Swarna Guru Maniyo ස්වර්ණ ගුරුමෑණියෝ 12-25



Iranama Wisadhana Kalaye Abirahasa ඉරණම විසඳන කාලයේ අභිරහස

ජ්‍යොතිෂය අභිරහස් ගුප්ත විෂයයක් යැයි බොහෝ දෙනා සිතන්නා හ. එහෙත් ගණිතය සහ තර්ක ඥානය මිස අන් කිසිම අභිරහසක් මෙහි නැත. සෑම ජ්‍යොතිෂ නියාමයක් ම අනුලෝමව සහ ප්‍රතිලෝමව සම්බන්ධවන ආකාරය සැක නැතිව පෙන්වා දිය හැකිය. එසේ නො කළ හැකිනම් එය සිද්ධාන්ත විරෝධී හිතලුවක් මිස සැබෑ ජ්‍යොතිෂය නොවේ. පුරාණ ජ්‍යොතිෂ සිද්ධාන්ත ග්‍රහණය කැර ගන්නා අතර ම ඊට අලුත් දැනුම එකතු කිරීමට ද ඉතා සුළු පිරිසක් යුහුසුළු වේ. මේ ලිපියේ ලේඛකයා ද එවැනි තරුණ පර්යේෂකයෙකි. අප මේ ලිපි මාලාව පළ කරනුයේ මිත්‍යාවෙන් සහ බඩගෝස්තරවාදී අව භාවිතයෙන් බැහැර වූ සැබෑ ජ්‍යොතිෂය සවිමත් කිරීමේ අරමුණින් ය.

කාලය ජ්‍යොතිෂයේ පදනම වේ. අතීතයේදී කාලය විග්‍රහ කිරීමට සහ කාලය මැනීම සඳහා භාවිතා කළ ක්‍රමවේදය පිළිබඳව මේ ලිපිය මගින් හරවත් සංවාදයකට මුල පුරා තිබේ.

පරමාණු සහ ‘මහා මන්වන්තර’ ලෙස පිළිවෙලින් කාලය මැනිය හැකි ඉතා කුඩා ම සහ ඉතා විශාල ම කාල ඒකක තිබිණ. මෙහිදී ‘පරමාණු’ යන්නේ කාල ප්‍රමාණය මයික්‍රෝ තත්පර 0.031ක්ද, ‘මහා මන්වන්තර’ යන ඒකකය වසර ට්‍රිලියන 311.04 ක් ද විය. පසුව කී ඒකකය වන ‘මහා මන්වන්තර’ යන කාල ඒකකයේ, එක් ඒකකයක් හෙවත් ‘මහා මන්වන්තර එකක්’ යන්න විශ්වයේ පිම්බීමට ගතවන කාලයට සමාන වේ. එනම් මේ විශ්වයේ පිම්බීම සහ හැකිලීම චක්‍රානුකුලව වන හෙයින් එම එක් පිම්බීමක් සහ හැකිළීමකට ගතවන කාලය හෙවත් මහා යුගය යන්න, ‘මහා මන්වන්තර 2ක් ‘ වේ.

පුරාණ හින්දු ජ්‍යෝතිෂයේ මෙම ‘මහා මන්වන්තර’ නම් ඒකකයෙන් පහළට බිඳෙන කාල සීමාවන් වලින් කුඩා ඒකක පැමිණේ. නවීන විද්‍යාවේ නම් ‘තත්පරය’ කුමක්දැයි අර්ථ දක්වා එතනින් එහාට විශාල ඒකක අර්ථ දැක්වේ. මේ ක්‍රම දෙකම සාර්ථකය. එකක් අනෙකට වඩා හොඳය හෝ නරකය කියා කියන්නට හැකියාවක් නැත. මේ පුරාණ ඒකකවල කාල සීමා තත්පර ඇසුරෙන් මෙසේය. ‘පරමාණු’ යන්නේ කාල ප්‍රමාණය මයික්‍රෝ තත්පර 0.031ක්ද, ‘රේණු’ යන්නේ කාල ප්‍රමාණය මයික්‍රෝ තත්පර 1.86 ක්ද, මෙසේ විවිධ ඒකක වලින් වැඩිවී විඝටි සහ ඝටි කියන ඒකක වලට පැමිණේ. විඝටි 1 ක් යනු මිනිත්තු 24 කි .

