Kondis Prethikara කොන්ඩිස්  ප‍්‍රතිකාර

 

සුන්දරියක ගේ ලවනතක් බඳු රත් පැහැයෙන් යුතු ඇන්තූරියම් මලක් ගෙමිදුලට සිරියාවකි. එපමණක් නොවේ ක‍්‍රමාණුකූලව කෙරෙන ඇන්තූරියම් වගාවකින් හොඳ ආර්ථික වාසියක් ලබාගන්නටද පුළුවන. සුළු පරිමාන මල් වගාකරුවනට හොඳ ආදායමක් ලබාදෙන කැපූ මල් ප‍්‍රභේදයක් වශයෙන් ඇන්තූරියම් ඉතා ජනපි‍්‍රයය.ඇන්තූරියම් වගාවේදී ගොවීහු මුුහුණ දෙන ප‍්‍රධාන ගැටලුවක් වන්නේ නෙළාගත් මල් අස්වැන්න තැලීම් සීරීම් වියළීම්, වර්ණ වෙනස්වීම් ආදියෙන් තොරව තබාගත හැකි වන්නේ දින 4 - 5 ක් වැනි කෙටි කාලයක් පමණක් වීමයි. නෙළාගත් මල් වෙළෙඳපොළ තුළ දිගු කාලයක් රඳවා ගැනීමට අපොහොසත්වීම නිසා වගාකරුවන්ට මෙන්ම සුළු පරිමාණ වෙළෙඳුන්ටද ආදායම් මගක් ඇහිරී යයි. මෙයට පිළියමක්් වශයෙන් අනුරාධපුර පශ්චාත් අස්වැන්න පිළිබඳ තාක්‍ක්‍ෂණය ආයතනය නෙළාගත් ඇන්තූරියම් මල් අඩු වියදමකින් දිගු කල් පවත්වා ගැනීමේ ක‍්‍රමයක් හඳුනාගෙන තිබේ.එහි ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරී ඩී. පී. සී. ස්වර්ණසිරි මහතා පවසන ආකාරයට මේ ක‍්‍රමය අනුගමනය කිරීමෙන් මල් කල්තබා ගත හැකි කාලය දින 7 - 14 දක්වා වැඩිකර ගැනීමට හැකිය. මේ සඳහා ප‍්‍රතිකාරය ලෙස යොදා ගන්නේ වෙළෙඳ පොළෙන් ඉතා අඩු මිලට පහසුවෙන් ලබාගත හැකි කොන්ඩිස් නම් ද්‍රව්‍යයයි. මේවා කැට වශයෙන් ද ලබා ගත හැකිය.භාවිතයට හා සාර්ථක ප‍්‍රතිඵල ලැබීමට උපදෙස් මුලින්ම ඇන්තූරියම් මල් නටුව අගින් නටුවට හානි නොවන ලෙස පැතලි හැඩයට කපා ගන්න. ඉන් පසු ප‍්‍රතිකාරය ලබාදෙන තෙක් මල් නටු පිරිසිදු ජලයේ ගිල්වා තබන්න. ජලය ලීටර් 1 කොන්ඩිස් කුඩු මිලි ග‍්‍රෑම් 3 ක් දියකර ගන්න. ඉන්පසු මල් නටු එම ද්‍රාවණයේ ගිල්වා තබන්න. වඩාත් සාර්ථක ප‍්‍රතිඵල ලැබීමට නම් වගාකරුවන් මල් නෙලීම සිදුකළ යුත්තේ උදය කාලයේය. නියමිත ප‍්‍රමාණයට මේරූ මල් නෙලීම සිදු කළ යුතුය. මල් නෙලීමේදී මල් නටුවට යොදන කැපුම තියුණු විය යුතුය. මෙම උපදෙස් පිළිපැදිය යුතු අතරම වගාකරුවන් වෙතින් ලබාගත් මල් අලෙවිය සඳහා දිගු කලක් තම අලෙවිසැල් වල තබාගැනීමේදී ඒවාට සිදුවන හානි වලක්වා ගැනීමට නම් මල් වෙළඳ සල් හිමියන් වගබලා ගත යුතුය.ප‍්‍රතිකාරක ද්‍රාවණය උරා ගැනීම පහසුකිරීමට දින 2 කට වතාවක් වත් මල් නටු අගින් අඟල් 2 ක පමණ කොටසක් ඉවත් කිරීම යෝග්‍ය වේ. එලෙසම කල් තබා ගැනීමට යොදා ගන්නා කොන්ඩිස් දියරය දින පහකට වරක්වත් ඉවත්කර අලුත් ද්‍රාවක යෙදිය හැකි නම් එය ක්‍ෂුද්‍ර ජීවී හානි වලක්වා ගැනීමට මෙන්ම කාර්යක්‍ෂම ලෙස ප‍්‍රතිකාරක ද්‍රාවණය උරා ගැනීමටද උපකාරි වේ.