Krumi Haniya කෘමි හානිය

 

අධික පිරිවැයක් සහ ශ‍්‍රමයක් යොදමින් ගොවිතැන් කටයුතුවල නියැළෙන්නන්ගේ අවසාන ඉලක්කය වන්නේ උපරිම අස්වැන්නක් සහ ආදායමකි. ඕනෑම රටක මනුෂ්‍ය අවශ්‍යතා, සත්ව ආහාර සඳහා හෝ වෙනත් අවශ්‍යතාවන් සඳහා ධාන්‍ය වර්ග නිෂ්පාදනය කරනු ලැබේ. එහෙත් පසු අස්වනු කි‍්‍රයාවලියේ දී ගොවි ජනතාව මුහුණදෙන ප‍්‍රධානතම අභියෝග වන්නේ අස්වැන්න සුරක්ෂිතව ගබඩා කැර තැබීමයි.ධාන්‍ය ගබඩා කර තැබීමේ දී අස්වැන්න හානිවීම සඳහා බලපාන ප‍්‍රධානතම හේතුවක් වන්නේ කෘමි පලිබෝධකයන්ගෙන් සිදුවන විනාශයයි. දීර්ඝ කාලයක් අස්වැන්න ගබඩා කැර තැබීමේ දීී ගොවීනට ඇති මේ ගැටලුවට පිළියම් සෙවීමේ දී නූූතන විද්‍යාත්මක දැනුමත්, පාරම්පරිකව එන අත්දැකීම් ද එක්ව නව උපක‍්‍රම හා විසැඳුම් සෙවිය යුතුව තිබේ. පරිසරයේ ඇතිවන විවිධ වෙනස්කම් හේතුවෙන් මීට වසර කිහිපයකට පෙර පැවැති තත්ත්වයට වඩා විවිධ කෘමි වර්ග, දිලිර හා වෙනත් සතුන්ගේ වැඩි ව්‍යාප්තියක් දක්නට ලැබේ. එමෙන් ම කෘමීන් මර්දනය කිරීම සඳහා යොදන නූූතන උපක‍්‍රමවලට ද කෘමින් අනුගත වෙමින් පවතී. මේ නිසා ධාන්‍ය සුරක්ෂිත කර ගැනීම සඳහා දැඩි වෙහෙසක් හා කැපවීමක් දැරීමට සිදු වී තිබේ.ග‍්‍රාමීය මට්ටමේ ධාන්‍ය ගබඩාකරණයේ දී වැඩි හානියක් සිදුවන්නේ කෘමින් නිසා බැව් සොයාගෙන තිබේ. සමස්ත වී නිෂ්පාදනයෙන් 10% - 15% ක් අතර ප‍්‍රමාණයක් පසු අස්වනු කි‍්‍රයාවලියේ දී විනාශ වන අතර ඉන් 4% - 6% ක ප‍්‍රමාණයක් ගබඩා කිරීමේ දී හානි සිදු වේ. මේ නාස්තියට ප‍්‍රධාන හේතුව කෘමි ආසාදනයයි.ධාන්‍යවලට හානි කරන කෘමින්ගේ භෞතික ලක්ෂණ හා ඔවුන්ගේ චර්යාව පිළිබඳ මූූලික දැනුමක් තිබීමෙන් කෘමි පාලනය සාර්ථකව සිදු කර ගත හැකිය.කෘමියකුගේ ජීවන වක‍්‍රයට අනුව කීටයා, පිළවා සහ වැඩුණු කෘමියා වශයෙන් අවස්ථා තුනක් ඇති අතර බොහෝ විට කබඩාගත ධාන්‍යවලට හානි පමුණුවන්නේ වැඩුණු කෘමියා සහ කීටයා විසිනි. එහෙත් ඇතැම් විට වැඩුණු කෘමියාගෙන් හානි සිදු නොවන අවස්ථා ද තිබේ. නිදසුනක් වශයෙන් ‘වී ඉපියා’ සඳහන් කළ හැකිය.