Parisara Hithakami Krushikarmanthaya පරිසර හිතකාමී කෘෂිකර්මාන්තය

ලෝක ජනගහනයට ආහාර සැපයීම සඳහා කරනු ලබන උත්සාහයේ දී අපට ප්‍රධාන අභියෝග තුනකට මුහුණ පෑමට සිදු වේ. ඒවා නම් දැනට සිටින ලෝක ජනගහනයට ආහාර සැපයීම සඳහා වහා ම පැන නඟින අභියෝගය, අනාගත ආහාර අවශ්‍යතා සපුරාලීම සඳහා සැලසුම් සකස්‌ කිරීමේ දී දිගුකාලීනව පැනනඟින ප්‍රශ්න සහ කෘෂිකර්මාන්තය හා බැඳී පවතින ස්‌වාභාවික සම්පත් පිරිහීමට ලක්‌ නො වී ආරක්‌ෂා කර ගැනීම වේ.

සැම අවුරුද්දකට ම මිලියන 80ක පමණ කටවල් ප්‍රමාණයක්‌ අලුතින් ලෝකයට එකතු වන බවත් අනෙක්‌ අතට භෝග වගාව සඳහා අත්‍යවශ්‍ය මතුපිට පස ටොන් බිලියන 25ක්‌ පමණ ඛාදනය හේතුවෙන් ලෝකයට අහිමි වන බවත්, ජල සම්පත ද ගැලුම් බිලියන ගණනක්‌ අහිමි වන බවත් සලකන කල ඉහත අභියෝගවල බරපතළකම අපට මනාව අවබෝධ වේ.

හරිත විප්ලවය

ලෝක ජනගහනයට ආහාර සැපයීම සැලසුම් කිරීමේ දී පැනනඟින පළමු වැනි අභියෝගය වන දැනට සිටින ජනගහනයට ප්‍රමාණවත් ආහාර සැපයීමේ අභියෝගය ජයගැනීම සඳහා වූ සැලසුමක්‌ ලෙස හරිත විප්ලවය සැලකිය හැකි ය. හරිත විප්ලවයත් සමග අලුත් ආහාර භෝග ප්‍රභේද සහ කෘෂිකාර්මික ක්‍රමවේද එකිනෙකට සමාන්තරව බිහි වූ අතර ඒ සමග ම ඒකීය බිම් ප්‍රමාණයකින් ලැබෙන අස්‌වැන්න ද විශාල ලෙස වැඩි විය. උදාහරණයක්‌ ලෙස නෝමන් බෝලෝග් (Norman Borlaug) නම් ඇමෙරිකානු කෘෂි විද්‍යාඥයා ගේ අධි අස්‌වනු තිරිඟු= ප්‍රභේදය 1944 දී සොයා ගැනීමත් සමග තිරිඟු ආනයනය කරමින් සිටි රටක්‌ වන මෙක්‌සිකෝව 1956 වන විට තිරිඟුවලින් ස්‌වයංපෝෂිත වූ අතර 1964 පමණ වන විට දැවැන්ත තිරිඟු අපනයනකරුවකු බවට පත් විය. මෙක්‌සිකෝවෙන් ආරම්භ වූ හරිත විප්ලවය එහි පළමු අදියරේ අති සාර්ථකත්වයත් සමග ආසියාවට ද පැතිරුණු අතර අධි අස්‌වනු සහල් නිපදවනු ලබන පිලිපීනයේ අන්තර්ජාතික සහල් පර්යේෂණායතනය පිහිටුවීම එහි ප්‍රතිඵලයක්‌ ලෙස සිදු විය. එතැනින් ද නො නැවතුණු හරිත විප්ලවය ලෝකයේ ප්‍රධාන භෝග වන ඉරිඟු, මඤ්ෙÆක්‌කා, බෝංචි, අර්තාපල් අල ඇතුළු අනෙකුත් භෝග අස්‌වැන්න වැඩිදියුණු කිරීම සඳහා මේ වන විට අභිජනන මධ්‍යස්‌ථාන 16ක්‌ පමණ ලෝකය පුරා පිහිටුවා ඇත. අධි අස්‌වනු භෝග කෘෂි රසායනික සහ අනෙකුත් නවීන කෘෂිකාර්මික ක්‍රම සඳහා හොඳින් ප්‍රතිචාර දක්‌වන බැවින් තාක්‍ෂණය සමග මේ භෝග අත්වැල් බැඳගෙන පහසුවෙන් ඉදිරියට ගමන් කරයි. මේ තත්ත්වයන් හමුවේ හරිත විප්ලවය තුළිsන් දායාද වූ කෘෂිකර්මාන්තය දියුණු සහ දියුණු වෙමින් පවතින ගොවීන් අතර බෙහෙවින් ප්‍රචලිත වී ඇති අතර මේ ක්‍රමවේදයන් වැළඳගෙන ඇති ගොවි ජනතාව මොනයම් හේතුවක්‌ නිසා හෝ පරිසරහිතකාමී තිරසාර වූ කෘෂිකාර්මික ක්‍රමයන්ට හුරු කරවීම විශාල අභියෝගයක්‌ වී ඇත.

