Miris Wagawa මිරිස් වගාව  

 

Capsicum annuum L

Kingdom - Plantae

Division - Magnoliyophyta

Class - Magnoliopsida

Order - Solanales

Family - Solanaceae

Genus - Capsicum

Spiecies - Capsicum annuum var. annum

බටු, තක්කාලි, දුම්කොළ සහ අර්තාපල් මෙන්ම මිරිස් ද සොලනේසියේ කුලයට අයත් ශාකයකි

ලෝකයේ මේ වන විට කැප්සිකම් ගණයට අයත් වන විශේෂයන් 25 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගෙන ඇතත් මිනිස් වාසයට ලංව ඇති (Domesticated) එනම් වගා කරනු ලබන විශේෂ 5 ක් හඳුනාගෙන ඇත.

එනම්,                    

Capsicum annuum L.
Capsicum baccatum
Capsicum frutescens L.
Capsicum pubescens
Capsicum chinense Jacq. (IBPGR 1983)

 

මෙයින් ශ්‍රී ලංකාවේ වගා කරනු ලබන මිරිස් ප්‍රභේදයන් Capcicum annuum විශේෂයට අයත්‍. සරුභාවය (pungency) මෙම Capcicum ගණයේ ඵලවලට අයත් ආවේණික වු ලක්ෂණයකි.

 

මිරිස්වල සම්භවය ලෙස සලකනුයේ මෙක්සිකෝව සහ මධ්‍යම ඇමෙරිකාවයි. Capsicum annuum විශේෂයට අයත් මිරිස්, ඒවායේ ඵලයන්හි ලාක්ෂණික ලක්ෂණ එනම් සැරභාවය, වර්ණය, හැඩය, ප්‍රමාණය, ආවේණික සුවඳ හා ලබා ගත හැකි ප්‍රයෝජන අනුව තව දුරටත් වර්ගීකරණය කළ හැක.

 

 

උද්භිත විද්‍යාත්මක ලක්ෂණ

 

ද්වි බීජ පත්‍රී අපිභෞම ප්‍රරෝහනය පෙන්වන ශාකයකි. බීජ පැළ අවධියේ සිටම මුදුන් මුලක් තිබිම හා පාර්ශ්වික මුල්වල ආරම්භය දැකිය හැක. මූල මණ්ඩලයේ පාර්ශ්වික මුල් පස මතුපිට සෙන්ටි මීටර් 30-50 ක් දුරට හා පස තුළ සෙන්ටි මීටර් 30-60 ක් තරම් ගැඹුරට විහිඳේ .

කඳ වර්ධක අවධියේ දී තරමක කෝණික හැඩයකින් යුක්ත වුව ද, මේරිමේ දී එය රවුම් හැඩයක් ගනී. ගැට හා පර්වවල ඇන්තොසයනින් වර්ණකය නිසා ඇතිවන දම් පාට වර්ණය තිබීමට හෝ නොතිබීමට පුළුවන.

 

කඳෙහි සියුම් ලෙස බූව (සියුම් රෝම වැනි තත්ත්වයක්) සමහර ප්‍රභේදවල දැකිය හැක. මිරිස් ශාකය අර්ධ අපරිමිතව වර්ධනය වී, ඵල හට ගැනීමත් සමඟ වර්ධනය වීම ක්‍රමයෙන් අඩු වී ගෙන යයි. පත්‍ර 8-15 ක් පමණ හට ගන්නා තෙක් තනි කඳක් ලෙස වර්ධනය වුවත් පළමු පුෂ්පය ඇති වීමත් සමඟ අතු බෙදීම ආරම්භ වේ.සෑම අත්තකම පත්‍ර 2-3 ට පසුව නැවත නැවතත් අතු බෙදීම සිදුවේ. මෙම සෑම අතු බෙදීමකට පෙරම අග්‍රස්ථ අංකුරය පුෂ්ප අංකුරයක් බවට පත්වන නිසා සෑම බෙදෙන ස්ථානයකම පුෂ්ප හට ගැනීමක් දැකිය හැක.

 

ප්‍රභේදය අනුව පත්‍ර ප්‍රමාණයෙන්, හැඩයෙන් හා වර්ණයෙන් සුළු වශයෙන් වෙනස් විය හැකි වුවත් බොහෝ විට සමමිතික, දාර රහිත, සරළ ලන්සාකාර (Lanceolate)පත්‍ර සහිතය. පැතලි, සිනිඳුමය පත්‍ර තලයක් හෝ රැළි සහිත හෝ බූව සහිත පත්‍ර දැකිය හැක. පත්‍ර බොහෝ විට කොළ පැහැයෙන් යුක්තවන අතර වෘන්තයේ දිග ප්‍රභේදය අනුව වෙනස් විය හැක.තනි පත්‍ර සර්පිලාකාරව හට ගන්නා අතර පත්‍ර අග්‍රය උල්ව පිහිටා ඇත. පත්‍ර පාදය ද වෘන්තය දෙසට පටුවන ලෙස උල්ව ඇත.

 

පුෂ්ප ද්විලිංගික වන අතර අධෝජායාංගී වේ. බොහෝ විශේෂයන්හි දළ පත්‍ර 5-7 කි. තනි කීලයක් පිහිටන අතර කලංකය පරාගධානිවලට වඩා ඉහළින් හෝ පරාගධානි තලයට වඩා මඳක් පහළින් හෝ සමතල සේ පිහිටා ඇත.

 

 

පෝෂණ අගය හා ඖෂධීය ගුණය

පෝෂ්‍යදායි ආහාර අතරට නොගැනුන ද මිරිස්වල විටමින් C, කැරෝටින් හා නියැසින් වැනි විටමින් ද කැල්සියම් හා යකඩ වැනි ඛණිජයන් ද අඩංගුව ඇත. මිරිස්වල අඩංගු වන කැප්සයිසින් (Capsaicin)නම් රසායනික සංයෝගය මෙහි සැර ගතිය ඇති කිරීමටත්, ඖෂධීය ගුණයක් ගෙන දීමටත් වැදගත් වේ. කැප්සයිසින් නම් රසායනික සංයෝගය ශ්‍රාවය කරනු ලබන්නේ මිරීස් කරලේ ඇට සවිවී ඇති කොටස වන ඩිම්බ බජ්ධයේ (බීජ බන්ධයේ) (Placenta)පිහිටා ඇති ග්‍රන්ථි විශේෂයකිනි.