දැන් ප්‍රශ්නය වන්නේ මේ කුඩාම ඒකක ඒ පුරාණ කාලයේ ඉතාමත් නිවැරදිව මැන්නේ කෙසේද යනුයි. ඔබ සමහරවිට ‘ඔබෙලිස්ක්’ යනුවෙන් ඉතියෝපියාවේ ඇති, ක්‍රිස්තු පූර්ව 3500 වැනි කාලයක නිර්මාණය කළ, අඩි සිය ගණනක් උස කණුවක ආකාරයෙන් තනන ලද ව්‍යුහය ගැන අසන්නට ඇත. එය කාලය මැනීම සඳහාද භාවිතා කළ බව කියවේ. කෙටියෙන් කිවහොත්, පොළවේ සිරස්ව සිටුවන ලද කොටුවක් වැනි දෙයක සෙවණැල්ල, හිරු ගේ ගමන් මඟ අනුව වෙනස් වේ. මේ කොටුව උස වෙන්නට වෙන්නට, කාලයට සාපේක්ෂව එම සෙවණැල්ලේ දිග වෙනස් වීමද විශාල වේ. මේ නිවැරදි ගණනයන් ලබා ගැනීමට මිනිසා විසින් තනන ලද ‘ඔබෙලිස්ක්’ ම අවශ්‍ය නැත. ඒ සඳහා උස කන්දක මුදුනේ සෙවණැල්ල නිරීක්ෂණය කිරීම ප්‍රමාණවත්ය.

කිසියම් කාල සීමාවක් නිවැරදිව නිර්ණය කළ විට, එහි උප කාල සීමා ලබාගැනීමේ අපහසුවක් නැත. එහෙත් මේ ‘පරමාණු’ හෙවත් ‘මයික්‍රෝ තත්පර 0.031’ වැනි කාල සීමාවන් භාවිතා කෙළේ කුමක් සඳහාද යන්නට අද අපට ලබා ගත හැකි සාධක නැත. සමහරවිට මේ අමුතු කාල සීමාව, එනම් ‘මයික්‍රෝ තත්පර 10’ ක් වැනි කාල සීමාවක් හැර ‘මයික්‍රෝ තත්පර 0.031’ ලෙස අර්ථ දැක්වීමක් කෙළේ මන්දැයි කියන්නට හේතුවූ මුල් ප්‍රධාන ඒකකය වන ‘මහා මන්වන්තර’ යන ඒකකය වන්නට ඇත

දැන් අප ජ්‍යෝතිෂය සඳහා භාවිතා වන කාලයන් ගේ නිවැරදිතාවය කෙසේ වන්නේ දැයි බලමු. එක්තරා ජ්‍යෝතිෂ නියමයක් අනුව, එක් ස්ථානයකට වැටෙන ග්‍රහ තාරකාවන් ගේ බලය සෑම තත්පර 24 කට වරක්ම වෙනස් වේ. කෙසේ හෝ දළ කේන්ද්‍රය ලෙස අප හඳුන්වන, කෙනෙක් උපදින විට අහසේ ඇඳෙන ‘අහස් සිතියම’ නිර්ණය කිරීමට, ඉතාමත් නිවැරදි කාල සීමාවන් අවශ්‍ය නොවේ. මෙයින් කියන්නේ එසේ ඉතා නිවැරදි කාල සීමාවන් අනවශ්‍ය බව නොවේ. භාව කේන්ද්‍රය වැනි වඩා නිවැරදි ගණනයන් අවශ්‍ය වන විටක, නිවැරදි කාල සීමා අවශ්‍ය වේ. එහෙත් ඒ සඳහාද විනාඩියක පමණ නිරවද්‍යතාව සෑහේ.

