Sakura Wasanthaya සකුරා වසන්තය

 

ජපානය කිව්ව ගමන් මතකයට එන්නේ සකුරා මලයි. එරට ජාතික පුෂ්පය නො වූවත් ජපන් ජාතිකයින්ට ඉතා සමීප මලක් ලෙස සකුරා මල හඳුන්වන්න පුළුවන්. සකුරා උත්සවය තරම් ජපන් ජාතිකයින්ට සමීප වෙනත් උත්සවයක් නොමැති තරම්. ජපන් භාෂාවෙන් ‘සකුරා’ නමින් හඳුන්වන්නේ චෙරි මල් ය. සකුරා පිපිම ආරම්භ වන්නේ මාර්තු මාසයේ අග භාගයේදීය.මුලින්ම පිපෙන්නේ පෙති දෙකේ ‘යඑ’ සකුරාය. වසන්ත සමය උදාකරමින් අප්‍රේල් මාසය උදා වෙත්ම පෙති වැඩි අලංකාර සකුරා පිපෙන්නට පටන් ගනී. සකුරා මල් රෝස, කහ, සුදු පැහැවලින් පිපේ. සකුරා පිපෙන්නේ එක්තරා ප‍්‍රදේශ කිහිපයක පමණි. ටෝකියෝ, සෙන්ඩායි, නගොයා, ටකයාමා, කනසාවා, කියෝතෝ, ඔසාකා , හිරෝෂිමා, ෆුකුඕකා ඇතුළු ප‍්‍රදේශවලයි. ජපානයේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් සකුරා මල් පිපෙන කාල සීමාව කල්තියා දැනුම් දෙනු ලැබේ.

 

සකුරා උත්සවය පවත්වනු ලබන්නේ ගමේ හෝ නගරයේ සකුරා උයනකය. අප්‍රේල් මාසයේ මුල් සතිය පුරා උත්සවය පවත්වනු ලැබේ. උතුරු ජපානයේ දූපතක් වන හොක්කයිදොවේ පමණක් සකුරා පිපෙන්නේ මැයි මාසයේ නිසා එහි වැසියෝ සකුරා උත්සවය මැයි මාසයට යොදා ගනිති. සකුරා මල් පිපී තිබෙන්නේ දින හතක් පමණි. ජපන් ජාතිකයෝ එක් දිනක් හෝ සකුරා උත්සවයට අනිවාර්යයෙන්ම සහභාගි වෙති. එය තමන්ගේ ජීවිතයේ ලද විශේෂ අවස්ථාවක් ලෙස ඔවුහු සලකති. සකුරා මල් නැරඹීමට යාම හඳුන්වනු ලබන්නේ ‘හනාමි’ නමිනි. පවුලේ සියලු දෙනා අලංකාර ඇඳුම්වලින් සැරසී විනෝද ගමනක් යන්නා සේ සකුරා නැරඹීමට යති. මල් පිපුණු සකුරා ගස් යට පැදුරු සහ බුමුතුරුණු එළා ගෙන රසවත් ආහාර පාන බුදිමින් නටමින් ගයමින් වයමින් ඔවුහු විනොදවෙති. සකුරා මල දෙවියන්ගෙන් තමන් ලැබූ මහඟු දායාදයක් ලෙස ජපන් ජාතිකයෝ සලකති. මොහොතකට හෝ මල් පිපුණු සකුරා ගසක් යටට වී සිටීම දුක් වේදනාවන් දුරු වීමට හේතුවන බව ඔවුහු අදහති. සකුරා ගසක් යට මියයාමෙන් ඊළඟ ආත්මය වඩාත් යහපත් වන බව ද ඔවුහු විශ්වාස කරති. සකුරා උළෙල අවසන් වන දිනයේ රාජ්‍ය අමුත්තන් සහභාගි වන සාදයක් ද තෝකියෝවේ රාජකීය උද්‍යානයේ පැවැත්වේ.