නාගවල්ලී ගුරුමෑණියෝ - Nagawalli Gurumaniyo
Hot Kello

Upan Weelawa Nathiwa Anaweki උපන් වේලාව නැතිව අනාවැකි

ජ්‍යොතිෂය ඇසුරින් අනාවැකියක් පළ කරන්නට  පෙර අදාළ පුද්ගලයාගේ කේන්ද්‍ර සටහන පිළියෙල කර ගත යුතුය. ඒ සඳහා අදාළ පුද්්ගලයාගේ උපන් දිනය, උපන් වේලාව  සහ උපන් ස්ථානය අවශ්‍ය වේ. අද දිනයේදී  අප කථාබහ කරන්නට බලා‍පොරොත්තු වන්නේ යම් අයකුගේ උපන් වේලාව නොමැතිව උපන් දිනය සහ උපන් ස්ථානය පමණක්  ඇත්නම් ඔහු ගැන  අනාවැකි ප්‍රකාශ කළ හැකිද යන්න පිළිබඳවය. මෙහිදී යම් අයකුට අනාවැකි ප්‍රකාශ කිරීම සඳහා උපන් ස්ථානය අත්‍යවශ්‍යද යන ගැටලුව  පැනනැගෙන්නට ඉඩ ඇත.  සැබවින්ම සමහර අවස්ථාවලදී උපන් ස්ථානය, උපන් වේලාවටද වඩා අනාවැකි කීමේදී ප්‍රයෝජනවත්  වන බව පෙනේ. උදාහරණ ලෙස ඇමෙරිකා එක්සත් ජනපදයේදී ඉපදුණු සිංහල දරුවකුට කේන්ද්‍රයක් සාදද්දී අප ඒ බව නොදැන ශ්‍රී ලංකාවේ ඉපදුණු දරුවකුයැයි සිතා කේන්ද්‍රයක් පිළියෙල කළහොත් එය සාවද්‍ය වනු ඇත.

යම් අයකුගේ උපන් දිනය සහ උපන් ස්ථානය  පමණක් දන්නේ නම් ඔහුගේ ලග්නය සොයා ගැනීම කිසිසේත්ම කළ නොහැකිය. එනම් යම්  අයකුගේ උපන් දිනය පමණක් දන්නේ නම් ඔහු ඉපදුන දිනයට අදාළව ග්‍රහයන්  පිහිටන භාව තීරණය කළ නොහැකි  වුවද  ග්‍රහයන් පිහිටන රාශි, බොහෝදුරට ආසන්න අංශකයට තීරණය කළහැකි වනු ඇත. කෙසේ වෙතත්  ඉතා ඉක්මනින් රාශි මාරු කරන ග්‍රහයකු වන චන්ද්‍රයාගේ ග්‍රහ මාරුවක් අදාළ උපන් දිනය තුළ සිදුවීමේ ඉඩකඩක් ඇති අතර එසේ සිදුවුවහොත් චන්ද්‍රයා තැන්පත් රාශියෙහි පමණක් වෙනසක් ඇති වනු ඇත. තවද එම දිනය තුළ වෙනත් ග්‍රහයකුගේද ග්‍රහ මාරුවක් ඇත්නම් එම ග්‍රහයින්ට අදාළ රාශීන් වලද  වෙනස්කම් ඇතිවනු ඇත. කෙසේ වෙතත් යම් උපන් දිනයකට අදාළව එම දිනයෙහි මුල් තත්පරය ආරම්භ වන වේලාවට අදාළ කේන්ද්‍ර සටහන නිර්මාණය කිරීමෙන් සහ එම දිනයෙහි අවසාන තත්පරය ගතවන වේලාවට අදාළ කේන්ද්‍ර සටහන නිර්මාණය කර එම දිනයට අදාළව චන්ද්‍රයාගේ හෝ වෙනත් ග්‍රහයකුගේ  ග්‍රහ මරු ඇත්දැයි ඉතා පහසුවෙන් නිගමනය කළ හැකිය.  එසේ චන්ද්‍රයාගේ හෝ වෙනත්  ග්‍රහයකුගේ ග්‍රහ මාරු නොමැතිනම් අදාළ පුද්ගලයාගේ කේන්ද්‍ර සටහනේ සෑම ග්‍රහයකුටම අදාළ රාශීන් ඉතා පහසුවෙන් නිගමනය කළ හැකි වනු ඇත. තවද පෙර කී ජන්මියා උපන් වේලාව නිවැරදිව  නොදැන සිටියද ඔහු උදය වරුවේ ඉපදුන අයකුද සවස් වරුවේ හෝ රාත්‍රි කාලයෙහි ඉපදුන  අයකුද යන්න දැනගැනීමෙන් හෝ ඔහු ඉපදුන වේලාව  ආසන්න පැයට හෝ ආසන්න පැය කිහිපයකට දැනගැනීමෙන් ඔහුගේ උපන් දිනයට අදාළ ග්‍රහයින් සිටින රාශීන් ඉතා පහසුවෙන් හඳුනා ගත හැකි වනු ඇත.  පෙර කී පුද්ගලයාගේ උපත, ආසන්න පැයට දන්නේ නම් සමහර විට ඔහුගේ ලග්නය පවා සොයාගැනීමට හැකි වනු ඇත.  එසේ වුවහොත් ඔහුට අනාවැකි පැවසීම  වඩාත් පහසු වනු ඇත. තවද, සමහර අයගේ උත්පත්ති කේන්ද්‍ර සටහන් අස්ථානගතව ඇති අවස්ථා පිළිබඳව අප අසා ඇති අතර එවැනි සමහර දෙනකුට තම ලග්නය මතක ඇත. ඒ අනුව ලග්නය සහ  උපන් දිනය ආධාර කරගෙන එවැනි  අයකුගේ දළ කේන්ද්‍ර සටහනක්  ඉතා පහසුවෙන් පිළියෙල  කරගෙන ඔහුට හෝ ඇයට ඉතා නිවැරදි අනාවැකි ප්‍රකාශ කළ හැකි වනු ඇත.