හරිත විප්ලවීය කෘෂිකර්මය හේතුවෙන් සමස්‌ත ලෝකය පුරාවට විශාල අර්බුදකාරී තත්ත්වයන් පැන නැඟී ඇති බව මේ වන විට අපි අවබෝධ කරගෙන ඇත්තෙමු. මතුපිට පස, ජාන සම්පත සහ ජල සම්පත ශීඝ්‍ර පරිහානියට ලක්‌ වෙමින් පවතී. පරිසර දූෂණය හා ඒ සමග ඇති වන රෝගී තත්ත්වයන් උග්‍ර අතට හැරෙමින් පවතී. හරිත විප්ලවීය ගොවිතැනින් ලැබෙන ලාභ දිනෙන් දින ම අඩු වීම හේතුවෙන් ගොවීන් ගොවැතිනින් ශීඝ්‍රයෙන් ඉවත් වීමට පටන්ගෙන ඇත. හරිත විප්ලවීය කෘෂිකර්මයේ ඇති වී ඇති අර්බුදකාරී තත්ත්වයෙන් ගැලවී ලෝක ජනගහනයට ආහාර සැපයීම සැලසුම් කිරීමේ දෙවැනි අභියෝගය වන ඉදිරි අනාගතයේ ආහාර සපයාගැනීම සුරක්‍ෂිත කිරීම සහ තුන් වැනි අභියෝගය වන ආහාර නිෂ්පාදනය හා බැඳී ඇති ස්‌වාභාවික සම්පත් ආරක්‌ෂා කර ගැනීම ද අරමුණු කොටගෙන තිරසාර කෘෂිකාර්මික ක්‍රමවේදවලට මාරු වීම කාලීන අවශ්‍යතාවක්‌ වී ඇත.

තිරසාර කාබනික ගොවිතැන විකල්පයක්‌ ලෙස

කෘත්‍රිම පොහොර, වල්නාශක, පළිබෝධනාශක සහ හෝමෝන වර්ගවලින් බැහැරව ස්‌වාභාවික අමුද්‍රව්‍ය මත පදනම් වූ කෘෂි නිෂ්පාදන ක්‍රියාවලියක්‌ කාබනික කෘෂිකර්මය ලෙස සැලකිය හැකි ය. භෝග මාරුව, බහුබෝග වගා ක්‍රම, සත්ත්ව සහ ශාක අපද්‍රව්‍ය කොළ පොහොර, ස්‌වාභාවික හිතකර ක්‍ෂුද්‍ර ජීවීන්, ස්‌වාභාවික ඛනිජ, ස්‌වාභාවික රෝග පළිබෝධ පාලනය යනාදී ක්‍රමවේද කාබනික කෘෂිකර්මයේ දී භාවිතයට ගනී. කාබනික කෘෂිකර්මය පරිසර හිතකාමී වූ ද පාරිභෝගිකයා ගේ යහපත අරමුණු කොට නිර්මාණය කළා වූ ද ආහාර නිෂ්පාදන ක්‍රමවේදයක්‌ ලෙස පිළිගැනේ. පසුගිය දශක දෙකක කාලය තුළ කාබනික කෘෂිකර්මයෙහි ශීඝ්‍ර වර්ධනයක්‌ දැකගත හැකි ය. කෘෂි රසායන මත පදනම් වූ හරිත විප්ලවීය කෘෂිකර්මයට ඇබ්බැහි වී ඇති ගොවියා කාබනික ගොවිතැනට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලියේ කාබනික ගොවිතැනට මාරු වීමෙන් පසු ගත වන පළමුවැනි අවුරුදු තුනේ සිට පහ අතර කාලය සංක්‍රාන්ති කාලය ලෙස ගත හැකි ය. මේ ගොවිතැන මාරු වීමේ කාලය හෙවත් සංක්‍රාන්ති කාලය තුළ කාබනික ගොවියාට අභියෝග කිහිපයකට මුහුණ දීමට සිදු වනු ඇත.

