Rukshan Jayasekara



Sapaththu Mal සපත්තු මල්

 

සාමාන්‍යයෙන් ඕනෑම ගසක මල් සහ ඵල හට ගැනීම සිදුවන්නේ එක කාලයකටය. “ වාරය” ලෙසින් හඳුන්වන මෙම කාලය තුළ නොකඩවා මල්, ඵල දරන ගස වසරේ අනිකුත් කාල වකවානුව තුළ කොළ හැලි නැවත දළු ළා අලුත් වාරයට ලක ලැහැස්ති වේ. මේ අතරින් වසර පුරාම මල් හටගන්නා ශාක ඇත්තේ ඉතාමත් සීමිත ප‍්‍රමාණයකි. එවන් ශාක විශේෂයක් වු “ වද මල් “ පිළිබඳවයි අද ඔබට හඳුන්වා දෙන්නේ.ගෙවත්තට වැඩි අලංකාරයක් ගෙනදෙන ප‍්‍රභේද රාශියකට නෑකම් කියන වද මල සපත්තු මල ලෙසින්ද හඳුන්වයි. මෙහි උද්භිද විද්‍යාත්මක නාමය වන්නේ “ හයිබිස්කුස් රෝසා සිනෙන්සිස් “ (Hibiscus Rosa Sinensis ) යන්නයි. මෙය සාමාන්‍ය ව්‍යවහාරයේදී “ රෝස ඔෆ් චයිනා “ ( Rose Of China ) යන නාමයෙන්ද හඳුන්වන්නේ එය චීනයේ ජාතික පුෂ්පය වන බැවිනි.නැගෙනහිර ඉන්දීය දුපත් වලින් මුලින්ම හඳුනාගත් වදමල් විශේෂය අද ශ‍්‍රී ලංකාවේ බොහෝ පළාත්වල දක්නට ලැබෙන්නකි. හොඳීන් හිරුඑළිය ලැබෙන ගෙවතු වල ඉතා පහසුවෙන් වගා කළ හැකි මෙම ශාකය “ මල්වාසේ “ (Malvaceae )  කුලයට අයත් වේ.අලංකාර රැලි සහිත පෙති රාශියකින් යුත් මල් පමණක් නොව පෙති පහකින් යුත් වදමල්ද දක්නට ලැබෙන අතර මෙම මලෙහි ආයු කාලය දින කිහිපයකි. විවිධ වර්ණයෙන් යුත් “ හයිබිස්කුස් “ මල් පමණක් නොව පත‍්‍රද සමහර අවස්ථා වලදී නෙත ගැටෙනු ඇත. ඒ සුදු සහ කොළ පැහැය මිශ‍්‍ර විචිත‍්‍ර පත‍්‍රයක් ලෙසිනි. මෙය Hibiscus Rosa Sinensis Cooperi යන උද්භිද විද්‍යා නාමයෙන් හඳුන්වනු ලැබේ.දිගු කාලීන පැවැත්මක් ඇති වදමල් ශාකය උද්‍යාන අලංකාරණයේදී මල් වැටක් ලෙසින් පමණක් නොව පඳුරක් වශයෙන්ද, බඳුන් ගත වගාවක් හැටියටද මනා ජලවහනයක් යටතේ වගා කළ හැකිය. සුදුසු අවස්ථාවලදී කලින් කලට විධිමත්ව කප්පාදු කිරීම තුළින් මෙහි වැඩීම පාලනය කොට අලංකාරවත් බව වැඩි කරගැනීමට හැකියාව ලැබේ. කප්පාදු කිරීමේදී “ සෙකටියර් “ නම් උපකරණය භාවිතා කිරීම ඉතා යෝග්‍ය වන අතර වැඩීම පාලනය නොකළහොත් ශාකය අඩි 10 - 15 දක්වා උසට වැඩීම සිදුවේ.වදමල් ශාකය දඬු කැබැලි මාර්ගයෙන් පහසුවෙන් බෝ කරගත හැකිය. මතුපිට පස් කොටස් 01 ක්, වැලි කොටස් 01 ක් සමඟ මිශ‍්‍ර කොට තනාගත් වගා මාධ්‍යය පොලිතින් කවරවල බහා දඬු කැබැලි ඒ මත සිටුවා පෙ‍්‍රාපගේටරයක තැබීමෙන් පැළ ලබාගත හැකිය. මේ සඳහා දඬු කැබැලි ලබා ගැනීමේදී මධ්‍යම ප‍්‍රමාණයේ මේරූ කොටස් භාවිතා කළයුතු අතර ඉහත සඳහන් සෙකටියර් නම් උපකරණය මාර්ගයෙන් කැබැලි වෙන් කිරීම ඉතා සුදුසුය.මෙසේ ලබා ගන්නා පැළ ක්ෂේත‍්‍රයේ සිටුවීමේදී තරමක් දුරින් අඩි 1 1/2 * 1 1/2 * 1 1/2 වළවල් සකස් කොට වගා මාධ්‍යය යොදා සිටුවිය යුතුය. මතුපිට පස් කොටස් 03ක් , දිරා ගිය ගොම පොහොර කොටස් 02 ක්, කොළ පොහොර කොටස් 01 ක් සහ වැලි කොටස් 01 ක් මිශ‍්‍ර කරගැනීමෙන් මෙම වගා මාධ්‍යය සකසා ගත හැකිය. බඳුන් ගත වගාවකදී ලොම් පස් කොටස් 03 ක්, වියළි ගොම කොටස් 02 ක්, කොළ පොහොර සහ රළු වැලි කොටස් 01 බැගින් යොදා සැකසු වගා මාධ්‍යයක් භාවිතා කරන්න.මෙසේ සිටුවාගත් පැළ තරමක් වැඩුණු පසුව කප්පාදු කිරීමෙන් අලංකාර පඳුරක් බවට පත්කර ගත හැකිය.සපත්තු මල් ශාකයට විශේෂිත රෝග හෝ කෘමිහානි එතරම් දුරට සිදු නොවන නමුත් අංකුර හැලීම, කොළ හැකිලීම සහ හැලීම වැනි රෝග ලක්ෂණ දැකිය හැකිය. මෙවැනි ලක්ෂණ ඇතිවු විගස හොඳීන් ජලය සැපයීමෙන් සහ හොඳ කොම්පොස්ට් පොහොර මිශ‍්‍රණයක් යෙදීමෙන් හානිය වළක්වා ගත හැකිය. මයිටාවන් සහ කූඩිත්තන් නිසා ඇතිවන කොළ හැකිලීමට මයිටා නාශකයක් හෝ සුදුසු පළිබෝධ නාශකයක් භාවිතා කරන්න.සුදු, කහ, තැඹිලි, රෝස, රතු, දම් ආදී විවිධ වර්ණයන්ගෙන් පිරුණු විශාල වශයෙන් මල් හටගන්නා වදමල් හෙවත් සපත්තු මල් ඔබේ ගෙමිදුලට පමණක් නොව බඳුන්ගත වගාවක් ලෙසින් නිවෙසේ බරාඳය, විසිත්ත කාමරය ආදියට ගෙන එන්නේ නැවුම් සුන්දරත්වයකි.