කෘමින්ගෙන් ධාන්‍යවලට සිදුවන හානිය අනුව කෘමීන් කොටස් දෙකකට වර්ග කළ හැකියි. එනම් ප‍්‍රාථමික කෘමින් සහ ද්විතියික කෘමින් වශයෙනි. ප‍්‍රාථමික කෘමියාට කිසිදු පලුද්දක් නැති සම්පූර්ණ බීජයකට වුව ද හානි සිදුකළ හැකියි. ධාන්‍ය ගුල්ලා, වී කුරුමිණියා, වී ඉපියා, මාංශබෝග කුරුමිණියා ප‍්‍රාථමික කෘමීන් ගණයට අයත් වේ. ද්විතියික කෘමින් හානි කරන්නේ බාහිර හේතුවක් හෝ වෙනත් කෘමියකු මගින් පලුදු කරන බීජවලට පමණි. රතුපිටි කුරුමිණියා ගබඩා ඉපියා, දැති කුරුමිණියා මෙවැනි කෘමිහු වෙති.කෘමි උවදුර හේතුවෙන් ධාන්‍යවලට සිදුවන හානිය විවිධාකාරය. ගබඩාගත ධාන්‍යවල බර අඩුවීම, ධාන්‍ය පැළවීමේ ශක්තිය අඩුවීම, ධාන්‍යවල තත්ත්වය බාල වීම, අවපැහැ ගැන්වීම, දුගදක් හැමීම ආදිය සිදුවෙයි. ඇතැම් කෘමින් ධාන්‍ය බීජයේ විවිධ පෝෂක කොටස් කා දැමීම සහ සාරය උරා බීම සිදු කරයි. එමෙන් ම ඇතැම් අවස්ථාවල ධාන්‍ය ගොඩවල් වශයෙන් තිබෙන විට ධාන්‍යවල අධික රස්නයක් තිබෙන බව දැනෙන අවස්ථා ඇත. මීට හේතුව කෘමින්ගේ ගහණය අධික වීමෙන් ඔවුන්ගේ ශ්වසනයේ දී බැහැරවන තාප ප‍්‍රමාණය අධික වී ධාන්‍ය රත්වීමට භාජනය වීමය. මෙම කෘමි උවදුරේ අතුරු ප‍්‍රතිඵලයක් හැටියට අවසානයේ දිලීර හට ගැනීමට ද ඉඩ ඇත. කෙසේ වෙතත් මේ කුමන ක‍්‍රමයකින් ධාන්‍යවලට හානි සිදුවුවත් අවසානයේ වන්නේ මූූල්‍යමය වශයෙන් අවාසි වීමයි. ධාන්‍යවලට කෘමි ආසාදනයක් ඇති වීමට බලපෑ හැකි මාර්ග ගණනාවක් ඇත. මින් ඉතා පහසුවෙන් කෘමින් ඇති වන ක‍්‍රමයක් වන්නේ ක්‍ෂේත‍්‍ර ආසාදනයයි. ක්‍ෂේත‍්‍රයේ සිට ගබඩාවට කෘමින්ගේ පැතිරීම මෙහි දී සිදුවේ. වී ඉපියන්, රනිල බෝග කුරුමිණියන් හෝ සුහුඹුලන් මේරූ ගොයමේ ධාන්‍ය මතුපිට ක්‍ෂේත‍්‍රයේ දී බිත්තර දමයි. එම ධාන්‍ය ගබඩා කළ විට ගබඩාව තුළ කෘමින් ඇතිවේ.මීට අමතරව ගබඩාවේ ඇති පැරැණි ධාන්‍ය අට්ටිවලින් අලුතින් ගබඩාකරන ධාන්‍යවලට කෘමි ආසාදනය වීම ද බහුලව සිදුවන තවත් ක‍්‍රමයකි. විශේෂයෙන් ගබඩාවල වී හෝ වෙනත් ධාන්‍ය ඇසිරීමේ දී ඉකුත් කන්නවල ධාන්‍ය ඉතිරි වී පවතින විට ඒවා අසලින් අලුත් ධාන්‍යද අඩුක් කිරීමෙන් මෙවැනි තත්ත්වයක් ඇතිවේ. තවද ගබඩාවේ බිම හෝ බිත්තිවල ඇති පලුදු සහ සිදුරුවල කෘමි හෝ කෘමි අවස්ථා තිබීමෙන් කෘමි ආසාදනය ඇතිවිය හැකිය.ඉහත සඳහන් කළ කාරණාවලට අමතරව ගබඩාවේ ඇති සුන්බුන් හෝ පැරැණි ගෝනි කැබිලිවල කෘමින් හෝ කෘමි බිත්තර තිබීම සහ ධාන්‍ය ප‍්‍රවාහනය කරනු ලබන වාහනවලින් ද කෘමින් ආසාදනය සිදුවීමට ඉඩ තිබේ.