සංක්‍රාන්ති කාලය සහ අභියෝග

පළමුවම කාබනික ගොවියා මෙහි දී සැලකිය යුතු අස්‌වනු පහත වැටීමකට මුහුණ දේ. හරිත විප්ලවීය කෘෂිකර්මයට හුරු වූ ඒකීය බිම් ප්‍රමාණයකින් අධික අස්‌වැන්නක්‌ ලබාගැනීමට හුරු වූ ගොවියාට කාබනික ගොවිතැන පටන් ගැනීමේ දී මුහුණ දීමට සිදු වන මේ තත්ත්වය විශාල පසුබෑමක්‌ ලෙස වැටහීමට පුළුවන. හරිත විප්ලවීය කෘෂිකාර්මික ක්‍රම දිගින් දිගට ම භාවිත කිරීම හේතුවෙන් සිදු වන පස ඇතුළු සියලු කෘෂි පරිසර පද්ධතියට සිදු වන හානිය හේතුවෙන් මේ තත්ත්වය ඇති වේ. උදාහරණයක්‌ ලෙස ස්‌වාභාවික ක්‍ෂද්‍රජීවීන් සහ අනෙකුත් හිතකර ජීවීන් ගෙන් විනාශ වූ ද, භෞතික සහ රසායනික ගුණයන් ගෙන් පිරිහුණු කෘෂි රසායනිකවලින් දූෂිත වූ පසකට ක්‍ෂණිකව ප්‍රකෘති තත්ත්වයට පත් විය නොහැකි ය. ශාක පෝෂකවල ස්‌වාභාවික ප්‍රතිචක්‍රීකරණය, වායුගෝලීය නයිට්‍රජන් ස්‌වාභාවිකව පසෙහි තිර වීම, ස්‌වාභාවිකව සිදු වන පාෂාණ ජීර්ණය ඇණහිටීම හේතුවෙන් ශාක පෝෂකවල ස්‌වාභාවික සැපයුම සංක්‍රාන්ති කාලයේ මුල් අවධියේ දී ඉතා ම මන්දගාමී තත්ත්වයක පැවතිය හැකි ය. රෝග පළිබෝධ මර්දනය කිරීමේ ලා විශාල සේවාවක්‌ කරනු ලබන ස්‌වාභාවික හිතකර ජීවීන් විනාශ වී ඇති පරිසරයක මේ සංක්‍රාන්ති කාලයේ දී ස්‌වාභාවික රෝග පළිබෝධ මර්දනය බලාපොරොත්තු විය නොහැකි ය. මේ තත්ත්වයන් තුළ සංක්‍රාන්ති කාලය තුළ දී පසෙහි කාබනික ද්‍රව්‍යවල ප්‍රමාණය වැඩි කර ගැනීම, හිතකර ජීවීන් ගේ ගහනය යථා තත්ත්වයට පත් කර ගැනීම වැනි කාරණා උදෙසා කාබනික ගොවිතැනට මාරු වූ ගොවියාට විශාල වෙහෙසක්‌ දැරීමට සිදු වනු ඇත.

