Anulawathi Gurumaniyo - අනුලාවතී ගුරුමෑණියෝ
Hot Kello

Pooruwe Charithra Hariyata Denaganna පෝරුවේ චාරිත්‍ර හරියට දැන ගන්න

හෙළ කුල සිරිතට දීගෙක යන්න

සුදොවුන් රජතුමා රාජ සභාවේ සාකච්ඡා කළේ රාෂ්ට්‍ර පාලනයටම ඇතුළත්වූ සුවිශේෂී කරුණකි. තම ආදරණීය පුතණුවන් වූ සිද්ධාර්ථ කුමරුන් ගැන ත්‍රිවේදය දත් බ්‍රාහ්මණයින් පැවසූ අනාවැකි දෙකක්‌ රජුගේ සිතට නිරන්තරව සිහිපත් විය. ''කුමරු සක්‌විති රජකමට පත්වෙනවා, නැතිනම් බුදු වෙනවා'' යන්නයි. සියල්ල අතහැර ලබන බුදුරජ පදවියට වඩා බොහෝ සෙයින් රජුගේ සිත් ගත්තේ සක්‌විති රජකම කෙරෙහිය.

මේ සකච්ඡාව වූ කලී සොළොස්‌ විය සැපිරූ කුමරුන්ගේ විවාහ මංගල්‍යය ගැනයි. මහා ප්‍රජාපතී ගෝතමිය, ඇමතිවරුන් හා රජු හැර පියවි ඇසට නොපෙනෙන දේව සමූහයා රාජසභාවට අධිගෘහිතව සිටියහ.

නිර්මාණ ශිල්පයේ අතිදක්‍ෂ වූ විශ්වකර්ම ගෙන් රජු මෙසේ ප්‍රශ්න කළේය.

''මා පුතනුවන්ගේත්, යශෝධරාවගේත් මංගල මණ්‌ඩපය ඔබ කෙසේ නිර්මාණය කරන්නේ දැයි පැහැදිලි කරන මෙන් මා ඉල්ලා සිටිනවා.''

''රජතුමනි, කුමරුන්ගේ ම`ගුල් මණ්‌ඩපය මෙසේ වනු ඇති'' විශ්ව කර්ම කීවේය.

එහි දිග රියන් සොළසකි. පළල රියන් පහළොවක්‌ වෙනවා. මේ මණ්‌ඩපයේ දොරටු හතරක්‌ තියනවා. (වහළයේ) වියනේ උඩුවියන් බැඳ කොත තබනවා. පරසතු, කඩුපුල්, මදාරා, ඕලු, නෙළුම්, සපු, නා ආදී මල් වර්ගවලින් මණ්‌ඩපය සැරසෙනවා. අපගේ පෞරාණික කැටයම්වලින් ද ඔපවත් වෙනවා. වියන නවග්‍රහ දෙවියන්ගේ රූපවලින් සැරසේවි. සිව් කොණ පුqන්කලස්‌ තබනවා. පෝරුව මැද මුතු මැණික්‌ වලින් සරසා සතර දිශාවේ රන් පහන් දල්වනවා. මෙයයි මගේ සැලසුම.

ත්‍රිවේදයෙහි විශිෂ්ටයෝ වූ බ්‍රාහ්මණයන් විසින් සාදන ලද ශුභ නැකත් වේලාවක විශ්වකර්ම විසින් සාදන ලද මංගල පෝරුව මත සිද්ධාර්ථ කුමරුන් හා යශෝධරා දේවියත් අභිෂේක කරවන ලදී. සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක්‌ පෙරුම් දම් පිරූ ලෝකයේ උසස්‌ම තලයට යැමට උපන් කුමරුගේ පෙර පින මහා බලවත් විය. මේ පෝරුවේ සතර දිශාවේ තිබූ දොරටු හතරේ ධෘතරාෂ්ඨ, විරූඨ, විරූපාක්‍ෂ, වෛශ්‍රවණ යන සතර වරම් දෙවිවරු සිටියහ. බ්‍රාහ්මණ වේශයක්‌ මවාගත් සක්‌ දෙවිඳුන් විසින් ඊශ්වර දෙවිඳුන්ගේ රන් කර`ඩුවක සඟවා තිබූ දිව්‍ය පිරිත් හුය ගෙන යුවති පතීන්ගේ දෙසුළැඟිලි බැන්දේය. සහම්පතී නම් බ්‍රහ්මරාජෝත්තමයා විසින් රන් කෙණ්‌ඩියෙන් පැන් වත් කරමින් දෙදෙනාගේ විවාහ අභිවෘද්ධිය සැලසූහ. නවග්‍රහයන්ට අයිති දෙවියෝ වියනට අරක්‌ ගත්හ.