 

මිරිස්වලින් ගනු ලබන කැප්සයිසින් යොදා නිෂ්පාදනය කරන ආලේපන වර්ග සෙම්ගෙඩි, ගලපටලය හා උගුර බැරැන්ඩිය මෙන්ම ශ්වසන රෝගවල දී ප්‍රතිකාර ලෙස යොදාගනී. සර්ප විෂ නැසීමේ ඖෂධ නිෂ්පාදනය හා තුවාල සඳහා ප්‍රතිජස්වක ඖෂධ නිෂ්පාදනයේදීත් කැප්සයිසින්වලට විශේෂ වැදගත්කමක් ලැබී ඇත.සමේ අසාත්මිකතාව, කුෂ්ඨ රෝග හා හර්පීස් වැනි සමේ රෝග සමනයට ද අධික ලෙස මුත්‍රා පිටවිම වැළැක්විම මෙන්ම මුත්‍රාශයේ ධාරිතාව වැඩි කිරීම සඳහාත් කැප්සයිසින් ඖෂධයක් ලෙස යොදා ගත හැකි බව බටහිර රටවල කරන ලද පර්යේෂණවලින් පෙන්වා දී ඇත.

 

මිරිස් කරලේ ළපටි අවස්ථාවේ සිට මේරිම දක්වා අඩංගු විටමින් C ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි වුවත්, ඉදීමේ සිට වියළීම දක්වා ක්‍රමයෙන් අඩුවන බව පර්යේෂණවලින් සොයාගෙන ඇත. එමෙන්ම අමු කරල් පිසීමේ දී විටමින් C වලින් තුනෙන් එකක් (1/3) පමණ ප්‍රමාණයක් විනාශයට ලක්වන බව ද සොයාගෙන ඇත.

 

 

වත්මන් තත්ත්වය හා විභවය

 

මිරිස් ශ්‍රී ලංකා වාසීන්ට නැතිවම බැරී ප්‍රධාන ආහාරයක් තරමටම වටිනා බෝගයක් බවට පත්වී ඇති අතර, රටේ දේශපාලනයට හා ආර්ථිකයට ද, බලපෑමක් ඇති කළ හැකි බලගතු බෝගයක් වී ඇත. පෝෂණයෙන් එකතු වන අගය කුඩා වුවත් අපේ ප්‍රධාන ආහාරය වන බතට මිරිස් නැතුවම බැරිය. බොහෝ පෝෂ්‍ය ජනක ආහාරවල රුචිය මෙන්ම රසය වැඩි දියුණු කරනුයේ මිරිස් යෙදීමෙනි.

ශ්‍රී ලංකාවේ වාර්ෂික ඒක පුද්ගල වියළි මිරිස් පරිභෝජනය කිලෝ ග්‍රෑම් 2.10-2.31 ත් අතර වන බවට ගණන් බලා ඇති අතර, එය ලෝකයේ අනෙකුත් රටවල් හා සසඳා බලන විට ඉහළ අගයක් බව පෙනී යයි.

 

මිරිස් වගාව සඳහා ශ්‍රී ලංකාව තුළ හොඳ විභවයක් පැවතිය ද අපගේ දේශීය වියළි මිරිස් නිෂ්පාදනය ජාතික අවශ්‍යතාවය සපුරාලීම සඳහා ප්‍රමාණවත් නොවන හෙයින් විශාල වශයෙන් විදේශ විනිමය වැයකර වසරක් පාසා මිරිස් ආනයනය කිරීමට සිදුවී ඇත. පසුගිය වසර කිහිපය තුළ දේශිය මිරිස් වගාවේ හා නිෂ්පාදනයේ සීඝ්‍ර පසු බැසීමක් පෙන්වන අතර, ආනයනය හා ඒ සඳහා වැයවන විදේශ විනිමය විශාල ලෙස ඉහළ ගොස් ඇති බව පෙනී යයි.

 

වසර 2013 වන විට වාර්ෂික වියළි මිරිස් පරිභෝජනය ටොන් 42,500 ක් පමණ වනු ඇතැයි ගණන් බලා ඇත.එහෙත් අපගේ වාර්ෂික ඒක පුද්ගල අමු මිරිස් අවශ්‍යතාවය කිලෝ ග්‍රෑම් 02 ක් පමණ වන අතර මේ වන විට එම අවශ්‍යතාවය සපුරා ගැනීමට අප සමත්ව ඇත්තෙමු.ශ්‍රී ලංකාවේ වගා කරන අමු මිරිස් මෙන්ම නයිමිරිස් හා කොච්චිවලට මැදපෙරදිග ඇතුළු අනෙකුත් විදේශීය රටවල ඉහළ ඉල්ලුමක් පවතී. මිරිස් කරලේ සිත් ගන්නා පැහැය හා සැර භාවය වැඩිවීම මෙයට ප්‍රධාන ලෙස බලපා ඇත. එහෙත් අඛණාඩ සැපයීමක් නොමැති වීම නිසා මෙම අපනයන ඉල්ලුම රඳවා තබා ගැනීම අපහසු වී ඇත.

 

 

පස හා දේශගුණය

 

වියළි හා අමු මිරිස් ලෙස ඉතා හොඳ වෙළඳ පොළක් පවතින හෙයින් වියළි කලාපීය ගොවියාගේ මුල් පෙලේ මුදල් බෝගයක් බවට මිරිස් බෝගය පත්ව ඇත. තව ද මුහුදු මට්ටමේ සිට මීටර් 1600 (අඩි 5500) පමණ උස් ප්‍රදේශ දක්වා ද මිරිස් වගා කළ හැකි වීම මිරිස් බෝගය සඳහා ඇති විභවයට හොඳ සාක්ෂියකි. මේ අනුව ශ්‍රී ලංකාවේ බොහෝ කෘෂි දේශගූණික කලාප තුළ පහසුවෙන් මිරිස් වගා කළ හැකිය. ඒ සඳහා හොඳින් හිරුඑළිය පවතින උණුසුම් කාළගුණයක් තිබීම වැදගත් වේ.