සංක්‍රාන්ති කාලය තුළ දී විශේෂ පාංශු පාලන ක්‍රම මගින් පසෙහි ගුණාත්මය (Soil Quality) වැඩි කිරීමට පියවර ගැනීම අත්‍යවශ්‍ය වේ. මේ සඳහා තත්ත්වයෙන් උසස්‌ කාබනික පොහොර මෙන්ම අකාබනික ද්‍රව්‍ය වන හුනු, ඩොලමයිට්‌, පොස්‌පේට්‌, ඛනිජ, පෙල්ඩ්ස්‌පාර් වැනි අමුද්‍රව්‍ය ද භාවිත කොට පසෙහි භෞතික, රසායනික සහ ජෛවවිද්‍යාත්මක තත්ත්වයන් දියුණු කිරීමට සිදු වේ. පසෙහි ගුණාත්මයට විශාල වශයෙන් බලපාන ස්‌වාභාවික පාංශු ක්‌ෂුද්‍ර ජීවීන් ගේ ගහනය යථා තත්ත්වයට ගෙන ඒම සඳහා කරනු ලබන උත්සාහයේ දී නූතන පාංශු ක්‍ෂුද්‍ර ජීවී විද්‍යාව සහ එහි තාක්‍ෂණය උපයෝගී කරගැනීමට දියුණු රටවල සහ ඉන්දියාව සහ බ්‍රසීලය වැඩි දියුණුවේ හිනිපෙත්තට නඟිමින් සිටින රටවල කෘෂි විද්‍යාඥයෝ පෙලඹී සිටිති. ගොවිපොළ අපද්‍රව්‍ය අවශ්‍ය පමණ නැති විටෙක නාගරීක අපද්‍රව්‍ය උපයෝගී කොටගෙන කරනු ලබන කොම්පෝස්‌ට්‌ නිෂ්පාදනය ද දිනෙන් දින ම දියුණු වෙමින් පවතින අතර තත්ත්වයෙන් උසස්‌ කොම්පෝස්‌ට්‌ පොහොර නිෂ්පාදනය ඒවා පසට එකතු කිරීම මගින් විනාශ කරන ලද පසෙහි ගුණාත්මය යථා තත්ත්වයට පත් කර ගැනීම ක්‍රමානුකූලව සිදු කළ හැකි ය.

කාබනික ගොවිතැනට පරිවර්තනය වූ මුල් කාලයේ දී රසායනික පොහොර මගින් පසට එකතු වූ ශාක පෝෂක නැති වී යැමේ තත්ත්වය, පහත වැටෙන භෝග අස්‌වැන්න, තත්ත්වයෙන් උසස්‌ කාබනික පොහොර වැඩි තීව්‍රතාවකින් සංක්‍රාන්ති කාලයේ දී සැපයීම මගින් වෙනස්‌ කළ හැකි වේ. කාබනික පොහොර හිතකර ස්‌වාභාවික ක්‍ෂුද්‍ර ජීවී ගහනය පවත්වාගැනීම තුළින් ස්‌ථිරසාර ශාක පෝෂක සුලබතාවක්‌ කාබනික ගොවිපොළ පසෙහි නිර්මාණය කළ හැකි වේ. කාබනික ද්‍රව්‍ය සහ නයිට්‍රජන් ශාක පෝෂක පදාර්ථ විශාල වශයෙන් සපයනු ලබන ආවරණ භෝග ද පසෙහි ගුණාත්මය ගොඩනැඟීම සඳහා කාබනික ගොවියාට මේ සංක්‍රාන්ති කාලයේ දී හොඳ අත්වැලක්‌ වනු ඇත.

කාබනික ගොවිතැනට පරිවර්තනය වූ සංක්‍රාන්ති කාලයේ දී කාබනික ගොවියා මුහුණ දෙන තවත් බරපතළ ම අභියෝගයක්‌ වනුයේ විවිධ ශාක රෝගවලින් වගාවන්ට සිදු වන හානියයි. රෝග මර්දනය සඳහා හරිත විප්ලවීය කෘෂිකර්මයේ දී යොදාගනු ලබන කෘත්‍රිම රසායනික සම්පූර්ණයෙන් ම කපා හැරීම හේතුවෙන් ව්‍යාධිජනක බැක්‌ටීරියා, දිලීර සහ වයිරස්‌වලට ස්‌වාභාවික ආරක්‍ෂාව අහිමි වී ඇති භෝගවලට සංක්‍රාන්ති කාලයේ දී හානි පැමිණීමට වැඩි අපහසුතාවක්‌ නො වනු ඇත.