ඉහත අප කථාබහ කළ ආකාරයට යම් පුද්ගලයකුගේ උපන් දිනය සහ උපන් ස්ථානය  පමණක් දැනගත් විටද එම පුද්ගලයාගේ උපන් දිනයට අදාළ සෑම ග්‍රහයකුම පාහේ තැන්පත්ව ඇති රාශීන් හඳුනා ගත හැකි වනු ඇත. තවද චන්ද්‍රයා හැර  සෑම ග්‍රහයකුටම අදාළ අංශක ගණන්ද ඉතා ආසන්න ලෙස සොයා ගැනීමට උපන් දිනය දැනගැනීම  තුළින් පමණක් කළ හැකිය. ඒ අනුව භාව ඵලවලට  වඩා රාශි ඵල සහ  ග්‍රහයින්ගේ පිහිටීම් ද ග්‍රහ සංයෝගද පිළිබඳව අවධානය යොමු කරන නාඩි ‍ජ්‍යෙතිෂ්‍ය වැනි විෂයයන්  තුළින්  අනාවැකි පැවසීමේදී උපන් දිනය පමණක් දැන ගැනීමෙන් වුවද  විශිෂ්ට ලෙස අනාවැකි පැවසිය හැකි බව මා අසා ඇත. එමෙන්ම සාම්ප්‍රදායික ‍ජ්‍යොතිෂ සිද්ධාන්තවලට අනුවද රාශි ඵල පිළිබඳව සඳහන් කර ඇති නිසා සහ ජන්මියාගේ  උපන් දින සටහන පමණක් දැනගැනීමෙන් ග්‍රහයන් තැම්පත්ව ඇති රාශීන් දැනගතහැකි නිසා  උපන් දින සටහන පමණක්  දැනගැනීමෙන්  සාම්ප්‍රදායික ‍ජ්‍යොතිෂයෙන්ද  අනාවැකි පැවසිය හැකි වනු ඇත. මීට අමතර ලෙස උපන් දින සටහනක් පමණක් යොදා ගෙන අදාළ පුද්ගලයාගේ කේන්ද්‍ර සටහන තුළ ඇති ග්‍රහ සංයෝග, ග්‍රහ යෝග ඉතා පහසුවෙන්  තීරණය කළ හැකි වනු ඇත.  සාම්ප්‍රදායික ‍ජ්‍යොතිෂ්‍ය සිද්ධාන්තවල ග්‍රහ සංයෝග, ග්‍රහ යෝග ආධාර කරගෙන අනාවැකි පැවසීම පිළිබඳව ග්‍රහ සිද්ධාන්ත ඇති නිසා උපන් දිනය පමණක් ආධාර කරගෙන අනාවැකි පළකළ හැකි වනු ඇත.  තවද උපන් දිනය ආධාර කරගෙන සිංහාසන යෝග, විපරීත රාජ යෝග, ධර්ම කර්මාධිපති රාජයෝගය වැනි ප්‍රබල යෝග හඳුනා ගත නොහැකි වුවද කාලසර්ප යෝගය චන්ද්‍ර අධියෝගය වැනි යෝග හඳුනාගත හැකිවනු ඇත. එමෙන්ම අනාවැකි ප්‍රකාශ කිරීමේදී සමහර අවස්ථාවල සාම්ප්‍රදායික  ‍ජ්‍යොතිෂ්‍ය සිද්ධාන්තවලදී චන්ද්‍ර කේන්ද්‍රය, සූර්ය කෙන්ද්‍රය යොදාගෙන අනාවැකි පවසන අවස්ථාද ඇති බව පෙනේ. ජන්මියාගේ උපන් දිනය පමණක් දැනගැනීමෙන් වුවද චන්ද්‍ර කේන්ද්‍රය  සහ සූර්ය කේන්ද්‍රය ඉතා පහසුවෙන් නිර්මාණය කළ හැකි වනු ඇත.

මීට අමතර ලෙස උපන් දින සටහන ඇති ඉලක්කම් භාවිත කරමින් මීට කලින් ලිපියකදී සඳහන් කළ පරිදි ජන්මියාට අනාවැකි ප්‍රකාශ කළ හැකි වනු ඇත. එමෙන්ම අංක විද්‍යාත්මක සිද්ධාන්ත භාවිත කරමින්, ෙදෙව අංකය, මුදුන් අංකය දින අංකය වැනි ශිල්පීය ක්‍රම භාවිත කරමින් ජන්මියකු පිළිබඳව අනාවැකි ප්‍රකාශ කරන්නට ද ඔහුගේ  හෝ ඇයගේ  උපන් දිනය පමණක් ප්‍රමාණවත් වනු ඇත. ඒ අනුව පැවසිය හැක්කේ යම් ජන්මියකුගේ උපන් වේලාව නොදැන උපන් දිනය සහ උපන් ප්‍රදේශය දැනගැනීම මගින් පමණක් නොව ඔහුගේ හෝ ඇයගේ උපන් දිනය පමණක් දැනගැනීමෙන් වුවද  එම ජන්මියා පිළිබඳ යම්තාක් දුරකට අනාවැකි ප්‍රකාශ කළ හැකි බවයි.

උපුටා ගැනීම http://iranama.tharunaya.us/show1.php?id=1463720868