ඉහත සඳහන් කරන ලද්දේ අදත් විවාහ මංගල චාරිත්‍රවලට අයත් කියමන්වල සඳහන් වන කරුණු අනුව සිදුවූ බව කියෑවෙන සිදුහත් කුමරුගේත් යශෝධරා දේවීන්ගේත් පෝරුව පිළිබඳ ඉතිහාසයයි.

මේ අනුවම හෙළ බෞද්ධ ජනතාව තම මංගල චාරිත්‍ර වෙනුවෙන් නිර්මාණය කෙරෙන පෝරුව සාදන්නේ මෙම ආකෘතිය සැලකිල්ලට ගැනීමෙනි. පෝරුවේ චාරිත්‍ර කරන හා කරවන සියලු දෙනා මෙහි සැබෑ අරුත දැනගැනීම වැදගත් වේ. පෝරුවක්‌ සාදන්නේ කුමන කරුණු පදනම් කරගෙනද යන්න ඉහත කරුණු මත පැහැදිලි කර ගත හැකිවේ. කෙසේ නමුත් ඉහත පරිදි සතර දිශාවටම දොරටු නැතත් තම ආර්ථික තත්ත්වය හා පහසුකම් අනුව මංගල පෝරුව සෑදීම උක්‌ත කරුණුවලට ගැළපෙන සේ සිදුකළ යුතු වේ.

පෝරුවක්‌ නිර්මාණය කරන විට අනුගමනය කළ යුතු ක්‍රමය පහත කවිවලින් පැහැදිලි කරගත හැකි වේ.

දෙදෙව් ලොව දෙවි පැමිණ සිදුහත් කුමරු හට සෑදූ විලසිනා
දිග සොළොස සහ පුළුල පසළොස ලෙසට සරිලන විලසිනා
ළඟට පැමිණෙන අපල උවදුරු දුරු කරන හැටි දැනගෙනා
ම`ගුල් පෝරුව සදපු යුවති පතිට හැම සැප පතමිනා

සතර දොරටුව තොරණ සතර ද සිව්වරම් දෙවි රුවතනා
නොහැර නවග්‍රහ මඬල මුදුනේ එරන් කොත තබමින් මනා
කෙසර ගජලතා සියපත් දිලෙන සඳකඩ පහණිනා
පවර දෙවි විමනක සිරිය දී උඩුවියන් බැ`දි විලසිනා

එමැද පෝරුව තනා සහලින් බුලත් හුරුළුත් තබමිනා
සුවඳ දුම්දී කලස්‌ දල්වා සබෙන් අවසර ලැබගෙනා
නැමඳ තෙරුවන් සහිත ලොවපල් සුරිඳු පිහිටේ පතමිනා
මෙසඳ මනාල යුවළ පෝරුවෙ තබනු සුබ නැකතින් ගෙනා

ඉහත පරිදි ශාස්‌ත්‍රානුකූලව නිර්මාණය කරගත් මංගල පෝරුවට යුවතිපතීන් නංවනුයේ මඟුල් බෙර හා ජයසක්‌ හඬ මධ්‍යයේ ශුභ නැකතිනි. චරිතය ආරක්‍ෂා කරගත් තරුණියකට හා තරුණයකුට ස්‌වකීය අනාගත යුග ජීවිතයට තුණුරුවන්ගේ ආශිර්වාදයත්, දෙවියන්ගේ රැකවරණයත්, වැඩිහිටි හිතමිත්‍රාදීන්ගේ ශුභ ප්‍රාර්ථනාත් මධ්‍යයේ මංගල පෝරුවකට නැගීමට ලැබීම ස්‌වර්ණමය අවස්‌ථාවක්‌ වන්නේය. මේ සෑම චාරිත්‍රයක්‌ම බුදු දහම හා බැ`දී පවතින්නේය.

