Advertisement
Hot Kello

 perani ahara ratawa yali arabamu - පැරණි ආහාර රටාව යළි අරඹමු

ලොව පවතින විශ්මයජනක වස්‌තුව ශරීරයයි. මෙහි එදිනෙදා පැවැත්මට ආහාර අත්‍යවශ්‍ය ය. මේ මගින් සියලු සත්ව, ශාක ඇතුළු සජීවි වස්‌තුවලට අවශ්‍ය ශක්‌තිය ලබා දේ. ‘ආරෝග්‍යා පරමා ලාභා’ යන බුදු වදනට අනුව මෙලොව එළිය දකින සෑම සත්ත්වයකු ම ලබා ගන්නා උතුම් ම ලාභය ‘නිරෝගීභාවය’ යි. සත්වයාගේ ආයුෂ, වර්ණය, සැපය, බලය, ප්‍රඥාව, සතුට, පෘෂ්ඨිමත් බව යනාදී කායික මානසික තත්ත්ව ලැබෙනුයේ ආහාරයෙනි. ලොව පවත්නා සියලුම සංස්‌කෘතිවලත් නව වෛද්‍ය විද්‍යා ක්‍රමවලත් මූලික අභිප්‍රාය වන්නේ යහපත් සෞඛ්‍ය තත්ත්වයක්‌ ඇති කර නිරෝගී සම්පන්න ජනතාවක්‌ බිහි කිරීමයි.

ආහාරයෙන් ජන විඥානය ද සංස්‌කෘතිය ද සකස්‌ වන බව පිළිගත් විද්වත් මතයයි. රටක ජනතාව දෛනිකව ආහාරයට ගන්නා දෙයින් ඒ ජනතාව ගේ සංස්‌කෘතිය ද ජීවන රටාව ද ලොවට ප්‍රකාශ වෙයි. දුප්පත්-පොහොසත්, බාල-තරුණ-මහලු, උගත්-නූගත් හෝ ග්‍රාමීය-නාගරික යනාදී කිසිදු භේදයකින් තොර ව මෙලොව එළිය දකින සියලු ජීව සමූහයාට ම පොදු වූ ‘කුසගින්න’ නිවාලීමට සමත් බලවත් ම දෙය ‘ආහාර’ වෙයි. ‘මුළු’ යනු ආහාරය සඳහා සම්භාව්‍ය සාහිත්‍යයේ සඳහන් වචනයකි. මුළුගේ, මුළුතැන්ගේ යනුවෙන් ආහාර පිසින ස්‌ථානය නම් කිරීම අනුව මෙකී කරුණ වඩාත් සනාථ වේ.

සාම්ප්‍රදායික ආහාර සංස්‌කෘතිය

‘බත්’ වූ කලී ශ්‍රී ලාංකේය ජනතාව ගේ ප්‍රධාන ආහාරයයි. බොහෝ විට අපි ප්‍රධාන ආහාර වේල් තුනට ම හෝ ඉන් දෙකකට අනිවාර්යයෙන් ම බත් එකතු කර ගනිමු. කිරිබත්, කහබත්. සුදුබත්, රතුබත්, එළවඵ බත්, ඕලු හාල් හා නෙලුම් ඇට සමග පිසූ බත් ආදී වශයෙන් විවිධාකාරයට බත සකස්‌ කර ගන්නා අතර ඒවායේ රසය ද විවිධ ය. මේ ආහාර ඖෂධීය ගුණයෙන් මෙන් ම විශේෂ සුවඳකින් ද යුතු විය. කිරිබත විවිධ ක්‍රමවලට පිසින ලදී. ඉඹුල් කිරිබත, මුං ඇට කිරිබත, එළකිරිවලින් පිසූ කිරිබත ආදී වශයෙනි. දෙවියන් සදහා මුරුතැන් බත පිළියෙල කිරීම වෙනස්‌ ම අයුරකින් සිදු කරන ලදී.

විවිධාකාරයෙන් සාදන ලද ‘කැඳ වර්ග’ එකල ජනප්‍රිය ආහාරයක්‌ විය. ඇට කැඳ, ලුණු කැඳ, පොල්කිරි කැඳ, බැදි හාල් කැඳ, අල කැඳ මේ අතරින් කිහිපයකි. බොහෝ විට ගසක කොළ කොටා යුෂ සමග පොල් කිරි මිශ්‍ර කොට තනනු ලබන කැඳ පෝෂණ ගුණයෙන් අනූන ය. ගොටුකොළ, පොල්පලා, හාතවාරිය, වැල් පෙනෙල, ඉරමුසු, කොහිල, එළබටු කොළ ආදියෙන් රසවත් කැඳ පිළියෙල කර ගන්නා ලදී.

