Advertisement
Hot Kello

Thippili Yugaya තිප්පිලි යුගය

 

පාරම්පරික වෙදකම සඳහා අවශ්‍ය ඖෂධ සඳහා අමුද්‍රව්‍ය ශීඝ‍්‍රයෙන් වඳ වී යාමේ තර්ජනයකට මුහුණ දී ඇත.වනාන්තර වැනසීමත්, ව්‍යාපාරික ලාබ ප‍්‍රයෝජන තකා තොග පිටින් පැළෑටි උගුල්ලා දැමීමත් බහුලව සිදු කෙරේ. කොළ කැඳ නිපදවීමේ මේ අමුද්‍රව්‍ය හිඟකම කැපී පෙනේ. එසේම ඖෂධ අමුද්‍රව්‍ය තොග පිටින් වනාන්තර අභ්‍යන්තරයේ විනාශ වීම වසරක් පාසා අඛණ්ඩව සිදු කෙරේ.මේ හේතූන් මත දේශීය වෙදකම සහ ආයුර්වේද වෙදකම සඳහා අවශ්‍ය ඖෂධ අමුද්‍රව්‍ය නිසි ප‍්‍රමිතියෙන් සපයා ගැනීම ඉතාමත් දුෂ්කර වී තිබේ.කාර්මික තාක්ෂණ ආයතනය ඖෂධ පැළෑටි වගා කිරීමටත් ඒ සඳහා අවශ්‍ය කෘෂි කාර්මික ක‍්‍රමවේදය හඳුන්වා දීමටත් ඉදිරිපත් වී සිටී.සුදුසු දේශගුණික තත්ත්ව යටතේ වගා කෙරෙන ඖෂධ පැළෑටිවල අස්වැන්න නියමිත වයස් මට්ටමේ දී නෙළා ගෙන සුදුසු පරිදි අදාළ ප‍්‍රමිතියට සකසා ඖෂධ නිෂ්පාදකයන් වෙත ලබා දීමට හැකි නම් දේශීය වෙදකම මඟින් මේ වනවිට ලබා තිබෙන ප‍්‍රතිඵල, තවත් දහස් ගණනින් භුක්ති විඳීමට මෙරට ජනතාවට අවස්ථාව උදාවනු ඇත.

 

නව කර්මාන්තයක් ලෙසින් ආරම්භ කිරීමටත්, මනා ආදායමක් ලබා ගැනීමටත්, ඖෂධ අමුද්‍රව්‍ය ආනයනය සඳහා වසරක් පාසා පිටරට ඇදී යන මුදල් මෙරට ඉතිරි කැර ගැනීමටත් එමඟින් අවස්ථාව ලැබේ.ඖෂධ පැළ වගා කිරීම සඳහා ඉතා සුදුසු දේශගුණික තත්ත්වයක් මෙරට පවතී. අප රටේ දේශගුණය ඝර්ම කලාපීය දේශගුණික ලක්ෂණවලට හිමිකම් කීවද නුවරඑළිය වැනි ප‍්‍රදේශවල ශීත සෞම්‍ය දේශගුණික ලක්ෂණ පවතී. එසේම හම්බන්තොට, මන්නාරම වැනි ශුෂ්ක කලාපීය ප‍්‍රදේශවලට ආවේණික දේශගුණික ලක්ෂණ ද පවතී. ශුෂ්ක කලාපීය දේශගුණික ලක්ෂණ පවතී යැයි සැලකුව ද එම කලාපවල ශාක ඉතා හෙඳින් වැඩේ.එසේම ලංකාවේ ස්වාභාවික ඔසු උයන් ද තිබේ. නිල්ගල, රජවක, කන්නෙලිය, නාවුල, රිටිගල යන ස්ථානවල පිහිටි එම ඔහු උයන්වලින් පමණක් යැපෙමින් තම දිවි පෙවෙත රැකගන්නා පිරිසක්ද සිටිති. ඖෂධ නිසි පරිදි රැස් කිරීමට, ගබඩා කිරීමට පහසුකම් නැති වීම ද, ඒ සඳහා නියමිත ක‍්‍රමවේද නොදන්නා කම ද හේතුවෙන් ඖෂධ අමුද්‍රව්‍ය තොග පිටින් අපතේ යන තත්ත්වයක් ද පවතී.

 

මෙරට වගා කළ හැකි වුවද පිටරටින් ආනයනය කරනු ලබන ඖෂධ අමුද්‍රව්‍ය වර්ග දෙසීයක් පමණ ඇත. මේ අතරින් කටුවැල්බටු මෙට්ටි‍්‍රක් ටොන් දෙලක්ෂයකට වඩා එක් වසරකදී මෙරටට ආනයනය කරයි. එසේම ඉඟුරු, නෙල්ලි, අසමෝදගම්, අමුක්කරා, තිප්පිලි, සැවැන්දරා, වදකහ, ඉඟුරු පියලි, මලිතමල්, රත්හඳුන්, ඉරමුසු, සාරණ, රත්නිටොල්, කපු කිනිස්ස ඇට, අමුුඉඟුරු, වියළි ඉඟුරු, රණවරා, හීන් අරත්ත ආදී ඖෂධ අමුද්‍රව්‍ය රැසක් ආනයනය කරයි. මේවා පහසුවෙන් ලංකාවේ වගාකළ හැකිය. ඖෂධ අමුද්‍රව්‍ය නියමිත පරිදි වගාකිරීමට යොමුු වීමෙන් සලසා ගත හැකි වාසි රැසකි. නියමිත ශාකය හඳුනා ගනිමින් නියමිත අමුද්‍රව්‍යම භාවිත කිරීමට යොමුවීම, නියමිත පරිදි පරිණත අවස්ථාවට පත්වූ ශාක අමුද්‍රව්‍ය ලෙස ලබා ගැනීම. අස්වනු පහසුවෙන් නෙළා ගැනීම, අස්වනු සැකසීමේ පහසුව, ඉහළ ගුණාත්මක බවෙන් යුත් අමුද්‍රව්‍ය දේශීය වෙළෙඳ පොළට හඳුන්වාදීම, පිටරටට ඇදී යන කෝටි සංඛ්‍යාත මුදල් මෙරට ඉතිරි කරගත හැකි වීම එම වාසි අතර වේ.තිප්පිලි, සෙනෙහෙකොළ, කටුවැල්බටු, රත්නිටොල්, අමුක්කරා, මිනිමල්, අරත්ත, නියඟලා, ඉරිවේරිය, ඒකාවේරිය, කප්පරවල්ලිය, කොතලහිඹුටු, පොල්පලා, කෝමාරිකා, අසමෝදගම්, කපුකිනිස්ස, ඉඟුරුපියළි ඇතුළු ඖෂධ වර්ග රැසක් සාර්ථකව වගාකළ හැකි ක‍්‍රමවේද කාර්මික තාක්ෂණික ආයතනය හඳුන්වා දී තිබේ. එම පැළෑටි වගා කිරීම සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන අයට ඉතා සහනදායී මිල ගණන් යටතේ රෝපණ ද්‍රව්‍ය, සැපයීමට ද කෘෂි තාක්ෂණ ක‍්‍රමවේද, වගාකිරීම හා අස්වනු සැකසීම පිළිබඳ තාක්ෂණික දැනුම ලබාදීමට ද වෙළෙඳ පොළ පිළිබඳ දැනුම ලබාදීමට ද කාර්මික තාක්ෂණික ආයතනය සූදානම් ව සිටී.