීමේදී ඇද වූ පත‍්‍ර, දුර්වර්ණ හෝ පිළිස්සුම් ස්වභාවයේ පත‍්‍ර, ඉරී ගිය පත‍්‍ර, ප‍්‍රතික්ෂේප වෙනවා. කැලතියා විශේෂ වල පත‍්‍ර අපනයනය කරනුයේ මිලියන ගණනින්. අපනයන ආයතන ද කැලතියා පත‍්‍ර සඳහා වැඩි කැමැත්තක් දක්වනුයේ ඇසිරීම, පැටවීම, ප‍්‍රවාහනය ආදියේ දී සිදුවිය හැකි හානි අවම වීමත් පත‍්‍ර කැපූ පසු වෙනත් ශාක පත‍්‍රවලට වඩා වැඩි කාලයක් හොඳ තත්ත්වයෙන් තබා ගත හැකි වීම නිස යි.