ස්වර්ණමාලි ගුරුමෑණියෝ - Swarnamali Gurumaniyo
Hot Kello

Lith Poth Pariharanayen Gatalu Wisadeema ලිත් ‍පොත් පරිහරණයෙන් ගැටලු විසදීම

මෑත කාලයේ දී ‍ජ්‍යොතිෂය විෂය ඉගෙනීම කෙරෙහි ජනතාවගේ අවධානය වැඩි වැඩියෙන් යොමු වී ඇති බව පෙනේ. එයට එක් හේතුවක් වී ඇත්තේ ජනතාව තම කේන්දර සටහන් විවිධ ‍ජ්‍යොතිෂවේදීන්ගෙන් පරීක්ෂා කරවා ගත් විට ලබා දෙන අනාවැකි එකිනෙකට පරස්පර වීම විය හැකිය. ඒ නිසා තමන්ගේ අනාගතය කෙසේ ගතවේද යන්න පිළිබඳව තමන් විසින්ම දැනගැනීම සඳහා ‍ජ්‍යොතිෂය යම් මට්ටමකට හෝ හැදෑරීමකට ජනතාව පෙලඹී ඇති බව පෙනේ.

‍ජ්‍යොතිෂ්‍යය හැදෑරීමේ ආරම්භක පියවරක් ලෙස ලිත් ‍පොතක් පරිහරණය කිරීමට ආරම්භ කිරීම සුදුසු යැයි මට සිතේ. සාමාන්‍ය ලිත් ‍පොත් නිකුත් කරන්නේ වසරකට වරක් වන අතර සෑම වර්ෂයකම ජනවාරි මාසය ආසන්න වද්දී ලිත් ‍පොත් නිකුත් කෙරෙයි. ඒ අනුව සෑම වර්ෂයකම ජනවාරි මාසය ආරම්භ වීමට පෙර ලිත් ‍පොතක් මිලදී ගැනීමෙන් ‍ජ්‍යොතිෂ්‍යය හදාරන ප්‍රවීණයන්ට පමණක් නොව ආධුනිකයන්ටද විශාල පිටිවහලක් ලැබෙනු ඇත.
සැබැවින්ම ලිත් ‍පොතක් භාවිත කිරීම තුළින් ‍ජ්‍යොතිෂ්‍ය විෂයයට අදාළ සකල විධ අංග වන අනාවැකි පැවසීම, නැකැත් පිළියෙල කිරීම, නම් තැබිම වැනි ඕනෑම කටයුත්තක් සිදු කළ හැකිය. එමෙන්ම විධිමත් හෝ අවිධිමත් ‍ජ්‍යොතිෂ්‍ය පර්යේෂණ සඳහා මෙන්ම යම් අයකුගේ උත්පත්තියෙන් පසු උත්පත්ති කේන්දර සටහන් පිළියෙල කිරීම සඳහා ද ලිත් ‍පොත් බොහෝ ප්‍රයෝජනවත් වේ.

ලිත් ‍පොත් තුළ සාමාන්‍යයෙන් වසර තුළ සිදුවන සෑම ග්‍රහ මාරුවක්ම අන්තර්ගතව ඇත. ඒ අනුව දින 2 1/2 ට පමණ වරක් සිදුවන චන්ද්‍රයාගේ ග්‍රහමාරු පවා ලිත් ‍පොත්වල සටහන් කර ඇත. ඒ අනුව ලිත් ‍පොත් භාවිත කර ෙදෙනික ලග්න පලාපල පවා පැවසිය හැකිවනු ඇත. එමෙන්ම අනෙකුත් ග්‍රහ මාරු සිදුවන දිනය සහ වේලාවද ඉතා පහසුවෙන් දැන ගැනීමට ලිත් ‍පොත මගින් හැකිවනු ඇත. ඒ අනුව කුජ මාරුවක් සිදු වන දිනය සහ වේලාව, ශනි මාරුවක් සිදුවන දිනය, බුධ මාරුවක් සිදුවන දිනය, සිකුරු මාරුවක් සිදුවන දිනය, රාහු මාරුවක් සිදුවන දිනය ආදිය ලිත් ‍පොත කියවීම තුළින් ඉතා පහසුවෙන් හඳුනාගත හැකිවනු ඇත. ඒ තුළින් ප්‍රබල ග්‍රහ මාරු සිදුවන දිනවල  පෞද්ගලික වශයෙන් සිදුවන සිදුවීම් පිළිබඳව සහ රටේ ලෝකයේ සිදුවන සිදුවීම් පිළිබඳ යම් අවබෝධයක් ලබා ගත හැකිවනු ඇත. මීට අමතරව යම් යම් ග්‍රහයන් වක්‍ර වන කාලසීමාවන් පිළිබඳව සහ වක්‍රභාවයෙන් ඉවත්ව නිවෘත වන කාල සීමාවන් පිළිබඳ තොරතුරු ලිත් ‍පොත් මගින් දැනගත හැකිය. එම තොරතුරු පලාපල කථනය සඳහා ආධාර කරගත හැකිය.