භෝග මාරුව, ප්‍රතිරෝධී භෝග වර්ග භාවිතය, නියමිත පාංශු පාලනය, රෝග කාරක සඳහා වාසස්‌ථාන සපයන අනෙකුත් ශාක වගා බිමෙන් ඉවත් කිරීම ආදිය කෘෂි පාලන ක්‍රමවලට එකතු කර ගැනීම මගින් සංක්‍රාන්ති කාලයේ දී කාබනික ගොවියාට තම භෝග ආරක්‌ෂා කරගත හැකි වනු ඇත. මේ ක්‍රමවේදවලට අමතරව කාබනික වගා සඳහා අනුමත ස්‌වාභාවික ශාක සහ සත්ත්ව අමුද්‍රව්‍යවලින් නිශ්පාදිත බැක්‌ටීරියා සහ දිලීර නාශක ද උපයෝගී කරගත හැකි වේ.

කාබනික ගොවිපොළක්‌ ආරම්භ කිරීමේ දී ඒ සඳහා බිම තෝරාගැනීමේ දී ද සැලකිලිමත් විය යුතු ය. පසෙහි නිදන්ගත ශාක දිලීර රෝග සඳහා ඉතිහාසයක්‌ ඇති බිම් කාබනික වගාව සඳහා තෝරා ගැනීම නුසුදුසු වේ. උදාහරණ ලෙස Fusarinm, Phytopthora, Pytium, Rhizoctonia ඇති රෝගකාරක පාංශු දිලීර හේතුවෙන් සංක්‍රාන්ති කාලයේ දී භෝගවලට විශාල ලෙස හානි පැමිණිය හැකි ය. හිරු එළියේ ආධාරයෙන් පසේ ව්‍යාධිජනක ක්‍ෂුද්‍ර ජීවීන් මර්දනය කරනු ලබන ක්‍රමය (Soil solarization) කාබනික ගොවිපොළක සංක්‍රාන්ති කාලයේ දී පහසුවෙන් භාවිත කළ හැකි ය.

මීට අමතරව ව්‍යාධිජනක ක්‍ෂුද්‍ර ජීවීන් මර්දනය කිරීම සඳහා ඒවා භාවිත පරිසර පද්ධතිවල වෙසෙන හිතකර ක්‌ෂුද්‍ර ජීවීන් ගේ උදව් උපකාර ද සාර්ථකව උපයෝගී කරගත හැකි ය. කෘෂි රසායනික මත පදනම් වූ හරිත විප්ලවීය කෘෂිකර්මයට දීර්ඝ කාලයක්‌ පාත්‍ර වූ ගොවිබිම්වල වඳ වී ගිය මේ හිතකර ක්‍ෂුද්‍ර ජීවීන් පිටත වගා කර පසට නැවත හඳුන්වා දිය හැකි ය. ශාක රෝගකාරක ක්‍ෂුද්‍ර ජීවීන් ස්‌ථිරසාරව මර්දනය කිරීම සඳහා මේ ක්‍රමවේදය ඉතා ම සුදුසු වේ.

සංක්‍රාන්ති කාලයේ දී කාබනික ගොවියා මුහුණපාන තවත් අභියෝගයක්‌ වනුයේ කාබනික ගොවිපොළ ක්‍රමය සඳහා භෝග වර්ග මාරු කිරීමේ දී අස්‌වැන්න අනුව භෝග හඳුන්වා දීමෙන් සිදු වන පාඩුවයි. සංක්‍රාන්ති කාලයේ සමහර විටක වටිනාකමින් අඩු අස්‌වනු නිපදවන භෝග වර්ග ද ගොවිපොළෙහි මිශ්‍ර කිරීමට සිදු වේ. රෝග සහ පළිබෝධ උවදුරුවලින් ගොවිපොළ බේරා ගැනීම සඳහා මෙසේ අකැමැත්තෙන් වුවත් බාල අස්‌වනු නිපදවන බෝග වර්ග හඳුන්වා දීමට සිදු වේ. ඒකාකාර භෝග වගාවෙන් කරගෙන යන හරිත විප්ලවීය කෘෂිකර්මය පළිබෝධයන් ගේ ජීවන චක්‍ර ස්‌ථාවරව පවත්වා ගැනීමට බෙහෙවින් රුකුල් දෙයි. කාබනික වගාවේ දී මේ රෝග සහ පළිබෝධයන් මර්දනය සඳහා කෘත්‍රීම රසායනික යොදාගත නොහැකි හෙයින් බෝග වර්ග මාරු කිරීම මගින් ඔවුන් ගේ ජීවන චක්‍රවලට හානි කිරීම මගින් පලිබෝධ පාලනය කළ හැකි වේ. එහෙත් ඒකීය භූමි ප්‍රමාණයකින් ලැබෙන ලාභය මෙහි දී ගොවියාට අඩු වී යා හැකි ය.

