Advertisement
Hot Kello

Lolipop ලොලිපොප්

 

නෙතට ප‍්‍රිය දසුන් එක් කරන විසිතුරු මල් වවන්නන් අතර ඉතා ජනප‍්‍රිය ශාකයක් වු “පැචිස්ටැචිස් ලූටියා “   (Pachystachys Lutea ) සාමාාන්‍ය ව්‍යවහාරයේදී හැඳීන්වනුයේ “ ලොලිපොප් “(Lollipop  )  ශාකය නමිනි.විශේෂයෙන්ම උද්‍යාන නිර්මාණකරණයේදී වැඩි වශයෙන් උපයෝගී කරගන්නා ශාකයක් වු මෙහි සාමාන්‍ය උස අඟල් 18 ක් පමණ වේ. එතරම් උසට නොවැඩෙන මෙම ලොලිපොප් ශාකය තමන්ට අවශ්‍ය ප‍්‍රමාණයට කප්පාදු කොට සකස් කරගැනීමට හැකි වීම උද්‍යාන නිර්මාණකරුවන්ගේ මේ වැඩි අවධානයට හේතූ වී ඇත. පාත්තියක් වශයෙන් හෝ එක පෙළට වැටක් ලෙසින් සිටවු ලොලිපොප් ශාකය මලින් ගැවසී ගත් කළ ලැබෙන සුන්දරත්වය ඉතා දර්ශනීයය.අඟල් 06 ක් පමණ දිග්ව මඳක් විශාලව වැඩෙන ලුටියා පත‍්‍ර තද කොළ පැහැති වර්ණයක් ගනී. උස්ව වැඩෙන මෙම අතු ඉක්මනින් කැඩෙන සුළුය. අතීතයේ සිටම ලොලිපොප් ශාකයේ ඉතා අලංකාර කහ පැහැති උසට වැඩෙන කෝන් එකක හැඩයේ පුෂ්ප දක්නට ලැබුණද වර්තමානයේ විවිධ තාක්ෂණික ක‍්‍රම මඟින් විවිධ වර්ණ රැගත් පුෂ්ප දැකිය හැකිය. ඒ අතුරෙන් සුදු පැහැගත් ලුටියා පුෂ්පය ඉතා සුන්දරය.කුඩා මල් රැසකගේ එකතුවෙන් එක් ලොලිපොප් මලක් සෑදෙන අතර මෙහි විශේෂයත්වය වනුයේ පිපුණු මල දීර්ග කාලයක් පැවැතීමය. එපමණක් නොව සියලුම මල් එක්වරම නොපිපී ක‍්‍රම ක‍්‍රමයෙන් මල් පිපීම මෙහි තවත් සුවිශේෂී ලක්ෂණයකි.අතු කැබැලි මාර්ගයෙන් ව්‍යාප්ත කරගත හැකි ලුටියා ශාකය සුර්යාලෝකය ප‍්‍රිය කරන්නෙකි. නමුත් සෘජු හිරු එළියට වඩා සාමාන්‍ය හිරුඑළියක් ප‍්‍රිය කරන අතර සාමාන්‍ය හිරු එළියේ ඉතා හොඳ වැඩීමක් පෙන්නුම් කෙරේ. සාමාන්‍ය වගා මාධ්‍යයේද මෙය සිටුවිය හැකි අතර වැලි කොටස් 01 ට, කොම්පෝස්ට් කොටස් භාගයක් සහ කොහුබත් කොටස් භාගයක් මිශ‍්‍රකර සාදාගන්නා වගා මාධ්‍යයේ ජලය හොඳීන් බැසයාම සිදුවේ. එබැවින් මෙම වගා මාධ්‍ය භාවිතා කිරීම වඩාත් සුදුසුය. ඒ සමඟම බඳුනේ පතුල ජලය බැසයාමට පහසු ආකාරයට සැකසීමටත් වගබලාගන්න.සාමාන්‍ය තෙතමනයක් ප‍්‍රිය කරන ශාකයක් වු මෙම ලොලිපොප් ශාකයට සති දෙකකට වරක් පොහොර සැපයීම ප‍්‍රමාණවත්ය. මුල් අවධියේදී ශාකයේ වර්ධනයට නයිට‍්‍රජන් වැඩි පොහොරක් යොදා පසුව සමතුලිත පෙහොරක් (20: 20: 20 ) යොදන්න. ඉන්පසුව මල් හටගන්නා අවධියේදී පොටෑසියම් වැඩි පොහොරක් යෙදිය හැකිය. වඩාත් විශේෂම කාරණය වනුයේ ලොලිපොප් ශාකයට වෙනත් ශාක වලට මෙන් රෝග වැළඳීමේ ප‍්‍රවණතාව අඩුවීමයි.