පිටි කැඳ සඳහා ඇට වර්ග හෝ පිටි යොදා ගන්නා ලදී. සව් කැඳ, කුරක්‌කන් පිටි කැඳ, කිතුල් පිටි කැඳ මේවා අතරින් කිහිපයකි. අල කැඳ සඳහා කොඬොල් අල හා රට අල යොදා ගන්නා ලදී. බොහෝ විට අසනීප තත්ත්ව සඳහා බැදි හාල් කැඳ සාදන ලදී. මේ ආකාරයෙන් විවිධ ක්‍රමවලට සකස්‌ කර ගත්තා වූ ආහාර එකල සමාජයේ බෙහෙවින් ජනප්‍රිය විය.

පරිසරය සමග මනා සබැඳියාවකින් කටයුතු කළ ගැමියා එහි සියලු පල ප්‍රයෝජන භුක්‌ති වින්දේය. ඇට, අල, ඵල, ගෙඩි, ද`ලු, කොළ ගසෙන් කෑමට ගත්තේ ය. මේවා විවිධාකාරයෙන් සකස්‌ කර ගැනීමේ තාක්‌ෂණ ක්‍රමවේද ද ඔවුන් සතු විය. කොළ අමුවෙන් සම්බෝලයක්‌ ලෙස සාදා කෑමට ගනීඳ මලවා වෑංජනයක්‌ ලෙස ද පිස ගනී.

කලවම් මැල්ලුම

සාම්ප්‍රදායයේ එන කලවම් මැල්ලුම ඖෂධීය වශයෙන් ද බත රස කර ගැනීමට ද යොදා ගනු ලබයි. මීට අමතර ව මුකුණුවැන්න, ගොටුකොළ, රණවරා, කැබැල්ල දලු, තම්පලා, සාරණ, කෙකටිය දලු, කැරැන් කොකු ආදිය විවිධාකාර අයුරින් පිස ගන්නා ලදී. ඉස්‌සන්, කකුළුවන්. දැල්ලන් සඳහා විෂ මැරීමේ ක්‍රමයක්‌ ලෙස මුරුංගා කොළ දමා වෑංජන ය රසවත් කර ගන්නා ලදී.

තේ හෝ කෝපි වෙනුවට සකසා ගත් විවිධ පාන වර්ගයන් එකල බෙහෙවින් භාවිත විය. බෙලි මල්, රණවරා මල්, පොල්පලා, හාතවාරිය හා ඉරමුසු පාන වර්ග ලෙස තම්බා බීමට සකස්‌ කර ගන්නා ලදී. මේවා ද ඖෂධීය ගුණයෙන් අනූන විය.

කෑම පිසීම සඳහා භාවිත කළ හැලි වළං මැටියෙන් නිම කර ගන්නා ලදී. හට්‌ටි, මුට්‌ටි, නෑඹිලි, මැටි කෝප්ප යනාදී වශයෙන් විවිධාකාරයෙන් ආහාර සකස්‌ කිරීම සඳහා අවශ්‍ය වන අයුරින් නිර්මාණය වී තිබිණ. මීට අමතරව කුල්ල, පෙනේරය, කිරිගොට්‌ට, වංගෙඩිය, මෝල් ගහ ඉවුම් පිහුම් සඳහා අවශ්‍ය අනෙකුත් මෙවලම් විය. වට්‌ටි, පෙට්‌ටි, කුරුණි මේ ආහාර කල් තබා ගැනීම සඳහා ද ආහාර සකස්‌ කිරීමේ දී ද යොදා ගන්නා ලද භාණ්‌ඩ අතර විය. මේ ආකාරයෙන් ඒ ඒ කාර්යවලට නියමිත අයුරින් නිමැවුණ විවිධාකාරයේ මෙවලම් මේ ආහාර සංස්‌කෘතිය හා බැඳී පැවති එක්‌ අංගයක්‌ විය.