පෝරුවේ චාරිත්‍රවලදී සිදු කෙරෙන චාරිත්‍ර වාරිත්‍ර පහත සඳහන් පරිදි වනවා ඇත.

1. මනාල යුවළ පෝරුව අසලට කැඳවාගෙන ඒම. මනාලයාගේ වම් පසින් මනාලිය සිටින සේ පෝරුව දෙපස දෙදෙනා සිටුවීම.

2. සතර වරම් දෙවියන් වෙනුවෙන් පුන්කළස්‌වල පහන් දල්වා සුවඳ දුම් දීම.

3. පන්සිල් ගැනීම, දේවතාරාධනා කීම.

4. යුවළ පෝරුවට නැංවීම සුබ නැකතින් සිදු කෙරේ.

5. තැළි පිළි පැළඳවීම පිළිබඳ චාරිත්‍රය.

6. හ`ගල හුරුළු දීම.

7. කැවුම් කිරිබත් අනුභවය.

8. මනාලියගේ මවට කිරිකඩ හේලය පිදීම.

9. මනාලියගේ පියාට හා මනාලයාගේ මවුපියන්ට බුලත් දීම.

10. අතපැන් වත් කිරීම.

11. ජයමංගල ගාථා කීම.

12. වැඩිහිටියන්ට බුලත් දීම. (අවස්‌ථානුකූලව)

13. පෝරුවේ කියමන්.

14. පෝරුවෙන් යුවළ බැස්‌සවීම.

15. පොල් බිඳීම.

මෙහිදී මංගල චාරිත්‍ර මෙහෙයවීම,අෂ්ටක කීම කළ යුත්තේ කීමෙහි බිනීමෙහි චතුර භාවය ඇති සිල්වත් ගුණවත් වැඩිහිටියකු විසිනි.

01. තැළිපිළි පැලඳවීම හා මුදු මාරුකිරීම.

පළමුවෙන්ම මනාලයා විසින් රැගෙන ආ අළුත් ඇඳුම් කට්‌ටලයක්‌ මනාලියට අන්දවනු ලැබේ. අවස්‌ථානුකූලව එය ඉනවටේ දවටා මුදුමාල පැළදීම කළද ස්‌වාමිපුරුෂයා විසින් තම ශක්‌ති පමණින් භාර්යාවට ඇඳුම් පැළඳුම් ආභරණ ලබා දිය යුතු යයි සි`ගාලෝවාද සූත්‍රයේ බුදු හිමියන් වදාළ දහම සනාථ කරවන්නේය.

02. හඟල හුරුළු දීම

මෙයින් අදහස්‌ කරන්නේ ප`ඩුරු (මුදල්) සහිත බුලත් හුරුළු මනාලයා විසින් මනාලියට දීමත්, ඇය විසින් ඒවා පෝරුව මත පතිත කිරීමත්, මනාලිය විසින්ද එවැනි පඬුරු සහිත බුලත් මනාලයාට දීමත්, මනාලයා ද ඒවා පෝරුව මත පතිත කිරීමත්ය. මෙසේ බුලත් හුරුළු හතක්‌ මනාලයා විසින් මනාලියට දෙන අතර අන්තිම බුලත් හුරුල්ල වෙනුවට එකක්‌ මනාලිය විසින් ආපසු දෙනු නොලැබේ. මෙම චාරිත්‍රය සිඟාලෝවාද සූත්‍රයේ එන සදිසා නමස්‌කාරය ප්‍රදර්ශනය කෙරෙන අවස්‌ථාවකි.

ස්‌වාමියා ධනය සපයා භාර්යාවට දෙන බවද, පෝරුවේදී මනාලයා දෙන බුලත් හුරුළුවලින් කියෑවේ. ඒවා එසේම ප්‍රවේශම් කර අවශ්‍ය අවස්‌ථාවන්හිදී ආපසු දෙන බව මනාලිය ආපසු දෙන බුලත් හුරුළුවලින් කියෑවෙන අතර හයවරක්‌ම එසේ මාරු කරන්නේ ගිහියෙකුට හය ආකාරයකට යුතුකම් ඉටුකිරීමට සිදුවන බැවිනි.

