Rooga saha Paliboda රෝග  සහ පලිබෝධ

 

වඳ දසතම පතුරුවමින් දැකුම්කලු පරිසරයක් ඔබේ ගෙමිදුලට රැගෙන එන සුන්දර රෝස වගාවටත් අ සුන්දර වූ රෝග බහුල ව වැළඳේ. විශේෂයෙන්ම දිලීර හානිය සහ කෘමි හානිය රෝස ගසෙහි මුල්, කඳ, පත‍්‍ර, මල් ආදියට වින කරනු දක්නට ලැබේ. මේ අතරින් වඩාත් බහුලව දැකිය හැකි රෝගයකි කලු ලප රෝගය. ප‍්‍රථමයෙන්ම රෝස පත‍්‍ර මත කහ පැහැති පුල්ලි හට ගන්නා අතර පසුව ඒවා කලු පැහැති පැල්ලම් වශයෙන් දැකිය හැකිය. ඉතා ඉක්මණින් පැතිර යන මේ රෝගය නිසා පත‍්‍රය කහපාට ගැසී හැළි යයි. සමහර අවස්ථා වලදී කඳට වැළඳීමෙන් රෝස ගස මැරී යාමට ද ඉඩ තිබේ.ජලවහනය දුර්වල වීම, අධික වර්ෂාව කළු ලප රෝගය වැඩි දියුණු කරන අතර පෙ‍්‍රාපිනෙබි, හෝක්ලෝරොතැලෝනිල් අඩංගු දිලීර නාශක භාවිතය මඟින් මේ රෝගය මර්ධනය කරගත හැකිය. කළුලප රෝගය මෙන්ම සුදු පුස් රෝගය ද බහුලව දක්නට ලැබෙන්නකි. ළපටි පත‍්‍ර, මල් පොහොට්ටු සහ කඳමත සුදු පැහැති පුස් දැකිය හැකිය. මේ තත්ත්වය මත බොහෝ විට ළපටි පත‍්‍ර මේරීමට ප‍්‍රථම හැළී යයි. පස වියළීම සහ මුල් වියළිම මෙම රෝගය උත්සන්න කරන අතර දැඩි ලෙසින් හානි වී ඇති කොටස් ඉවත් කිරීම තුළින් සහ ක්ලෝරෝතැලෝනිල් අඩංගු දිලීර නාශක යෙදීම තුළින් මේ සුදු පුස් රෝගය අවම කරගත හැකි වේ. රෝස ශාකයේ ඉහළ සිට පහළට අතු මැරීයාම ද රෝස වගාවේ දක්නට ලැබෙන රෝගයකි. කඳේ පහළ කොටස් තුවාල වීම මුල් ජලයෙන් තෙත්ව තිබීම, සුදු පුස් හෝ කළු ලප රෝගය වැළඳී තිබීම ඊට හේතු සාධක වේ. මාධ්‍යයේ ජලවහනය දියුණු කිරීම, නිවැරැදි ලෙස අතු කැබැලි කැපීම, පාංශු ප‍්‍රතිකාර කිරීම ආදිය මාර්ගයෙන් මෙම රෝගය පාලනය කළ හැකි වේවි. මෙම රෝස වගාවේ දිලීර රෝග මෙන්ම පළිබෝධ හානි ද දැකිය හැකියි. ඒ අතරින් වැඩිපුර මයිටා හානිය දක්නට ලැබෙන අතර රෝස පත‍්‍ර යටි පැත්තේ යුෂ උරාබොන කුඩා කෘමියකු ලෙසින් මෙය හඳුනා ගෙන ඇත. පත‍්‍ර මතුපිට කහවීම සහ පත‍්‍ර හැකිළීම මෙහි රෝග ලක්‍ෂණ වේ. උණුසුම් වියළි කාලයේ දී මෙන්ම සුළං අධික කාලයේ ද මේ මයිටා හානිය වැඩි වේ. සල්පර් අඩංගු කෘමි නාශකයක් යෙදීම තුළින් මයිටා හානිය අවම කරගැනීමට පුළුවන.කඳේ අග‍්‍රස්ථ කොටස්වලින් යුෂ උරා බී රෝස වගාවට හානිකරන විනාශකාරී කුඩා කෘමියෙකි  කූඹිත්තා.  විවිධ පාටින් දක්නට ලැබෙන මේ කෘමීන් නිසා පසෙහි වර්ධනය බාල වී මල් විකෘති වීම සිදුවේ. සංස්ථානික කෘමිනාශක භාවිතයෙන් මෙම උවදුර පාලනය කළ හැකියි. ළපටි මෙන්ම තරමක් මේරූ කඳන් මත සහ පත‍්‍ර යටි පැත්තේ සිට යුෂ උරා බොන පිටි මකුණාද රෝස වගාවේ දැකිය හැකිය. සුදු පැහැති කුඩු විශේෂයකින් ශරීරය ආවරණය කරගෙන සිටින මේ පිටි මකුණා විනාශ කිරීම සඳහා සංස්ථානික කෘමි නාශක සහ තනුක සබන් ද්‍රවණ යෙදිය යුතුය. පැරැණි රෝස අතුමත සහ මුල්මත ජීවත්වන කොරපොතු කෘමියා ද මෙම ශාකයේ යුෂ උරාබොමින් ගසට හානිකරයි. කඳට ඇලී සිටීම සහ ඝන බාහිර ආවරණය නිසාම විනාශ කිරීමට අපහසු මේ කොරපොතු කෘමි රෝගයට සංස්ථානික කෘමි නාශක යෙදීම වඩාත් උචිතය.මීට අමතරව කඳ විදින පණුවා, රෝස පණුවා, කුහුඹු වේයා, මල් සහ පත‍්‍ර කන කුරුමිණියා මෙම රෝස වගාවට හානිකරන සතුන් ලෙසින් හැඳින්විය හැකිය. මේ සතුන් වඩාත් ව්‍යාප්තව නැතිනම් අතින් අහුලා ඉවත් කළ හැකි අතර රෝගය අධිකව වැළඳී ඇත්නම් කෘමිනාශක යෙදීම සුදුසු වේ.