ආහාර කල් තබා ගැනීම

ආහාර කල් තබා ගැනීමේ සරල තාක්‌ෂණ ක්‍රමවේද ද ගැමියන් සතු විය. ස්‌වාභාවික ක්‍රම ඇසුරින් මේ ආහාර කල් තබා ගත් හෙයින්, එහි පෝෂණ ගුණයට ඉන් කිසිදු හානියක්‌ නොවීය. අවාරයේ දී ප්‍රයෝජනයට ගැනීම පිණිස අතිරික්‌තය මේ ආකාරයෙන් කල් තබා ගන්නා ලදී. අව්වේ වියළීම, විශේෂ ක්‍රමවලට සකස්‌ කර ගැනීමෙන් මෙන් ම විවිධ ආහාර සමග එකතු කිරීමෙන් මෙම ආහාර වර්ග කල් තබා ගන්නා ලදී. කොස්‌, දෙල් වියළා පසුව කෑමට ගන්නා ලද අතර, වැලි යට කොස්‌ ඇට දමා ඒවා කල් තබා ගන්නා ලදී. මාළු කල් තබා ගැනීම සඳහා විවිධ ක්‍රම භාවිතා කරන ලදී. ඒ අතරින් ජාඩි, උම්බලකඩ, ඇඹුල් තියල්, කරවල ආදිය විශේෂ වේ.

අතිරික්‌ත මාළු අස්‌වැන්න නාස්‌ති නො වී රැකගැනීමටත්, රට අභ්‍යන්තරයේ ජනයාට ප්‍රයෝජනයට ගැනීමටත් මෙබඳු ක්‍රම නිසා හැකි විය. රාත්‍රියට ඉතිරි වන බත ඉවත නොදැමූ ගැමියා එයට ජලය ස්‌වල්පයක්‌ එක්‌ කොට තබා පසුදින උදෑසන බත නෑඹිලියෙහි දමා හොඳින් පොඩි කොට එයට සිහින්වට ලියාගත් රතුලූනු, අමු මිරිස්‌, ගම්මිරිස්‌ ස්‌වල්පයක්‌ එක්‌ කොට ‘දියබත් ‘ සකස්‌ කරගන්නා ලදී. මෙය ඉතා රසවත් ආහාරයක්‌ වන අතර පෝෂණ ගුණයෙන්ද අනූන විය.

රා, මී රා පැසීම වැළැක්‌වීම සඳහා එයට හල් පොතු මිශ්‍ර කරන ලදී. කල් තබා ගැනීමට මී පැණිවලට ගම්මිරිස්‌ එකතු කරයි. වියළි මිරිස්‌ වල සුදුලූනු බහා තැබීමෙන් බොල් වීම වළකයි. මස්‌ වර්ග කල් තබා ගැනීම පිණිස දුමේ එල්ලීම, වියළීම, ලූණු දමා තැබීම හා මී පැණිවල බහා තැබීම සිදු කරන ලදී. ජල පිරිසිදුකාරකයක්‌ ලෙස ඉඟිනි ඇට භාවිත කරන ලදී.

මේ ආකාරයෙන් සාම්ප්‍රදායික ආහාර සංස්‌කෘතිය හා සබැඳුණු සාරධර්ම පද්ධතියක්‌ එකල ජනතාව සතු විය. ආහාරවල පෝෂණ ගුණය සුරකිමින් විවිධ අයුරින් නිර්මාණය කර ගත් මේ ආහාර පරිසර-හිතකාමී විය. වීවලට අමතර ව තල, ඉරිගු, මෙනේරි ආදී වෙනත් ධාන්‍ය වර්ග ද වගා කරනු ලැබී ය. මේවාද විවිධ අයුරින් සකසා කෑමට ගැනිණි. කුරක්‌කන් තලප, හැලප, රොටී, පිට්‌ටු ආදී විවිධාකාරයෙන් සාදා ආහාරය සඳහා එක්‌ කර ගනු ලැබී ය. මේ ධාන්‍ය වර්ග සකස්‌ කර ගැනීමේ දී ඒ හා බැඳුණු විශේෂ ක්‍රම ද විය. කුරක්‌කන් ඇඹරීම සඳහා නිර්මිත කුරහන් ගල උචිත අයුරින් සාදා තිබිණ. මෙනේරි කෙටීමේ දී කොහු දමා කොටනු ලැබී ය. එදිනෙදා ආහාර රසවත් කර ගැනීම පිණිස විවිධ අයුරින් සකසා ගන්නා ලද කුළු බඩු භාවිත කරන ලදී. ලුණු, රම්පේ, කරපිංචා, අමුමිරිස්‌, කරාබු නැටි, කරදමුංගු, කුරුඳු, ගොරකා, ඉගුරු, සුදුලූනු, උඵහාල්, අබ, දුරු, මිරිස්‌ කුඩු, ගම්මිරිස්‌, කහ යනාදිය සමග තුන-පහ දමා ආහාර රසවත් කර ගන්නා ලදී.