 

වියළි කලාපයේ මාස් කන්නයේ දී වර්ෂාපෝෂිත ගොඩ බෝගයක් ලෙසත්, යල් කන්නයේ දී ජල සම්පාදිත බෝගයක් ලෙස කුඹුරුවලත්, කෘෂි ළිං ආශ්‍රිතවත් මිරිස් වගා කළ හැක. අහස් දියෙන් මිරිස් වගා කිරීම සඳහා මිලි මීටර 600-1000 ත් අතර මැනවින් පැතිරුණු වර්ෂාපතනයක් තිබීම යෝග්‍ය වේ. තෙත් කලාපය වඩා යෝග්‍යවනුයේ අමු මිරිස් නිපදවිම සඳහාය. වගාව සඳහා ප්‍රශස්ථ උෂ්ණත්වය 21-25 ත් අතර වේ. වියළි කලාපයේ උෂ්ණත්වය බොහෝ විට මීට වඩා වැඩි වුවත් වර්ෂාව හා ජල සම්පාදිත තත්ත්ව යටතේ දී එය මිරිස් වගාවට බාධාවක් නොවන ලෙස පවත්වා ගත හැකිව ඇත.

 

විශේෂයෙන් වියළි කාළගුණික තත්ත්ව යටතේ වැඩි අස්වනු ලබාදෙන මිරිස්, ශ්‍රි ලංකාවේ වියළි කලාපයට හා අතරමැද කලාපයන්ට අයත් අනුරාධපුර, හම්බන්තොට, යාපනය, වවුනියාව, මොනරාගල, පොළොන්නරුව, පුත්තලම හා කුරුණෑගල දිස්ත්‍රික්කයන්හි ඉතා හොඳින් වගා කළ හැකිය. මෙම ප්‍රදේශවල පවතින වියළි කාළගුණික තත්ත්වය වියළි මිරිස් නිෂ්පාදනයට බෙහෙවින් හිතකර වේ.

 

හොඳින් ජලය බැස යන ලෝම පසක් වගාව සඳහා වඩා යෝග්‍යය. කුඹුරුවල වගා කිරීමේ දී මනා ජලවහනයකින් යුතු කුඹුරු පමණක් තෝරා ගැනීම කෙරෙහි සැළකිලිමත් විය යුතුය. ජලවහනය දුර්වල කුඹුරුවල මිරිස් හොඳින් නොවැඩෙන අතර, පහසුවෙන් රෝගවලට ද ගොදුරු වේ. මිරිස් ශාකයේ මූල පද්ධතිය සෙන්ටි මීටර් 60 ක් පමණ ගැඹුරට ගමන් කරන බැවින් කාබනික ද්‍රව්‍ය අඩංගු ගැඹුරු සාරවත් පසක් තිබිම වගාවට ඉතා හිතකර වේ.

 

මහ කන්නයේ අතිරේක ජල සම්පාදිත වගාවට අමතරව අහස් දියෙන් පමණක් හේන් ආශ්‍රීතව ද මිරිස් වගා කරයි.විශේෂයෙන් හේන් වගාවන් සඳහා වියළි තත්ත්වයනට හොඳින් ඔරොත්තු දෙන දේශීය මිරිස් වගා දර්ශයන් ගොවීන් යොදා ගනී. ලෝම පසෙහි මෙන්ම කාබනික පොහොර එකතු කිරිමෙන් වැලි පසෙහි ද සාර්ථක ලෙස මිරිස් වැවිය හැක. කල්පිටිය ප්‍රදේශයේ කාබනික පොහොර යොදා වැලි සහිත පසෙහි සාර්ථක ලෙස මිරිස් වගා කිරීම මෙයට කදිම නිදසුනකි. තව ද නාගරික නිවෙස් හා ගෙවතු ආශ්‍රීතව ද පෝච්චි හෝ බඳුන් තුළ ද සාර්ථක ලෙස මිරිස් වගා කළ හැක.

 

 

වගා කල යුතු කාලය

 

 

මිරිස් වගාවට වැළඳෙන රෝග රාශියක් හා හානි කරන කෘමින් රාශියක් ඇති බැවින් ඒවායින් ආරක්ෂාවීම සඳහාත්, වියළි දේශගුණික තත්ත්ව යටතේ වියළි මිරිස් නිෂ්පාදනය කිරීම සඳහාත්, ක්ෂේත්‍රයේ සිටුවන කාල සීමාව නිවැරදිව තීරණය කිරීම ඉතා වැදගත් වේ. තව ද වෙළඳ පොළේ ඉහළ මිලක් ලබාගත හැකි කාලය සලකා බැලීමෙන් ද වගා කිරීමේ කාලය තීරණය කළ හැක.

 

මිරිස් වගා කාල සටහන - අතරමැදි කලාපය

මිරිස් වගා කාල සටහන - වියළි කලාපය

මිරිස් වගා කාල සටහන - තෙත් කලාපය


මහ කන්නය තුළ අහස් දියෙන්

වර්ෂා පෝෂිත වගාවේ දී සැප්තැම්බර් මස අග සිට ඔක්තෝම්බර් මස මැද දක්වා වූ කාලය අතරතුර මාස් කන්නයේ වර්ෂාව අරම්භයත් සමඟ ක්ෂේත්‍රයේ පැළ සිටුවිම සුදුසුය. මේ අනුව පෙර ගණනය කර තවාන් දැමිය යුතු අවස්ථාව තීරණය කර ගත යුතුය. හේන් ආශ්‍රීතව වගා කිරීමේ දී මෙය වැදගත්ය.

 

 

මහ කන්නය තුළ වාරි ජලයෙන්

නොවැම්බර් මස තද වර්ෂාව අවසන් වූ පසු දෙසැම්බර් මස මුල් භාගයේ දී ක්ෂේත්‍රයේ පැළ සිටුවා, ජනවාරි අග සිට මාර්තු දක්වා පවතින නියං කාලයේ දී අතිරේකව ජල සම්පාදනය කළ යුතුය. බොහෝ විට උතුරු පළාතේ මේ ආකාරයට කරනු ලබයි.



යල කන්නයේ වාරි ජලයෙන්

ජුලි මස මැද භාගයෙන් පසු ළපටි මිරිස් පැළ ඉතා දරුණු ලෙස පැළ මැක්කාගේ හානියට ලක්වන බැවින්, යල් කන්නයේ මිරිස් වගාව අප්‍රේල් මාසයේ මැද සිට මැයි මස මුල් දෙසතිය තුළ දී ක්ෂේත්‍රයේ සංස්ථාපනය කිරීම ඉතා වැදගත්‍ය.

