Mangus මැංගුස්

 

නැගෙනහිර ඉන්දියානු දූපත්වල මලයාසියාව මව්බිම කර ගනිමින් වැඩුණු මෙම පලතුර අප රටට 1900 දී පමණ ගෙන එන්න ඇතැයි තොරතුරු වාර්තාවල සඳහන්ව ඇත. මුහුදු මට්ටමේ සිට මීටර් 500 ක් දක්වා වූ ප‍්‍රදේශවල සාරවත්ව වැඩෙයි. දොඩම් සඳහා බිබිලේ ප‍්‍රසිද්ධ මෙන් මැංගුස් කී පමණින් කළුතර දිස්ති‍්‍රක්කය ප‍්‍රසිද්ධත්වයට පත්ව ඇති අතර පාසල්වල කි‍්‍රකට් තරග පවා මැංගුස්ටින් සටන ලෙසින් නම් කර ඇත.මේ අයුරින් මලයාව, ජාවා, සුමාත‍්‍රා, ඉන්දියාව යනාදී රටවල ඉතා විශාල වශයෙන් ව්‍යාප්ත වී ඇත. තවද මිශ‍්‍ර වගාවක් වශයෙන් වගාකිරිමට විශේෂ හැකියාවක් මෙම ශාකයට ඇත. මහනුවර වට්ටාරන්තැන්න විශාල වශයෙන් මෙම ශාකය වගා කරනු ලබයි.

 

මාලයාසියාව මැන්ගුස්ටා යනුවෙන්ද දෙමළ භාෂාවෙන් මැන්ගුස් කාබි යනුවෙන්ද හඳුන්වනු ලබයි. අප රට මැංගුස් ලෙසින් උච්චාරණය කරයි.මැංගුස් ගසේ ව්‍යාප්තිය බීජ මගින් සිදුවන අතර එක ගෙඩියක මදුළු පහක් හයක් හටගන්නා අතර ඒ හා සමානව බීජ ද වර්ධනය වේ. බීජයක් පැළවීමේ කාලය කෙටි බැවින් ඉක්මනින් තවාන් කිරීම කළ යුතු වේ. මෙහිදී පැළවීමේදී ප‍්‍රථමයෙන් මතුවන රතුපාට පත‍්‍ර දෙක ආරක්‍ෂා කළ යුතු වේ.මීටර් 10 යක් පමණ උසට වැඩෙන මෙම ශාකය කේතු ආකාර හැඩයෙන් යුක්ත ඉතා සවි ශක්තියෙන් යුතු ලීයකින් යුක්ත ශාකයකි. මෙම ලීය නිවාස සෑදීමට ගනු ලබයි. මෙහි ඵල දැරීමට වර්ෂ 10 – 12 ක් පමණ කාලයක් ගතවේ. මෙම ශාකයේ මල් හටගන්නා කාලයේ මල් සල්මලක් සේ ඈතට දිස්වේ. මෙහි විශේෂත්වය නම් මෙම මල් මැන්ගුස් ගෙඩිය කඩා ගැනීමට සුදුසු තත්ත්වයට පත්වන තුරු තිබීමයි. තවද කුඩා කල මැංගුස් ගෙඩිය කොළ පාට වන අතර මැංගුස් ගෙඩිය මෝරා කෑමට සුදුසු වන විට රතු පාට වී හොඳට ඉදුණු පසු කළුපාටට හුරු වේ.මෙහි මැංගුස් ගෙඩි කඩා ගැනීමට අතු පතර ගමන් කිරීමට පහසුවන අතර අතු ඉතා සවි ශක්තියෙන් යුක්ත වේ. ඉදෙන කාලයේදී කුරුල්ලන්ගෙන් හා ලේනුන්ගෙන් බේරා ගැනීමට මහත් වෙහෙසක් දැරීමට සිදුවේ. සුළු ව්‍යාපාරිකයන් හට ආදායම් ලබාදෙන දේශීය ආර්ථික භෝගයකි.