අතීතයේ දී නම අලුත් අවුරුදු කෑම මේසය සැරසුවේ වැඩි මිලක්‌ නොවන ගමේ ගෘහණියන් අතින් හැදෙන රසයෙන් ගුණයෙන් පිරුණු දේශීය කෑම වර්ගවලිනි. කිරිබත්, කොණ්‌ඩ කැවුම්, කොකිස්‌, අතිරස, මුං කැවුම්, මුං ගුලි, ආස්‌මී, දොදොල්, අග්ගලා, අලුවා ආදී ආහාර සෑම නිවසකම සකස්‌ විය. ඒ හා බැඳුණු සිරිත් විරිත් රටාවක්‌ ද පැවතිණි. නැකතට අනුව තෙල් තාච්චිය ළිප මත තැබීම, සෑම ආහාර වර්ගයකින්ම අග්‍ර කොටස බුද්ධ පූජාව සඳහා වෙන් කොට තැබීම ආදිය ඉන් සමහරකි.

සෘජුව බටහිරකරණයට නතු ව පැවතුණු ආහාර ඒකාධිකාරය ක්‍රමයෙන් සාම්ප්‍රදායික ආහාර වට්‌ටෝරු වෙතට පරිවර්තනය වීමක්‌ මෑතකාලීනව සිදුවිය. මුද්‍රිත හා විද්යුත් මාධ්‍ය ඔස්‌සේ ජනප්‍රිය කරවන ලද ආහාර පිසීමේ කලාව ශීඝ්‍රයෙන් ජනතාව තුළ මුල් බැස ගැනීම මෙයට හේතුව විය හැකි ය. වර්තමාන ගෘහණියන් විසින් බොහෝ විට ආහාර පිසීම කරදරකාරී කාලය කා දමන්නක්‌ ලෙසට අර්ථගන්වා ගෙන සිටීමෙන් සාම්ප්‍රදායික ආහාර වට්‌ටෝරු මුළුතැන්ගෙයින් විසිවිණි.

අනෙක්‌ කරුණ වනුයේ ඔවුනට සාම්ප්‍රදායික ආහාර සකස්‌ කිරීමේ ලා නොදැනුවත් භාවයයි. මෙවැනි කාරණා හේතු කොට ගෙන දේශීය ආහාර පාන වෙනුවට පහසුවටත් ලේසියටත් සකස්‌ කර ගත හැකි විදේශීය ආහාර පාන ශ්‍රී ලාංකික මු`ඵතැන්ගෙය ආක්‍රමණය කළේ ය.

නාගරික සමාජය තුළ ගැමි ආපනශාලා සංස්‌කෘතිය බෙහෙවින් නගරකරණයට හසු ව ඇති කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පවතින ආපනශාලා බටහිර ස්‌වරූපයෙන් ඉදි වී ජනතාව අතර ජනප්‍රියතාවට පත් විය. එහෙත් මෑත- කාලීන ව මේ ආපනශාලා වෙත සාම්ප්‍රදායික ගැමි බවක්‌ ආරෝපණය කරවීමෙන් පාරිභෝගිකයා ආකර්ෂණය කර ගැනීම කෙරෙහි වැඩි අවධානයක්‌ යොමු කරවන බව පෙනේ. ඇමෙරිකාව, එංගලන්තය ආදී බටහිර රටවල පැවති විවිධ බටහිර නාම පුවරුවලින් සැරසී සිටි මේවායෙහි නම ද ක්‍රමයෙන් වෙනස්‌වීමකට බඳුන්වීගෙන යන අයුරක්‌ පෙන්වයි.

ඇඹුල, ගමේ කඩේ, කොස්‌ කඩේ, අපේ කඩේ, ආදී ලෙස මෙම නාම පුවරු ක්‍රමයෙන් දේශීය බවට මාරු වෙමින් යන බවක්‌ පෙනේ. දේශීය බව-සිංහල ඌරුව මනාව ඉස්‌මතු වන අයුරින් කෑම වර්ග මේසය මත පිළියෙල කොට තිබෙන්නේ කුල්ල, අතුල්පත්, වට්‌ටි හා මැටි වළං මත අතුරන ලද නෙලුම් කොළ හෝ කෙසෙල් කොළ මත ය. මේස ඇතිරිල්ල වෙනුවට පොල් අතු වලින් ආවරණය කරන ලද මේසය යොදා ගෙන ඇත. තව ද, ආපනශාලා තුළ ආහාර පිළිගැන්වීමේ රටාව ශීඝ්‍ර වෙනසකට බඳුන් වී ඇත.