 

 

වියළි කලාපයේ ජූලි හා අගෝස්තු මාසයන්හි පවතින අධික උෂ්ණත්වය හා තද සුළඟ පැළ මැක්කාගේ හානිය වර්ධනය වීමට හිතකර වේ.


තෙත් කලාපයේ මිරිස් වගාව

තෙත් කලාපයේ මැනවින් ජලය බැසයන ස්ථානවල තද වර්ෂා කාල මඟහරවා අමු මිරිස් සඳහා මිරිස් වගා කළ හැකි වේ. මිරිස් මිලෙහි වැඩිවීම පෙන්නුම් කරන කාල පරිච්ජෙaදයන්හි අස්වනු වෙළඳ පොළට යැවිය හැකි වනසේ සැලසුම් කොට වගා කිරීමෙන් වැඩි ආදායමක් ලබා ගත හැකි බව පැහැදිලි කරුණකි. වගා ළිං යටතේ මේ තත්ත්වය පහසුවෙන් කළ හැකිය.

 

 

ප්‍රභේද

ප්‍රභේද-එම්.අයි. 1

1962 වර්ෂයේ නිර්දේශ කරන ලද මෙම ප්‍රභේදය Myliddy x Tuticorin යන වර්ග දෙක මුහුම් කිරීම මඟින් ලද ප්‍රතිඵලයකි. මෙම ප්‍රභේදයේ ශාක සාමාන්‍යයෙන් සෙන්ටි මීටර් 65-75 ක් පමණ උසට වැඩෙන අතර, උසස් පාලන තත්ත්ව යටතේ දී මීට වඩා උසට ද වැඩේ. එතරම් අතු පතර විහිදී නොයයි, පත්‍ර සෙසු ප්‍රභේදවලට වඩා පුළුල්ය.වසර 50 කට වඩා පැරණි මෙම ප්‍රභේදයේ ප්‍රවේණික පාරීශුද්ධතාවය පිරිහීමට ලක්ව ඇති බැවින් මෙහි ආරම්භක ලක්ෂණ මේ වන විට පරිහානියට ලක්ව ඇත.

සිහින්, දිගැති කරල් සෙන්ටි මීටර් 9-13 ත් අතර දිගකින් යුක්ත වන අතර, කරලේ අග දක්වා ක්‍රමයෙන් සිහින්ව ගොස් අග කොටස උලක හැඩය ගනී. ළපටි කරල් තද කොළ පැහැතිය. කරල් පැසීමේ දී ක්‍රමයෙන් තද දම් පැහැය මිශ්‍ර වූ කොළ පැහැයකට හැරී පසුව රත් පැහැවේ. උසස් පාලන තත්ත්ව යටතේ ආර්ථික ජීවිත කාලය මාස 6-7 ක් පමණ වේ. බීජ වැපිරීමේ සිට මල් පිපිමට ගතවන කාලය සෙසු ප්‍රභේදවලට වඩා තරමක් වැඩිය. අමු මිරිස් නිෂ්පාදනය සඳහා ගොවීන් අතර ප්‍රචලිත වූ ප්‍රභේදයකි.

 

ප්‍රභේද-එම්.අයි. 2

එම්.අයි. 1 ප්‍රභේදයේ වරණයකි (Selection). මෙම ප්‍රභේදය 1974 දී නිර්දේශ කර ඇත. වියළි කලාපයේ රතු දුඹුරු පස්වල වගා කළ විට සාමාන්‍යයෙන් සෙන්ටි මීටර් 50-55 ක් පමණ උසකට වැඩෙන අතර ඉතා හොඳ පාංශු තත්ත්ව යටතේ සෙන්ටි මීටර් 75 ක් පමණ වුවද උසට වැඩේ. මැනවින් අතු බෙදී තිරස් අතට පැතිරේ. පර්ව ඉතා කෙටි බැවින් ශාකය පඳුරක් ලෙස (Compact Bush)ඝනව වැඩේ. මැනවින් වැඩුණු ගසක් කප්පාදු කළ කුඩා තේ පඳුරක් ලෙස දිස්වේ. තිරස් අතට අතු වැඩෙන බැවින් අස්වනු නෙළීම පහසු වේ.

කරලක සාමාන්‍ය දිග සෙන්ටි මීටර් 5-8 ක් අතර වේ. කරල ක්‍රමයෙන් මුල සිට අග දක්වා සිහින් වේ. කරල් අග මොට වී ඇත. හොඳින් පැසුණු කරල් තද කොළ පැහැයෙන් යුක්තය.ආර්ථික ජීවිත කාලය මාස 5-6 ක් පමණ වේ. සිටුවා දින 80-90 කින් පමණ අස්වනු නෙළීම ආරම්භ කළ හැකි වේ. දින 7-10 කට වරක් බැගින් කීප වාරයක් අස්වනු නෙළිය හැකි වේ. කරලක අඩංගු බීජ ප්‍රමාණය අනෙක් වර්ගවලට සාපේක්ෂව වැඩි නිසා කරල් බරින් වැඩිය.

කරලක සාමාන්‍ය දිග සෙන්ටි මීටර් 5-8 ක් අතර වේ. කරල ක්‍රමයෙන් මුල සිට අග දක්වා සිහින් වේ. කරල් අග මොට වී ඇත. හොඳින් පැසුණු කරල් තද කොළ පැහැයෙන් යුක්තය.ආර්ථික ජීවිත කාලය මාස 5-6 ක් පමණ වේ. සිටුවා දින 80-90 කින් පමණ අස්වනු නෙළීම ආරම්භ කළ හැකි වේ. දින 7-10 කට වරක් බැගින් කීප වාරයක් අස්වනු නෙළිය හැකි වේ. කරලක අඩංගු බීජ ප්‍රමාණය අනෙක් වර්ගවලට සාපේක්ෂව වැඩි නිසා කරල් බරින් වැඩිය.