ක්‍ෂේත‍්‍ර ආසාදනය, වාහන වලින් කෘමින් බෝවීම වැනි අවස්ථාවලට අමතරව ගබඩා තුළ ඇතිවන කෘමි උවදුර පාලනය සහ මැඩ පැවැත්වීම තම තමන්ටම කරගත හැකියි. ධාන්‍යවලට හානි කරන කෘමි උවදුර ශීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වීමට සහ වර්ධනයට බොහෝ විට බලපාන හේතු කිහිපයක් හඳුනාගෙන තිබේ. එනම්,01. ධාන්‍යවල තෙතමනය02. ධාන්‍යවල අපිරිසුදු බව03. ධාන්‍යවල සහ ගබඩාවේ උෂ්ණත්වය04. ගබඩාව ක‍්‍රමවත් නොවීම සහ අපිරිසුදුකම යන සාධකයි.කෘමින් මර්දනය කළ යුතු මර්දන ක‍්‍රම ගණනාවක් තිබෙනමුත් ඒවා කි‍්‍රයාත්මක කිරීමේ දී ගොවි මහත්වරුන් විසින් තම ආර්ථික තත්ත්වය ද සලකා බැලිය යුතුය. ගබඩාගත කෘමින් මර්දනය සඳහා ඒකාබද්ධ පලිබෝධ මර්දන ක‍්‍රම භාවිතා කළ යුතුය. මෙහි දී කෘමින් මර්දනය කිරීමට යොදා ගන්නා ක‍්‍රම ප‍්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදා දැක්විය හැකියි.01. සනීපාරක්ෂන කටයුතු මගින්02. භෞතික හා යාන්ති‍්‍රක ක‍්‍රම මගින්03. රසායනික ක‍්‍රම මගින්කෘමින් මැඬලීම සඳහා සනීපාරක්ෂක ක‍්‍රම අනුගමනය ඉතා පහසුවන අතර වියදමක් ද සිදු නොවේ. ගබඩා කිරීමට පාවිච්චි කරන ගෝනි උතුරන වතුරේ මිනිත්තු පහක් පමණ පොඟවා අව්වේ වේලා ගැනීම අවශ්‍යවන අතර ධාන්‍ය ගබඩා කිරීමට සතියකට පෙර සියලු ගබඩා අලුත්වැඩියා කළ යුතුයි. බටපොතු පෙට්ටිවල හෝ බිස්සෙහි ධාන්‍ය ගබඩා කරන විට කලින් හුඹස් මැටි අමුගොම හා ගෙන්දගම් මිශ‍්‍රනයක් පෙට්ටියේ පිටතින් ආලේප කර වියළා ගැනීම, ගබඩා අලුත්වැඩියාව, ගබඩාව ඉතා හොඳින් අතුගා පිරිසිදු කිරීම ආදි සරල ක‍්‍රම මෙහි දී අනුගමනය කළ හැකියි.ධාන්‍යවලට සිදුවන කෘමි හානිය වළක්වා ගැනීම සඳහා භෞතික හා යාන්ති‍්‍රක ක‍්‍රම ද භාවිත කිරීමට පුළුවන. භෞතික හා යාන්ති‍්‍රක ක‍්‍රමවලට අයත් වන්නේ ද ඕනෑ ම ගොවිම මහතකුට පහසුවෙන් කි‍්‍රයාත්මක කළ හැකි ක‍්‍රමය. මේ යටතේ වඩාත් වැදගත් ම කටයුත්ත වන්නේ ධාන්‍ය වියළීමයි. ධාන්‍ය හොඳින් වේලීම නිසා බීජවල තෙතමන ප‍්‍රමාණය අඩුවේ. ධාන්‍ය අව්වේ වියළා ගැනීමෙන් පාරජම්බුල කිරණ මගින් කෘමින් පාලනය වේ. මීළඟට වැදගත් වන්නේ වායු රෝධන ලෙස ගබඩා කිරීමයි. ධාන්‍ය හොඳින් වියළා සුළං නොවදින සේ ගබඩා කිරීම මෙමගින් අදහස් කරයි.