ඉතාමත් නිවැරදි තාරකා විද්‍යාමය වශයෙන් වැදගත් වූ පිරමීඩ වැනි ව්‍යුහයන් තැනූ පුරාණ ඊජිප්තු ජාතිකයන්, එම ව්‍යුහ එතරම් සාර්ථකව ඉදි කිරීමට ඉතාමත් නිවැරදි ලෙස කාලය නිර්ණය කිරීම කළෝය .එක් උදාහරණයක් සඳහන් කිරීමට කැමැත්තෙමි. පුරාණ ඊජිප්තුවේ විශ්වාසයක් ලෙස, සෞභාග්‍යයේ සංකේතය වන එක් තාරකාවක් අහසේ ඇත. එසේම, වසරේ එක් දිනයක් එම තාරකාවෙන් ගම්‍ය වන සෞභාග්‍යය සඳහා වෙන් කර ඇත. එක් පිරමීඩයක, රජ කෙනෙකුගේ මමියක් හෙවත්, 'කල් පවත්නා අයුරෙන් තැනූ දේහයක්' ඇත. සාමාන්‍යයෙන් දේහයේ හදවත හැර අනෙක් සියලුම අභ්‍යන්තර ඉන්ද්‍රියයන් ඉවත් කෙරේ. මේ දේහයේද ඒ ක්‍රම අනුගමනය කළ ද , මෙහි එක්තරා අමුත්තක් ඇත. එනම් දේහයේ ලිංගේන්ද්‍රිය ප්‍රාණවත් ආකාරයෙන් තනා තිබීමය. එම ලිංගේන්ද්‍රිය දිශානත වී ඇත්තේ පිරමීඩයේ එළියේ සිට දේහය තබා ඇති පිරමීඩයේ මැදට එන බටයක් වැනි දිග සිදුරක් හරහා එන රේඛාව දිගේ වේ. හරියටම වසරකට වතාවක්, ඉහත කී සෞභාග්‍යය ට වෙන් කළ දිනයේ, එම සෞභාග්‍යය පෙන්වන තාරකාවේ ආලෝකය, ඉහත කී සිදුර තුළින් ලිංගේන්ද්‍රියට පතිත වේ.

මෙය කරන්න ඇත්තේ කුමක් නිසාදැයි අපි නො දනිමු. එහෙත් අවසානයේ , මේ ආකාරයේ ඇටවුමක් කිරීමට මොනතරම් තාරකා විද්‍යා දැනුමක් අවශ්‍ය වේද යන්න ගැන අනුමාන වශයෙන් සිතා ගත හැක. තවද මේ සඳහා ඉතාමත් නිවැරදි කාල නිර්ණයන් අවශ්‍ය බව ඔබට වැටහෙනු ඇත. කාලය ඉතාමත් නිවැරදිව මැනි පුරාණයේ, රාත්‍රී කාලය මැන ගත් ආකාර කිහිපයක් තිබිණ. එකක් නම් කට්ට කපන ලද, එනම් ලකුණු දමන ලද ඉටි පන්දම් මගිනි. ඉටි පන්දම දැල්වී යත්ම ඒ කාල සීමාවන් ඉටි පන්දමේ බඳේ ක්ෂය වීමෙන් දැනගත හැක. චීන ක්‍රමය වූයේ, ගැට දමන ලද ලණුවක් දැල් වීමෙනි. ඉතා සිහින් වැලි දමා ඇති භාජනයක ඇති කුඩා සිදුරක් තුළින්, එම වැලි වැටෙන්නට සලස්වා, ඊට ගත වන කාලය මැනීමද සිදු විය. ‘වතුර ඔරලෝසුව’ ("clepsydra") ද , මෙසේ කාලය මැනීම් සඳහා භාවිතා කළ තවත් උපකරණයකි.

රාත්‍රී කාලයේ ළමයෙක් ඉපදුනු විට, එම කාලය නිවැරදිව සොයා ගත හැකි ක්‍රම දෙකක් ලංකාවේ භාවිතා විය. එකක් නම් ‘පෑ තැටිය’කි. කුඩා සිදුරක් ඇති භාජනයක්, ඊට වඩා ලොකු භාජනයක වතුරේ පාවෙන්නට ඉඩ හරී. කුඩා භාජනය ගිලී යෑමට ගතවන කාලය නියතයක් වේ. අනෙක් ක්‍රමය නම්, දරුවා ලැබුණු විගසම වත්තේ ඇති කෙසෙල් ගසක් මැදින් කපා දැමීමය. උදේ හරියටම ඉර පායන අවස්ථාවේ, එම කෙහෙල් කඳේ බඩය එලියට එන ප්‍රමාණයෙන් දරුවා ඉපදුනු නිවැරදි කාල සීමාව නිර්ණය කළ හැක. කෙසේ හෝ මේ ක්‍රම සාපේක්ෂ වශයෙන් එතරම් නිවැරදි නැති ක්‍රම බව පැහැදිළිය. එහෙත් උගත් ජ්‍යෝතිෂ වේදියෙක්, දරුවාගේ ශරීර ලක්ෂණ වැනි දේ නිරීක්ෂණය කර උපන් නිවැරදි වෙලාව නිර්ණය කරනු ලබන්නේය.

උපුටා ගැනීම http://iranama.tharunaya.us/show1.php?id=1471587667