එබැවින් වියළි මිරිස් ඒකකයක් නිපදවීමට අවශ්‍ය වන ඉදුණු මිරිස් එ්කක ගණන 3.5 ට අඩුය. මෙය සෙසු ප්‍රභේදවල 4 කඉක්මවයි. යල කන්නයේ දී හා මහ කන්නයේ අතිරේක ජල සම්පාදනය යටතේ හෙක්ටයාරයකට ටොන් 2.5-3.0 ක් පමණ ද, මහ කන්නයේ දී වර්ෂාපෝෂිත තත්ත්ව යටතේ ටොන් 1.0-1.5 ක් පමණ ද, වියළි මිරිස් අස්වැන්න ලබා ගතහැකි වේ. තව ද අමු මිරිස් සඳහා ද මෙම ප්‍රභේදය වගා කළ හැක. ගොවීන් අතර වඩාත් ප්‍රචලිත ප්‍රභේදයකි.

සැර භාවය අතින් ඉතා ඉහළ ප්‍රභේදයකි.

ප්‍රභේද-කේ.ඒ. 2

එම්.අයි. 2 හා පී.සී-1 (MI -2 X PC-1) යන ප්‍රභේදයන් මුහුම් කර නිපදවූ මෙම ප්‍රභේදය 1991 වර්ෂයේ දී නිර්දේශ කර ඇත. මුල් කාලයේ දී ශාකයේ හැඩරුව හා වර්ධන විලාශය එම්. අයි. 2 ප්‍රභේදයට සමාන වේ. වර්ධනයේ පසු අවධියේ දී මැනවින් අතු විහිදී යයි. ඝනව නොවැඩෙන ලිහිල් පත්‍ර වියනක් සහිත වේ. සාමාන්‍යයෙන් ශාකය සෙන්ටි මීටර් 50-60 ක් පමණ උසට වැඩේ. කරල් සෙන්ටි මීටර් 8-11 ක් පමණ දික්වන අතර එම්. අයි. 2 ප්‍රභේදයට වඩා පළලින් හා ඝනකමින් යුක්තය.

එනිසා කරල්වල පෙනුම සිත් ගන්නා සුළු වේ. ඒවාට වෙළඳපොළේ හොඳ ඉල්ලුමක් ඇත. ඵලාවරණය ඝනකමින් වැඩි බැවින් වියළීම සඳහා ගත වන කාලය සාපේක්ෂව වැඩිය. යල කන්නයේ වගාව සඳහා වඩාත් යෝග්‍ය වේ.

කොළ කොඩවීමේ සංකීර්ණයට වෙනත් ප්‍රභේදවලට වඩා හොඳින් ඔරොත්තු දෙයි. පැළ සිටුවා දින 60 කින් පමණ වගාවේ 50% මල් පිපීම දැකිය හැක.ජලසම්පාදනය යටතේ යල කන්නයේ දී හෙක්ටයාරයකට වියළි මිරිස් ටොන් 2.5-3.0 ක් පමණ ලබා ගත හැකිය. වගාව හොඳින් නඩත්තු කිරීමෙන් බෝගයේ ආර්ථික ජස්විත කාලය මාස 6 කට වඩා දීර්ඝ කර ගත හැකි වේ.අමු මිරිස් සඳහා වගා කරන්නේ නම් හෙක්ටයාරයකට ටොන් 12 කට වැඩි අස්වැන්නක් ලබා ගත හැකිය.

වියළන ලද මිරිස් මුල් කාලයේ දී මනා පැහැයකින් යුක්ත වුවත් මාස දෙකකට පමණ පසුව රතට හුරු කළු පැහැයට හැරේ. වියළීමට වැඩි උත්සාහයක් ගත යුතු නිසාත්, ඇන්ත්‍රැක්නෝස් රෝගයට පහසුවෙන් ගොදුරු වන නිසාත්, වියළි මිරිස් නිෂ්පාදනය සඳහා මෙම ප්‍රභේදය යෝග්‍ය වනුයේ යල කන්නයටය. කරල් සැරෙන් වැඩිය. මෙම ප්‍රභේදය අමු මිරිස් නිෂ්පාදනය සඳහා වඩාත් යෝග්‍ය වේ.

 

අරුණළු

1996 දී නිර්දේශ කර ඇති මෙම ප්‍රභේදයේ මව්පිය දර්ශ වනුයේ එම්. අයි. 2 හා සන්තාකා (MI-2 X Santaka) යන ප්‍රභේද දෙකයි. ශාකය සෙන්ටි මීටර් 50-60 ක් පමණ උස් වේ. ළපටි කරල් උඩට හැරී හටගන්නා අතර කරල් මෝරා බර වැඩි වන විට තරමක් දුරට පහළට නැමේ. සිහින් කරල් සෙන්ටි මීටර 8-11 ක් පමණ දිගින් යුක්තය. ඵලාවරණය තුනී බැවින් පහසුවෙන් වියළා ගත හැකි වේ.

කරල් නෙළීම සෙසු ප්‍රභේදවලට වඩා සතියක් පමණ කලින් එනම්, සිටුවා දින 75 කින් පමණ ආරම්භ කළ හැකි අතර දිප්තිමත් රත් පැහැයෙන් යුතු වියළි මිරිස් නිෂ්පාදනයට වඩාත්ම උචිත ප්‍රභේදයකි. පළමු අස්වනු වාර 3-4 තුළ දී ලැබිය හැකි මුළු අස්වැන්නෙන් 75% ක් පමණ ලබා ගත හැක. යල කන්නයේ දී හෙක්ටයාරයකට වියළි මිරිස් ටොන් 2.5-3.0 ක් පමණ ද, මහ කන්නයේ දී ටොන් 1.5 -2.0 ක් පමණ ද ලබා ගත හැකි වේ. නියඟයට හා ඇන්ත්‍රැක්නෝස් රෝගයට ඔරොත්තු දෙන නමුත් කොළකොඩවීමට ඔරොත්තු නොඳේ. කරල් ඉහළට එසවී ඇති බැවින් අස්වනු නෙළීමේ දී රිකිලි කැඩී යාමට ඉඩ ඇති හෙයින් පරෙස්සමින් කළ යුතු වේ.

 

ප්‍රභේද-එම්.අයි. හොට්

2002 වසරේ දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් නිර්දේශ කරන ලද ප්‍රභේදයකි.

(BL- 39 X IR) X KA-2 යන ප්‍රභේද තුනේ එකතුවක් ලෙස මෙය බිහි වී අමු මිරිස් මෙන්ම වියළි මිරිස් නිපදවීම සඳහා ද එකසේ සුදුසුය.