කාබනික ගොවිපොළෙහි සංක්‍රාන්ති කාලයේ වැඩි වන රෝග සහ පළිබෝධ හානි හේතුවෙන් අස්‌වැන්නේ තත්ත්වය බාල වීම හේතුවෙන් අඩු මිලක්‌ ලැබිය හැකි ය. පලතුරු සහ එළවළු වර්ග සඳහා මේ තත්ත්වය තදින් බලපෑ හැකි ය.

හරිත විප්ලවීය කෘෂිකර්මාන්තය සඳහා පුරුදු පුහුණු වූ ගොවියාට කාබනික කෘෂිකර්මාන්තය මුල දී නුහුරු විය හැකි ය. මෙය සාර්ථකව පවත්වාගෙන යැම සඳහා කෘෂිරසායනිකවලට හුරු වූ ගොවියාට සම්පූර්ණයෙන් ම වෙනස්‌ වූ ක්‍රමවේදයන් පිළිබඳව පුහුණුවක්‌ අවශ්‍ය වේ. සංක්‍රාන්ති කාලයේ දී කාබනික ගොවියාට එහි කෘෂිකාර්මික ක්‍රමවේද සංකීර්ණ සහ අස්‌ථාවර ඒවා ලෙස දිස්‌ විය හැකි ය.

කාබනික සහතිකය ලබා ගැනීමට කාබනික ගොවියාට සිදු වීම තවත් අභියෝගයකි. කාබනික සහතිකය ලබා ගැනීම සඳහා ගොවිතැන කාබනික ක්‍රමයට මාරු වී අවුරුදු තුනක්‌ පමණ බලා සිටීමට සිදු වේ. මේ සඳහා මුදල් වියදම් කිරීමට ද ගොවියාට මේ අමාරු අවධියකි.

මේ සංක්‍රාන්ති අවධියේ දී සිදු වන පාඩුව මගහරවා ගැනීම සඳහා වූ සටනේ දී පරිසර හිතකාමී කාබනික ගොවියාට අප රටේ ලැබෙන අනුග්‍රහයක්‌ නැති තරම් ය. දැවැන්ත පොහොර සහනාධාර හරහා ලැබෙන අනුග්‍රහයට උරුමකම් කියනු ලබන්නේ පරිසරයට සහ ස්‌වාභාවික සම්පත්වලට හානි පමුණුවමින් සෞඛ්‍යයට අහිතකර වූ ආහාර නිපදවන හරිත විප්ලවීය කෘෂිකර්මය කරගෙන යනු ලබන ගොවියාට ය. තම නිෂ්පාදනවලට සංක්‍රාන්ති කාලය තුළ දී දිරිමත් කරවන මිලක්‌ ලබාගෙන අවාසිදායක තත්ත්වය සතුටුදායක එකක්‌ බවට හරවා ගැනීමේ ක්‍රියාවලියේ දී හරිත විප්ලවීය කෘෂිකර්මයේ විවිධ අංග සඳහා දෙනු ලබන ආධාර බලවත් පහරකි. මිල පහත වැටෙන එම නිෂ්පාදන සමග වෙළෙඳ පොළේ දී අසාධාරණ තරගයකට මුහුණ දීමට කාබනික ගොවියාට මුල් අවධියේ සිට ම සිදු වේ.