1. සංඝයා වහන්සේට, විහාරස්‌ථානයට

2. මවුපියන්ට

3. ගුරුවරුන්ට

4. අඹුදරුවන්ට

5. හිතමිතුරන්ට

6. දැසි දසුන් හෙවත් සේවකයන්ට

යන පාර්ශවයන්ට අවශ්‍ය අවස්‌ථාවලදී විය පැහැදම් කිරීමට, යුතුකම් ඉටු කිරීමට මෙයින් දෙදෙනාම එක`ග වෙති. අන්තිම බුලත් හුරුල්ල මනාලියගෙන් ආපසු නොලැබෙන්නේ ස්‌වාමියාගේ අවසරය ඇතිව හෝ නැතිව ධනයෙන් කොටසක්‌ පිනට දහමට යෙදවීමට කටයුතු කරන බව හෙවත් දන් දෙන බවයි. අර්ථය දැනගෙන කරන්නේ නම් මේ චාරිත්‍රය ඉතා වැදගත් බව නොකිව මනාය.

3. වතුර වීදුරුවක්‌ දීම, කැවුම් කිරිබත් අනුභවය.

ආහාර පිළිගැන්වීමට පෙර වතුර බඳුනක්‌ පිළිගැන්වීම කරයි ද නොකරයි ද යන්න ගැන මහෞෂධ පණ්‌ඩිතයන් පරීක්‍ෂාවෙන් සිටි බවත්, අමරා දේවි පළමුව වතුර බඳුනක්‌ පිළිගැන්වූ නිසා එතුමා සතුටු වූ බව උම්මග්ග ජාතකයේ සඳහන් වේ. තවද පිරිසිදු ජලය, පිරිසිදු ආදරය සංකේතවත් කරයි. කැවුම් කිරිබත් අනුභවයේ විශේෂයක්‌ ඇත. තෙරුවන් ගුණ නිසාත්, දේවතාරාධනාකොට ආශිර්වාද කරන තැනකට මස්‌ මාංශ අනුභවය නොගැළපෙන බව කිව යුතු නොවේ. නිර්මාංශ ආහාර පමණක්‌ භාවිත කරනු ලැබේ.

4. කිරිකඩ හේලය දීම

මනාලියගේ මවට කිරිකඩ හේලය දීම මනාලයා විසින් කරනු ලැබේ. මෙහි ප්‍රමාණය කච්චියක්‌ යෑයි සඳහන් වන්නේය. මෙම චාරිත්‍රය මවක විසින් තම දියණියට දුන් කිරි සංකේතවත් කරමින් මවු ගුණයට කරන උපහාරයකි. ඈත අතීතයේ මනාලයකු විසින් මනාලියගේ මවගෙන් දියණියට කොපමණ කිරි දුන්නේ දැයි අසන ලදුව රෙදි කච්චියක්‌ තෙමෙන්නට කිරි දෙන්නට ඇතැයි උදාහරණයකින් පැවසු බව ''කිරිකඩ උපත'' නම් පුරාණ කවි පෙළෙහි සඳහන්ය. එම කවි කිහිපයක්‌ පහත දැක්‌වේ.

ඉමේ බද්ද මහ කප්පේ - සුබහ්ම බ්‍රහ්ම ගාමකේ
ඔක්‌කාක රජ කාලේන - බ්‍රහ්මාභිෂේකං පවත්තතී
ඔක්‌කාක රජ කල - සුබ්‍රහ්ම යයි නම් කළ
නායක බමුණු කුල - තමයි බ්‍රහ්මාභිෂේකය මුල

සුබ්‍රහ්ම කියනා බමුණෙක්‌ එගම සිටිනා
සෝසිලී කියනා බැමිණි කුමරුට දාව උපනා
බ්‍රහ්ම මාලී නම් මව් බැමිණියගේ කුසයෙන්
ඉපිද සොළ සැවිරිදි වෙමින් විසිය එකුමරු සඳෙසෙ වැඩෙමින්

මෙලෙස වැඩෙනා කළ - සරණක්‌ සොයා නිසි කළ
බ්‍රහ්ම නායක මුල - බමුණු කුමරුට පාව දෙන කල
මවු බැමිණි මෙලෙසේ - ඇවිදින් ළඟට නොලසේ
බමුණු කුමරුට මෙසේ - කීය වදනක්‌ මෙලෙස දුක සේ