කරලක් සෙන්ටි මීටර 8-9 ක් පමණ දිගය. සෙන්ටි මීටර 60 ක් පමණ උස පරිණත ශාකයේ මධ්‍යස්ථ ලෙස අතු පැතිරී තිබේ. ඇන්ත්‍රැක්නෝස් රෝගයට තරමක් දුරට ඔරොත්තු දෙන නිසා වියළි මිරිස්වල ඇතිවන සුදු කරල් සංඛ්‍යාව අඩුය. සෙසු ප්‍රභේද සියල්ලටම වඩා දිලීර රෝගවලට ප්‍රතිරෝධිතාවයක් දක්වයි.මහ කන්නයේ දී අහස් දියෙන් උස් බිම්වල වගා කළ හැකි ප්‍රභේදයකි. අඩු තෙතමන තත්ත්වවල දී පවා වගාව හොඳින් නඩත්තු කළ හැකිය.

හෙක්ටයාරයකට වියළි මිරිස් ටොන් 3 ක පමණ අස්වැන්නක් ලබා ගත හැකිය. සෙසු ප්‍රභේදවලට සාපේක්ෂව සැර භාවය අඩුය.

ප්‍රභේද-එම්.අයි. ග්‍රින්

අමු මිරිස් මෙන්ම වියළි මිරිස් සඳහා ද යෝග්‍ය වන මෙම ප්‍රභේදය 2009 වර්ෂයේ § නිර්දේශ කරන ලදී. මිරිස් අභිජනන වැඩ සටහනෙහි සාර්ථක ඵලයක් වන මෙම ප්‍රභේදයෙහි පෙළපත මිරිස් ප්‍රභේද තුනක ×MI - 2 x IR) ×(MI - 2 x 142A) එකතුවකි. සිරස් ලෙස සෙන්ටි මීටර් 75-100 දක්වා උසට වැඩෙන මෙම ප්‍රභේදය දිවයින පුරා වගා කිරීමට නිර්දේශ කර ඇති වුවත් විශේෂයෙන්ම උතුරු පළාතේ වගාවන්වල දී ඉතා සාර්ථක ප්‍රතිඵල ලබා දී ඇත.සෙන්ටි මීටර 12-14 පමණ මගින් යුත් කොළ පැහැති සිහින් මේරූ කරල් සිත් ඇද ගන්නා පෙනුමකින් යුක්තය

වියළි මිරිස් නිෂ්පාදනයේ දී වැඩි කාලයක් පැහැය නොවෙනස්ව තබා ගත හැකි වීමත් ඉතා සැරභාවයකින් යුක්ත වීමත් නිසා වියළි මිරිස් නිෂ්පාදනයට වඩාත් සුදුසුය. ඇන්ත්‍රැක්නෝස් හා සෙසු දීලීර රෝගවලට දක්වන මධ්‍යස්ථ ප්‍රතිරෝධීතාවය නිසා මහ කන්නයේ වගාවන් සඳහා ද යෝග්‍ය වේ.හෙක්ටයාරයකට ටොන් 03 ඉක්මවූ වියළි මිරිස් අස්වැන්නක් මෙන්ම අමු මිරිස් නිෂ්පාදනයේ දී ටොන් 15 ඉක්මවූ අස්වැන්නක් මෙහි අස්වනු විභවයන් වේ. මිරිස් කරලේ පොත්ත එතරම් ඝනකම් නොවන නිසා ඉදුණු කරල් දින 04 කදී පමණ වියළා ගත හැකි වේ.

ප්‍රභේද-ගල්කිරියාගම වරණය

විශේෂයෙන්ම උතුරු මැද පළාත සඳහා යෝග්‍ය වන මෙම ප්‍රභේදය දඹුල්ල ගල්කිරියාගම ප්‍රදේශයේ ගොවීන් පාරම්පරිකව වගා කළ විවෘත පරාගික වගා දර්ශයකින් තෝරාගත් වරණයක් ලෙස 2009 දී නිර්දේශ කරන ලදී. සෙන්ටි මීටර් 60-65 පමණ උසකින් යුත් සිරස් වර්ධන විලාශයක් පෙන්වයි. පත්‍ර තරමක් කුඩාය.කරල් සෙන්ටි මීටර් 8-10 පමණ ගින් යුත් සිහින් දිගටි හැඩයක් ගනී. අමු හා වියළි මිරිස් සඳහා උචිත වන අතර හොඳ සැර භාවයකින් යුක්තය. හෙක්ටයාරයකට අමු මිරිස් ටොන් 12-15 මෙන්ම හෙක්ටයාරයකට ටොන් 3 පමණ වියළි මිරිස් අස්වැන්නක් ද ලැබිය හැකි ප්‍රභේදයකි.

කොළ කොඩවීමට හා දිලීර රෝග සඳහා ඉහළ ප්‍රතිරෝධීතාවයක් පෙන්වන ප්‍රභේදයකි.හොඳ සැරභාවයකින් යුක්ත වීමත් කරල්වල සිත් ගන්නා කොළ පැහැයක් අමු මිරිස් නිෂ්පාදනයේ දී ඉතා වැදගත් වේ. තවද වර්ණයේ වෙනසක් නොවී වියළි මිරිස් ලෙස මාස 05 ක පමණ කාලයක් ගබඩා කර තබා ගත හැකි වීම මෙම ප්‍රභේදයේ ඇති විශේෂ ලක්ෂණයන් වේ.

ප්‍රභේද-එම්.අයි වැරණියා 1

පහතරට තෙත් කලාපයේ ගම්පහ, කළුතර, කොළඹ, ගාල්ල වැනි ප්‍රදේශවල කුඩා කොරටුවල පාරම්පරිකව වගා කෙරෙන මිරිස් වගා දර්ශයක් ලෙස වැරණියා දැක්විය හැක. අමු මිරිස් ලෙස මෙන්ම තරමක් මේරූ කරල්වල අඩු සරුභාවය නිසා ව්‍යංජනයක් ලෙස ද ආහාරයට ගත හැකි එළවළුවකි.