කෘමින් මර්දනය කිරීම සඳහා අදටත් භාවිත බොහොමයක් උපක‍්‍රම අපේ පැරැණි ගොවි මහත්වරු අනුගමනය කළ ඒවායි. ඒවා ඉතාමත් සරල වන අතර අදටත් සාර්ථක ප‍්‍රතිඵල අත්කර ගත හැකියි. ඒ අනුව සාමාන්‍යයෙන් ග‍්‍රාමීය මට්ටමේ ගොවියන් ධාන්‍යවලට හානි කරන කෘමි මර්ධනය මැඩීමට කුඩු වර්ග මිශ‍්‍ර කරනු ලබයි. එහි දී මැටි කුඩු, වැලි හෝ අලු වැනි සියුම් කොටස් ධාන්‍ය සමඟ මිශ‍්‍ර කර ගබඩා කිරීමෙන් මේවායේ ඇති සිලිකා නැමැති රළු ද්‍රව්‍යවලට එහා මෙහා යන කෘමින්ගේ ශරීරය සීීරිමෙන් තුවාල වී විජලනය නිසා මැරී යයි. මෙය ද කෘමි මර්දනයට යොදා ගන්නා එක්තරා උපක‍්‍රමයකි.මීට අමතරව මාංශබෝග බීජ ගබඩා කිරීමේ දී සුදුපාට සිහින් දහයියා අළු බරින් 5% ක් බීජ සමඟ මිශ‍්‍ර කිරීමෙන් මාංශ බෝග කුරුමිණියාගේ හානිය සම්පූර්ණයෙන් ම මර්දනය කළ හැකියි. තවද ධාන්‍ය ගබඩා කර තැබීමේ දී දෙහි කොළ, කොහොඹ කොළ, නිකකොළ එසුකැලිප්ටන් කොළ සහ අමු කහ කොළ මිශ‍්‍ර කිරීමෙන් කෘමින් මර්දනය කළ හැකිය. කොහොඹ ඇට කුඩුකර ජලයෙහි මිශ‍්‍ර කර ලබා ගන්නා දියරය මගින් කෘමින් මර්දනය කිරීම ද ගොවියන් අතර ප‍්‍රසිද්ධය. රසායනික ක‍්‍රම මගින් කෘමින් මර්දනය ඉතා අවදානම් කාර්යයන් බැවින් පළමුවෙන් ම ඒ පිළිබඳ මනා අවබෝධයක් ලබා ගත යුතුයි. විශේෂයෙන් ආහාරයට ගන්නා ධාන්‍ය වර්ගවලට රසායනික ද්‍රව්‍ය මිශ‍්‍ර කිරීම අවධානයකින් කළ යුතු කටයුත්තකි. මේ නිසා මහා පරිමාණයේ ගබඩාකරණයේ දී හැර ග‍්‍රාමීය මට්ටමේ ධාන්‍ය ගබඩාවේදී ඒවායේ සුරක්ෂිත බව සඳහා සරල සහ ඵලදායි ක‍්‍රම යොදා ගැනීම වඩාත් සුදුසු වේ.කෘමිනාශක භාවිතා කිරීම ගොවින් අතර ජනප‍්‍රිය ක‍්‍රමයකි. එහි දී කෘමිනාශක ඉතා විස සහිත බැවින් ඒවා ධාන්‍ය සමඟ යොදා ගන්නේ නම් නිර්දේශිත කෘමිනාශක පමණක් ආරක්ෂාකාරි ලෙස යෙදිය යුතුයි. අත්‍යවශ්‍ය අවස්ථාවල දී හැර අන් හැමවිටම කෘමිනාශක භාවිතයෙන් වැළකීම වඩාත් සුදුසුයි. කෘමිනාශක කුඩු භාවිතා කිරීම යෝග්‍ය වන්නේ බීජ වශයෙන් තබා ගන්නා ධාන්‍යවලට පමණි. මෙම ක‍්‍රමයේ දී ධාන්‍ය හොඳින් වියළී තිබීම හා ඒකාකාරි ලෙස හොඳින් කෘමිනාශක කුඩු හා මිශ‍්‍ර කිරීම වැදගත් වේ.කෘමිනාශක දියර භාවිතයේ දී ස්පර්ශක වර්ගයේ කෘමිනාශක යොදාගනී. මෙහි දී කෘමිනාශක ජලය සමඟ මිශ‍්‍රකර ගෝනි මතුපිටට යොදනු ලැබේ. කෘමිනාශකයේ කි‍්‍රයාකාරිත්වය රඳා පවතින කාලය අනුව සති 03කට වරක් හෝ මාසයකට වරක් පමණ යෙදීම සුදුසුය.