අනේක දුක්‌ වින්දා - පුතුනුවනි දුව සන්දා
දෙතන කිරි කන්දා - මගෙන් කොපමණ යන්ට ඇද්දා
මා වි`දපු දුක්‌ සේ - දුව ඇති කළේ මලක්‌ සේ
පුතනුනි නෙතක්‌ සේ - මෙමා ඇති කළෙ දුව නිදක්‌ සේ

මවු පියවරුන් හට - දරු දුකට සම වන්නට
උපමා කරන්නට - දෙයක්‌ මේ ලොව ඇද්ද මා හට
මවු පියන්ගේ සිත - සතුටු කළ දරුවන් හට
යස ඉසුරු සම්පත - ලැබේ තිරමැයි දනුව මගෙ පුත

ලිපිය දීර්ඝ වන බැවින් සම්පූර්ණ කවිපෙළ මෙහි සඳහන් කරනු නොලැබේ.

ඉහත කවි ගායනා කළ පසුව කිරිකඩ හේලය මවට ද, බුලත් හුරුල්ලක්‌ සහිත ත්‍යාගයක්‌ පියාටද පිරිනමනු ලැබේ.

අතපැන් වත් කිරීම

කිරිකඩ රෙද්ද දීමෙන් පසුව මනාලිය හා මනාලයාගේ දෑඟිලි බැඳ අතපැන් වත් කිරීම සිදුවේ. අත පැන් වත්කොට දන් දීම වෙස්‌සන්තර ජාතකයේ සඳහන් වේ. මෙහිදී භවතු සබ්බ මංගලම් ආදී ගාථාවක්‌ කියමින් ආශිර්වාද කරනු ලැබේ. මෙහිදී මනාලියගේ මාමා යොදා ගන්නා අවස්‌ථා ඇතත් ඊට වඩාත්ම සුදුසු පුද්ගලයා මනාලියගේ පියා ය.

ජයමංගල ගාථා කීම

බාලිකාවන් විසින් ජයමංගල ගාථා කීම ප්‍රසිද්ධ චාරිත්‍රයකි. මෙහි සඳහන් වන්නේ බුදුන් වහන්සේගේ ගුණ ගායනා කර ඒ සත්‍යානුභාවයෙන් යුවති පතීන්ට ජය වේවායි ආශිර්වාද කිරීමයි. ඉන්පසු මනාලයා හා මනාලිය වැඩිහිටි ඥාතීන්ට ආචාර කර සෙත් පිරිත් කියන අතරතුර පෝරුවෙන් බසිනු ලැබේ. මෙහිදී කියනු ලබන බුදු ගුණ සහිත කවියක්‌ පහතින් දැක්‌වේ.

ඝෝරතර ඒ සමර සෙන් බිඳ බුදු වූ ජයසිරියෙන් මඟුල්
නෑර සුර බඹ කරන ඈ සවි සතුන් දිනු බලයෙන් මඟුල්
කාර බැ`දි මේ යුවළ ලබන සෙ සිතා ජයසිරි ශුභ මඟුල්
සාර පද යුග දෙරන මතුයෙහි තබනු මැන වේ ජය මඟුල්

පැයක්‌ හෝ ඊට වැඩි දීර්ඝ වේලාවක්‌ මනාල යුවළ පෝරුව මත සිටුවා ඒ අයටවත්, පැමිණි අමුත්තන්ගේ වැඩි දෙනෙකුටත් නොතේරෙන පාලි, සංස්‌කෘත ආදී භාෂාවකින් ගොරහැඬි ලෙස අෂ්ඨක කීම මේ කාලයට උචිත නොවේ. ඉහත චාරිත්‍ර විධි පැහැදිලි කර දෙමින් විනාඩි 30 - 45 ක්‌ අතර කාලයකදී පෝරුවේ චාරිත්‍ර විධි අවසන් කළ හැකිය. එවිට එය කාගේත් ප්‍රසාදයට හේතුවනු ඇත.


කෑගල්ලේ  සුනිල් කුමාර ගම්ලත්

උපුටා ගැනීම http://iranama.tharunaya.us/show1.php?id=1473572063