විවෘත පරාගික වගා දර්ශයන්ගෙන් තෝරා ගත් ගහණයක ලක්ෂණ වැඩි දියුණු කිරීමෙන MI වැරණියා 01 ප්‍රභේදය නිපදවා 2012 දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශිත බෝග ලැයිස්තුවට ඇතුලත් කරන ලදී. ගෙවත්තේ වගා කිරීමට, නාගරික ගෘහයන්හි බඳුන් තුළ වගා කිරීමට හා කුඩා කොරටුවල වගාව සඳහා උචිත ප්‍රභේදයකි. සෙන්ටි මීටර් 100 ක් පමණ උසට සිරස්ව වැඩෙන මෙම ප්‍රභේදයේ කරල් සෙන්ටි මීටර් 15-20 පමණ දිගින් යුක්ත වන අතර තරමක් රැළි සහිත සිනිඳු මතුපිටක් සහිතය. කරලේ කෙළවර දෙසට වක්‍රව මෙන්ම ස්රුජුව ද පිහිටයි. කහ පාටට හුරු ලා කොළ පැහැයකින් යුක්ත කරල් ඉදෙන විට තැඹිලි පාටට හුරු රත් පැහැයක් ගනී. කරලක බීජ 60-70 පමණ පවතින අතර පොත්ත මාංශල ගතියකින් යුක්ත වේ. මෙම ප්‍රභේදය හොදින් නඩත්තු කිරීමෙන් වසරකට වැඩි කාලයක් ක්ෂේත්‍රයේ පවත්වා ගත හැකි වේ.

හෙක්ටයාරයකට ටොන් 20-25 පමණ අස්වැන්නක් ලබා ගත හැකි මෙම ප්‍රභේදය කොළ කොඩවීමට හා වෛරස් රෝගවලට ප්‍රතිරෝධීතාවයක් දක්වයි. ඵලාවරණය මාංශල නිසා බීජ නිෂ්පාදනයේ දි ඉදුණු කරල් පලා බීජ නිස්සාරණය කර ගත යුතු වේ. බීජ නිෂ්පාදන වගාවක දී කරල් ඉදෙන කාලයේ දී වියළි කාළගුණයක් තිබීම මඟින් දිලීර රෝග හානි ඇතිවිම බොහෝ දුරට මගහරවා ගත හැක.

එම්.අයි.සී.එච්.3

අමු මිරිස් නිෂ්පාදනය සඳහා 2012 වර්ෂයේ නිර්දේශ කළ මෙම ප්‍රභේදය MI -1 ප්‍රභේදය හා Wonder Hot නම් දෙමුහුම් ප්‍රභේදයක එකතුවක් ලෙස අභිජනනය හා වරණයෙන් නිපදවූවකි.

සෙන්ටි මීටර් 60-65 පමණ උස අතු බෙදුනු පඳුරක් ලෙස වැඩෙන මෙම ප්‍රභේදයේ කරල් තද කොළ පැහැවන අතර සෙන්ටි මීටර් 8-10 තරම් දිග මධ්‍යස්ථ ප්‍රමාණයේ හා දිලිසෙනසුළු සුමට මතුපිටකින් යුක්තය. කරලේ අග කෙළවර තරමක් වක්‍රව ඇත. ඵලාවරණය තරමක් ඝනකමින් යුක්ත වන අතර අස්වනු නෙළූ පසු ඉක්මනින් මැලවී නොයයි. සිත් ගන්නා පෙනුමකින් යුත් කරල් අපනයනය සඳහා ද යෝග්‍ය වේ.ෙකොළ කොඩවීමේ සංකීර්ණ තත්ත්වයට මධ්‍යස්ථව ප්‍රතිරෝධී වන අතර දිලීර රෝග සඳහා එතරම් ප්‍රතිරෝධීතාවයක් නොපෙන්වයි. ඉදුණු කරල් දින 5 කින් පමණ වියළා ගත හැකි හෙයින් බීජ නිෂ්පාදනය සඳහා යෝග්‍ය වන්නේ යල කන්නයයි. හෙක්ටයාරයකට අමු මිරිස් ටොන් 15-18 පමණ ඉහළ ගුණාත්මයෙන් යුත් අස්වැන්නක් ලබා ගත හැකි මෙම ප්‍රභේදය ලංකාවේ මිරිස් වගා කරන ඕනෑම ප්‍රදේශයක් සඳහා සුදුසු වේ. අස්වැන්න සහ ගුණාත්මය සැලකූ විට විදේශීය දෙමුහුම් ප්‍රභේද අභිබවා තරඟකාරීව වගා කළ හැකි ප්‍රභේදයකි.

ප්‍රභේද-දෙමුහුම් ප්‍රභේද.

දේශීය විවෘත පරාගික ප්‍රභේදවලට අමතරව ආනයනය කරන ලද දෙමුහුම් ප්‍රභේදයන් ද වගා කිරීමට ගොවීන් පෙළඹී ඇත.
දෙමුහුම් දිරියෙන් යුක්ත වීම, උසස් අස්වැන්නක් ලබා දීම හා අස්වැන්නේ ගුණාත්මය වැඩිවීම මෙම ප්‍රභේදවල තිබිය යුතු ප්‍රධාන ලක්ෂණයන්‍ය. ප්‍රධාන වශයෙන් අමු මිරිස් නිෂ්පාදනයටත් වියළි කන්නයේ දී වියළි මිරිස් නිෂ්පාදනය කිරීමටත් දෙමුහුම් ප්‍රභේද යොදා ගත හැක.සාමාන්‍යයෙන් වගා කරන විවෘත පරාගික ප්‍රභේදයන්ගේ මෙන් නොව දෙමුහුම් බීජ යොදා ගැනීමේ දී පළමු වගාවේ දී කරල් වලින් ලබා ගන්නා බීජවල වර්ග පාරිශුද්ධතාවය ඊළඟ පරම්පරාවේ දී බලාපොරොත්තු විය නොහැකිය.

එබැවින් සෑම නව කන්නයක් පාසාම දෙමුහුම් බීජ මිලට ගැනීමට සිදුවේ. මෙම බීජ මිලෙන් අධික බැවින් සාමාන්‍ය ක්‍රමයට ක්ෂේත්‍රයේ තවාන් දැමීමට වඩා බඳුන් හෝ කුට්ටි තවාන් ක්‍රම උපයෝගී කර ගැනීම උචිතය.තවද බොහෝ ආනයනික දෙමුහුම් ප්‍රභේද අපගේ පරිසර තත්ත්වයනට නොගැලපෙන හෙයින් දෙමුහුම් ප්‍රභේද වගා කරන්නේ නම් එම ප්‍රභේද දේශීය තත්ත්ව යටතේ වගා කිරීම සඳහා යෝග්‍ය බවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කර තිබීම ඉතා වැදගත් වේ.

ප්‍රභේද-වෙනත් වගා දර්ශ

වියළි හා අමු මිරිස් ලෙස සාමාන්‍යයෙන් අප පරිභෝජනය කරන මිරිස් කැප්සිකම් ඇනම් (Capsicum annuum) විශේෂයට අයත් වන අතර කොච්චි, නයි මිරිස්, හෝමිරිස් හා කැවුම් මිරිස් ලෙස හඳුන්වන වෙනත් වගා දර්ශයන් කැප්සිකම් චයිනෙන්ස් (Capsicum chinense) හා කැප්සිකම් ෆ්රුට්සන්ස් (Capsicum frutescens) විශේෂයනට අයත් වේ. මෙම විශේෂයන්හි පවතින විශේෂත්වය වන්නේ කරල් ඉතා සැරභාවයකින් යුක්ත වීමත් ඒවාටම ආවේණික වූ සුවඳක් තිබීමත් වේ. ලෝකයේ පවතින සැර අධිකම මිරිස් ලෙස මෙම නයි මිරිස් (කැප්සිකම් චයිනෙන්ස්) දැක්විය හැක.

ශ්‍රී ලංකාවේ තෙත් කලාපය හා අතරමැදි කලාපයේ ගෙවතු ආශ්‍රීතව හමුවන මෙම වගා දර්ශයන් සඳහා දේශීය මෙන්ම විදේශීය වෙළඳ පොළෙහි ඉහළ ඉල්ලුමක් පවතී. කරලේ ප්‍රමාණය (දිග, පළල), හැඩය, වර්ණය, කරලේ පිහිටීම සැරභාවය හා සුවදෙන් මෙන්ම ශාකයේ විලාශයෙන් ද මේවා එකිනෙකට වෙනස් ලක්ෂණ පෙන්වයි. බොහෝවිට කොච්චි දර්ශයන් කුරුල්ලන් මඟින් ව්‍යාප්ත වන බව සොයාගෙන ඇත. කුරුල්ලන් මෙම කරල් ගිල දමන අතර ඔවුන්ගේ මළ ද්‍රව්‍ය සමඟ බීජ පසට එක්වීමෙන් ව්‍යාප්තිය සිදු වේ. එබැවින් මෙම කොච්චි දර්ශයන් කුරුලු මිරිස් (Bird chill ) ලෙස ද හඳුන්වයි.

කරලෙන් බීජ වෙන් කළ පසු දින කීපයකින් වුව ද සමහර වගා දර්ශයන්හි බීජවල ප්‍රරෝහණ ශක්තිය හීනවී යන අතර එය මෙම වගා දර්ශයන්ගේ අඩු ව්‍යාප්තියට ප්‍රධාන හේතුවක් වී ඇත.බොහෝ කොච්චි හා නයිමිරිස් වගා දර්ශයන් බහු වාර්ෂික තත්ත්වයක් පෙන්වයි. රෝග හා පළිබෝධ හානිවලට මෙන්ම නියඟයට ද ඔරොත්තු දෙන ලක්ෂණ පෙන්වන වගා දර්ශයන් මෙම කොච්චි හා නයිමිරිස් අතර පැවතිය ද එම ලක්ෂණ කැප්සිකම් ඇනම් විශේෂය සමඟ සම්බන්ධ කර ගැනීමට අපහසු වී ඇත. මෙම විශේෂ අතර අන්තර් අභිජනනය සිදු නොවීම හෝ ඉතා අවම වීම ඊට හේතුවයි.

 

තවාන් පාලනය

වැදගත්කම

මිරිස් වගාවකින් උපරිම අස්වැන්නක් ලබා ගැනීම සඳහා නිරෝගී, ශක්තිමත්, මනා දිරියකින් යුතු පැළ කේෂ්ත්‍රයේ සිටුවිය යුතුය. විශාල ප්‍රදේශයක් පුරා විසිරුණු පැළ රාශියක් ආරක්ෂා කිරීම අපහසු කරුණක් බැවින් කෙළින්ම බීජ කේෂ්ත්‍රයේ සිටුවීම නිර්දේශ නොකරන අතර දින 25-30 ක් පමණ වයස ඇති නිරෝගී පැළ ක්ෂේත්‍රයේ සිටුවිය යුතු වේ.

නිරෝගී දිරියෙන් යුත් පැළ ලබා ගැනීම සඳහා,

1. කේෂ්ත්‍ර තවාන් පාත්ති

2. කුට්ටි තවාන්

3. බදුන් කළ පැළ යොදා ගත හැක.

ක්ෂේත්‍ර තවාන්

තවාන් සැකසීම

නිරෝගී ශක්තිමත් පැළ කේෂ්ත්‍රයේ සිටුවීමෙන් සාර්ථක මිරිස් අස්වැන්නක් ලබාගත හැකි වේ. මේ සඳහා ක්‍රමවත්ව කේෂ්ත්‍ර තවාන් පිහිටුවා ගත යුතුය. හෙක්ටයාරයකට අවශ්‍ය මිරිස් පැළ ලබා ගැනීම සඳහා සෙන්ටි මීටර් 90 × මීටර් 3 ක් ප්‍රමාණයේ පාත්ති 25 ක් පමණ අවශ්‍ය වේ. හොඳින් හිරුඑළිය වැටෙන ජලය මැනවින් බැස යන ගල් බොරළු ඉවත් කළ සරු පසක් ඇති ස්ථානයක් මේ සඳහා යෝග්‍ය වේ.

එමෙන්ම පෙර කන්නයේ සොලනේසියේ (බටු, මිරිස්, තක්කාලි සහ දුම්කොළ) කුලයේ බෝග වගා නොකළ කේෂ්ත්‍රයක් වීම වැදගත්‍ය.තවාන් පස සියුම්ව සකස් කොට පාත්ති වටා කාණු දමා දිරාපත් වූ කාබනික (කොම්පෝස්ට් හෝ ගොම) පොහොර පාත්තියකට කිලෝ ග්‍රෑම් 10-12 ක්