මීට අමතර ලෙස වසර පුරාම සිදුවන ග්‍රහ යුද්ධ පිළිබඳ තොරතුරු ද ලිත් ‍පොත් මගින් දැනගත හැකිය. ඒ අනුව යම් ග්‍රහ යුද්ධයකින් ජය ගන්නා ග්‍රහයා මෙන්ම පරාජය වන ග්‍රහයා ද හඳුනා ගැනීමෙන් ග්‍රහ යුද්ධයට අදාළ ප්‍රතිඵලය පිළිබඳ යම් අදහසක් ලබාගත හැකි වනු ඇත. එමෙන්ම එමගින් යම් ග්‍රහයන් දෙදෙනකු නියම ලෙසම සංයෝග වන දිනය සහ වේලාවද දැනගත හැකි වනු ඇත. වසරේ සෑම දිනයකටම අදාළව ග්‍රහයන්ගේ ත්‍රිකෝණ දෘෂ්ටි, චතුරස්‍ර දෘෂ්ටි, ෂඩ් කෝණ දෘෂ්ටි, සප්තම දෘෂ්ටි ආදිය පිළිබඳවද නිවැරදි තොරතුරු බොහෝ අවස්ථාවලදී ලිත් ‍පොතක් මගින් ලබාගත හැකිය. එමෙන්ම සෑම වර්ෂයකටම අදාළ සියලුම චන්ද්‍ර ග්‍රහණ සහ සූර්ය ග්‍රහණ පිළිබඳ විස්තර ද ඒවා සිදුවන දින සහ වේලාවන්ද ලිත් ‍පොතක් මගින් ඉතා පහසුවෙන් බලාගත හැකිය. එලෙසම නැකැත් දවස් නොහොත් පංචාංගය සුබ වන දවස්ද, ලිත් ‍පොත්වල සටහන් කර ඇත. එවැනි දින, නැකැත් පිළියෙල කිරීමට බෙහෙවින් ප්‍රයෝජනවත් වේ. එමෙන්ම පිළියෙල කරන ලද නැකැතක් උත්පත්ති නැකතට ගැළපේද යන්න නොහොත්, උත්පත්ති නැකතට සාපේක්ෂව සම්පත්, ක්‍ෂේම, සාධක, මෛත්‍රී, පරම මෛත්‍රී ගණයට අයත් වේද යන්න පිළිබඳ තොරතුරු ද ලිත් ‍පොතක් මගින් දැනගත හැකිය.

තවද දවසේ රාහු කාලය, මුහුර්ත, පංචක ශුද්ධිය අටවිසි මහා යෝග, පක්ෂියා රජ කරන වේලාව, එක් එක් දවස්වලට අදාළ නැකැත්වල සුබ අසුබ බව, එක් එක් තිථිවලට අදාළ නැකැත්වල සුබ අසුබ බව, එක් එක් තිථිවල අදාළ දවස්වල සුබ අසුබ  ආදියද ලිත් ‍පොතක් ඇසුරින් ඉතා පහසුවෙන් සොයාගත හැකිවනු ඇත. එමෙන්ම එක් එක් දිනයට අදාළ සුබ හෝරා සහ අසුබ හෝරා පිළිබඳ තොරතුරු ද එක් එක් දිනයේ එක් එක් වේලාවට අදාළ ලග්නය පිළිබඳ තොරතුරුද, එක් එක් දිනයට අදාළව විෂ කලාව සහ අමෘත කලාව පවතින ශරීර ස්ථාන පිළිබඳ තොරතුරු ද ලිත් ‍පොත් මගින් ඉතා පහසුවෙන් සොයා ගත හැකිවනු ඇත.

එමෙන්ම ‍පොරොන්දම් ගැළපීම පිළිබඳ තොරතුරුද, නම් තැබිම පිළිබඳව සහ නම්වල ගණ ගැළපීම පිළිබඳ තෙරතුරුද ලිත් ‍පොතක් මගින් ඉතා පහසුවෙන් සොයා ගත හැකිවනු ඇත. මීට අමතරව සෑම දිනයකටම අදාළ වන පරිදි නැකත, තිථිය, යෝගය කරණය පිළිබඳ තොරතුරු ද පහසුවෙන් දැන ගැනීමට ලිත් ‍පොතක් ආධාර කරගත හැකිය. වසරෙහි සෑම දිනයකටම අදාළ සුබ දිසාව සොයා ගැනීම සහ දශා ශේෂය සෙවීම වැනි කාරණාද ලිත් ‍පොතක් මගින් ඉතා පහසුවෙන් කළ හැකිය. අප සඳහන් කරන ලද්දේ ලිත් ‍පොතක් මගින් ලබාගත හැකි ප්‍රයෝජනවලින් කිහිපයක් පමණක් වන අතර තවත් බොහෝ ප්‍රයෝජන එමගින් ලබාගත හැකිවනු ඇත. ඒ නිසා ‍ජ්‍යොතිෂය ලැදි සියලු දෙනාම අත්‍පොතක් ලෙස කුමන හෝ ලිත් ‍පොතක් භාවිත කිරීම සුදුසුය යන්න මගේ අදහසයි

උපුටා ගැනීම http://iranama.tharunaya.us/show1.php?id=1467091141