කාබනික ගොවියා මුහුණ දෙන මේ අමාරු සංක්‍රාන්ති කාලයේ දී මතු වන අභියෝග ජය ගැනීම සඳහා සැලසුම් සකස්‌ කිරීමේ දී හරිත විප්ලවීය කෘෂිකර්මයේ යෙදවුම් කෙළින් ම එකිනෙක ආදේශ කිරීම සඳහා කාබනික කෘෂිකර්මයේ යෙදවුම් භාවිත කිරීම සාර්ථක නො වේ. මෙහි දී ගොවිපොළ කටයුතුවල මූලයේ සිට ම වෙනස්‌කම් රැසකට භාජන කිරීම කළ යුතු වේ. බිම තේරීම, රෝග පළිබෝධවලට ඔරොත්තු දෙන බෝග තේරීම, අඩු පෝෂක ප්‍රමාණයකින් යෑපිය හැකි භෝග තේරීම, කාබනික පොහොර හොඳින් භාවිතය, භෝග මාරුව, ආර්ථිකව වාසිදායක වන පාලන ක්‍රම උපයෝගී කර ගැනීම සහ ස්‌වාභාවික රෝග පළිබෝධ මර්දන ක්‍රම දිරිගැන්වීම වැනි ක්‍රම බොහොමයක්‌ ඒකාබද්ධ කර ගැනීමෙන් කාබනික ගොවියාට සංක්‍රාන්ති කාලයෙහි ඇති අභියෝග බොහොමයකින් ජයගැනීමට හැකි වනු ඇත.

ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටක හරිත විප්ලවීය කෘෂිකර්මයෙන් කාබනික කෘෂිකර්මයට විතැන් වූ මුල් කාලය හෙවත් සංක්‍රාන්ති කාලය කාබනික කෘෂිකර්මය රට පුරා ව්‍යාප්ත කිරීමේ කටයුත්තේ ඇති විශාලතම සාධකය ලෙස සැලකිය හැකි ය. උත්පත්තියෙන් ම නිසරු පසකට උරුමකම් කියන නිවර්තන තෙත් දේශගුණික තත්ත්වයන් ඇති අධික බෑවුම් සහිත විශාල බිම් ප්‍රමාණයක්‌ ඇති අපරටේ සාර්ථක භෝග නිෂ්පාදනයක්‌ සඳහා අවශ්‍ය පරිදි පසෙහි ගුණාත්මය පවත්වා ගැනීම විශාලතම අභියෝගයකි. එසේ ම කෘෂිරසායනික සහ තීව්‍ර වූ ගොවිතැන් ක්‍රම හේතුවෙන් විනාශ වී ඇති අපරටේ පාංශු සම්පත ප්‍රකෘති තත්ත්වයට කෙටි කලක්‌ තුළ පත් කිරීම ද බෙහෙවින් දුෂ්කර කාර්යයක්‌ විය හැකි ය. කොම්පෝස්‌ට්‌, කොළ පොහොර, ගොම පොහොර මගින් කරනු ලබන ප්‍රතිකර්මවලට අමතරව පිරිහී ඇති පසට ප්‍රතිකාර කළ හැකි තවත් ක්‍රමවේදවල හිඟයක්‌ ද අපට ඇති බව අවබෝධ කරගත යුතු ය. දැවැන්ත කෘෂිකාර්මික තාක්‍ෂණයකට හිමිකම් කියන මායා, මෙසපොටේමියා සහ ශ්‍රී ලාංකීය ශිෂ්ටාචාරවලින් මේ සඳහා උගත හැකි පාඩම් බොහෝ ඇති බව පෙනේ. ඊශ්‍රායලය, ඕස්‌ටේ්‍රලියාව, ඇමෙරිකා එක්‌සත් ජනපදය වැනි රටවල් පවා අතීත ශිෂ්ටාචාරවලින් කෘෂි තාක්‍ෂණ ක්‍රමවේද ඉගෙනගෙන වර්තමාන තත්ත්වයට තම රටවල දේශගුණික තත්ත්වයන්ට ගැලපෙන පරිදි වෙනස්‌ කොට හෝ තවදුරටත් වැඩිදියුණු කොට තිරසාර කෘෂිකර්මාන්තයක්‌ සඳහා යන ගමනට සාර්ථකව උපයෝගී කරගනී. එම නිසා සාර්ථක පරිසර හිතකාමී කෘෂිකර්මාන්තයක්‌ අප රට තුළ ස්‌ථාපිත කිරීමේ ප්‍රයත්නයේ දී දේශීය තාක්‍ෂණය මත ම කොටු නො වීමට අප වගබලා ගත යුතු වේ.

 

ආචාර්ය පී. අයි. යාපා
සබරගමුව විශ්වවිද්‍යාලය