කෘමින් මර්දනයට ධූමායනය ද සාර්ථක පිළියමකි. ධූමායන ක‍්‍රම මගින් කෘමින් මර්දනය කිරීමේ දී උග‍්‍ර විෂ සහිත රසායනික ද්‍රව්‍ය භාවිතා කරනු ලැබේ. නිදසුන් ලෙස ඊතයිල් බ්‍රෝමයිඩ්, මීතයිල් බ්‍රෝමයිඩ්, පොස්පීන් හයිඩ‍්‍රජන් සයිනයිඩ් යනාදියයි. ධූමායන ක‍්‍රමය අවම පරිසරයට ද බලපාන හෙයින් ධූමායනයට භාජනය කරන ගබඩාව හොඳින් වසා සීල් තැබීමට හැකි අන්දමේ ආරක්ෂිත ගොඩනැගිල්ලක් විය යුතුයි.ගබඩාගත අස්වැන්නට ඉතාමත් කරදරකාරී ලෙස හානි සිදු කරන්නේ මීයන්ගෙනි. ඇසුරුම්වලට පවා හානි පමුණුවති. ධාන්‍යවලට ඔවුන්ගේ ලෝම මළ මුත‍්‍ර එකතුවීමෙන් ධාන්‍ය තොගය අපවිත‍්‍ර කරයි. ලෙඩරෝග ද පතුරුවයි. මී ගහනය කෘමි ගහනය තරම් අධික නොවුණත් එක් මියෙකු දිනකට ගන්නා ආහාර ප‍්‍රමාණය නිසා මීයන් ඉතා අඩු සංඛ්‍යාවකින් වුව ද ධාන්‍ය විශාල ප‍්‍රමාණයක් විනාශ විය හැකියි. එක් මී ජෝඩුවක් පමණක් සිටින ගබඩාවක මීයන් මර්දනයක් නොකළොත් අවුරුද්දක් අවසානයේ දී මී ගහනය 388 දක්වා වැඩි විය හැකි යැයි ගණන් බලා තිබේ.මීයන් මර්දනය සඳහා විෂ නොවන ද්‍රව්‍ය සහ උපක‍්‍රම භාවිතය වඩා ආරක්ෂාකාරි වේ. ධාන්‍ය ගබඩා ආශ‍්‍රිතව මීයන් වර්ධනයට බොහෝ සෙයින් බලපාන්නේ අවට පරිසරයයි. මේ නිසා ධාන්‍ය ගබඩා කරන ස්ථානය අවට ඇති තණකොළ කපා දැමිය යුතු අතර සියලුම පඳුරු ඉවත්කළ යුතුයි. ගොඩනැඟිලිවලට ගෑවී ඇති ගස්වල අතුවලින් මීයන් ඇතුල්විය හැකි බැවින්, ගබඩාවේ සිට අඩි හයක් පමණ ඈතට අතුකපා දැමිය යුතුයි. එමෙන් ම ගබඩාව තුළ හෝ පිටත හෝ කැළිකසළ නොතිබිය යුතු අතර ඒවා පුළුස්සා දැමිය යුතුය.එමෙන් ම මලුවල අසුරන ලද ධාන්‍ය ගබඩාවේ පොළොවේ නොගෑවෙන සේ කොටන් හෝ ලීතට්ටු මත තැබිය යුතුය. පසු අස්වනු සුරක්ෂිත කිරීමේ දී කෘමින්ගෙන් සිදුවන හානිය සහ එම නිසාවෙන් ගොවීනට සිදුවන පාඩුව අවම කර ගැනීම සඳහා ඉහත සඳහන් උපදෙස් සහ පිළියම් මහා පරිමාණයේ මෙන් ම ග‍්‍රාමීය මට්ටමේ ගබඩාකරණයේ වැදගත් වනු ඇත. නාස්තිය අවම කරගෙන උපරිම ලාබයක් ලබාගැනීම සෑම ගොවියකුගේ අවසාන ඉලක්කයයි. ඒ අරමුණ කරා ළඟා වීමට කෘමි උවදුර මර්දනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතුය.