Advertisement
Hot Kello

Mudumahana මුඩමහන

 

අපේ පරිසරය තුළ ශාක ඖෂධ ගොඩබිම හා වගුරු බිම්වල ස්වභාවිකව ද හට ගනියි. එවන් විශිෂ්ට ඖෂධයක් වූ මුඩමහන පිළිබඳව දැනුවත් කිරීමට අදහස් කළෙමි. මෙම ශාකයේ විශේෂත්වය නම් කුඹුරුවල හැදී වැඩී කුඹුරුවල මියයාමයි. ගම්බදව මේ ඖෂධය හඳුන්වනු ලබන්නේ වෙල් මුඩමහන ලෙසයි.එම ඖෂධ ශාකය හීන් මුඩමහන හා මහා මුඩමහන ලෙස කොටස් දෙකකින් කම් කෙරේ. මෙහි දී හීන් මුඩමහන අඟල් 8 - 10 ක් පමණ උසට වැඩෙනු ලබයි. මහ මුඩමහන අඟල් 10 - 12 ක් අතර උසින් වැඩෙති. මේ ඖෂධ ශාකවල පත‍්‍ර අඟල් 2 පමණ වන අතර, ගසේ කඳ සිහින්ව දාර තුනකින් පිහාටු සේ ඈතට දිස් වේ. මෙහි මල් හටගනු ලබන්නේ ශාකයේ කිනිති හා අතුවලයි. මෙහි දී ගෙඩියක් ස්වරූපයෙන් හටගෙන මල් පිපීම සිදු වේ. එවිට ඔළුව මුඩු කළා සේ ඈතට දිස් වේ. එබැවින් මෙම ඖෂධ ශාකය මුඩමහන ලෙසින් හඳුන්වනු ලබයි.පාරම්පරික දේශීය වෙදකම සඳහා වැඩි දෙනෙකු ඖෂධයක් වශයෙන් ගනු ලබන්නේ හීන් මුඩමහනයි. එහෙත් මහ මුඩමහනවල ගුණය ද අඩු නොවේ. මෙම ඖෂධ ශාක හිංදි බසින් මුණ්ඩි ලෙසින් ද, දෙමළ භාෂාවෙන් විශ්ණු කරණ්ඩායි හා සිංහල භාෂාවෙන් සංග මුලි ලෙස හඳුන්වයි.

 

මෙම ඖෂධ ශාකය දිය සීරාවෙන් යුක්ත වූ බිම්වල ඉතා බහුල ලෙස දැකිය හැකි වේ. තවද ලංකාවේ සහ ඉන්දියාවේ සාර්ථකව වැඩෙන ශාකයකි. මෙම ශාකය එළවළු වශයෙන් රසවත් ලෙස ඇතැම් අය භාවිතයට ගනු ලබයි. අමුවෙන් ඖෂධයක් වශයෙන් ගැනීම ඉතා යෝග්‍ය වේ.මේ ඖෂධ ශාකය පාරම්පරික වෙදකමේ දී අත් බෙහෙතක් ලෙස විවිධ අවස්ථාවල දී ද භාවිතයට ගනු ලබයි. තවද නයි පොළඟුන් කෑමෙන් පසු මුඛයට මුඩමහන අඹරා ගෑමෙන් හා කසාය වශයෙක් බීමෙන් විෂ නසනු ලබයි. මේ අයුරින් මුඩමහන තෙල් සඳහා භාවිතයට ගැනීමෙන් වාත අමාරුව, අණ්ඩ කෝෂ අමාරුව ආදී රෝග සඳහා සුවය ගෙන දෙන අතර, විශේෂයෙන් මීමැස්මුරය සඳහා ඉතා අවශ්‍ය ඖෂධයක් වශයෙන් ගනු ලැබේ.මේ පිළිබඳව දේශීය වෛද්‍ය ශබ්දකෝෂයේ 404 වන පිටුවේ රහසිගත අත් බෙහෙතක් ලෙස දිවිමකුළු විස නැසීමට මුඩමහන උපයොගී කර ගන්නා ආකාරය පොත්වල ද සඳහන් කර ඇත. තවද නුවණ වඩන ස්නායු දුර්වලතා සුව කරන සර්වාංග ලෙඩ සුව කරන ඖෂධයක් ලෙස පාරම්පරික වෙදකම් කරන අපේ පැරණි වෙද මහතුන් පවසා ඇත.