කුළුබඩු

මෙයින් පාරිභෝගිකයා මදකට හෝ මනසින් ගමට රැගෙන යයි. එතෙක්‌ නගරාශ්‍රිත ව පැවති ඒකාකාරී ජීවන රටාවෙන් මිදී මඳකට හෝ සිතින් ගමේ කෑම වේලක සුවඳ විඳ ගනිමින් මනස සංතර්පනය කර ගැනීමට මේ මගින් පාරිභෝගිකයාට ඉඩ කඩ සැලසේ. ආහාර වර්ග අතර පොළොස්‌ ඇඹුල, කෙසෙල්මුව මාළුව, මාළු ඇඹුල් තියල්, නෙලුම් දඬු මාළුව, අගුණකොළ මැල්ලුම, කිරිකොස්‌ මාළුව, තුඹ කරවිල මාළුව, පොළොස්‌ මැල්ලුම ආදී විවිධාකාර අයුරින් සකස්‌ කරන ලද දේශීය ආහාර වර්ග ප්‍රමුඛත්වයක්‌ ගනී.

පාරිභෝගිකයා වෙත මේ ආහාර පිළිගන්වනු ලබන්නේද ඊටම සරිලන අයුරිනි. කුඩා වට්‌ටියක්‌ මත කෙසෙල් කොලයක්‌ හෝ නෙලුම් කොළයක්‌ අතුරා ඒ මතට ආහාර පිළිගන්වනු ලැබේ. ආහාර බෙදීම සඳහා භාවිත කරන්නේ පොල්කටු හැන්දකි. මේ නව ආහාර සංස්‌කෘතියෙන් කලක්‌ ගමේ ගොඩේ යෑයි කියා සමාජයෙන් බැහැර කළ දේශීය දේවල් නැවතත් ජනතාව වෙත ළං කරගනිමින් සිටින බව පෙනී යයි.

කිසිදු වගවිභාගයකින් තොරවම බටහිරින් එන සියලු දේ අන්ධානුකරණයෙන් වැළඳ ගත් ශ්‍රී ලාංකිකයා වර්තමානයේ දී එයින් ලැබුණු අතුරු පලවලින් වෙහෙසට පත් වී නැවතත් තමන්ගේ උරුමය සොයා යැමට වෙහෙසෙන අයුරක්‌ දක්‌නට ලැබේ.

නාගරික සමාජය තුළ නව ආරක ආහාර සංස්‌කෘතියක්‌ මුල් බැස ගැනීම වර්තමාන ආර්ථික රටාව තුළ ස්‌වාමියාත්, භාර්යාවත් රැකියාවක යෙදීම අනිවාර්යය අංගයක්‌ බවට පත්ව ඇත. බිරිය ද උදේ රැයින් නැඟිට රැකියාවට ගිය පසු නිවසට පැමිණෙන්නේ රෑ බෝ වී ය. මහත් වෙහෙසට පත් වී ඇති නිසා ඉක්‌මනටත් පහසුවටත් පිළියෙල කරගත හැකි වට්‌ටෝරුවක්‌ වර්තමානයේදී නිර්මාණය වී ඇත. නිවසේ ශීතකරණය මේ ආහාර ගබඩාවේ භාරකරුවා ය. බටහිර රටවල මෙන් වර්තමාන නාගරික ගෘහණියෝ ද සතියටම අවශ්‍ය පරිදි ආහාර සකස්‌ කොට අධි ශීතකරණයෙහි තබති. අවශ්‍ය විටක අවශ්‍ය ආහාරය ශීතකරණයෙන් එළියට ගෙන රත් කොට කෑමට ගනිති.

මීට අමතරව පහසුවෙන් සකස්‌ කළ හැකි නූඩ්ල්ස්‌, එළවඵ බත්, පරිප්පු වෑංජනය, පාන් දෛනික ආහාරය බවට පත් වී ඇත. තට්‌ටු නිවාස වල වෙසෙන නාගරික ගෘහණියන් හට පොල් සම්බෝල ඇඹරීම සඳහා ඇඹරුම් ගල් නොමැත. එහෙයින් මෙම සම්බෝලයේ රසය ගුණය මෙන්ම එහි වර්ණයේද වෙනසක්‌ පවතී. හොදින් ලූනු, මිරිස්‌, උම්බලකඩ දමා පොල් සමග අඹරා ගත් සම්බෝලය වෙනුවට කපන ලද ලූනු, මිරිස්‌ කුඩු දමා අතින් අනා ගත් සම්බෝලය වර්තමාන ගෘහණියන්ගේ ආහාර වට්‌ටෝරුවේ ඇත.

ටින් ආහාර

ස්‌වභාවික අයුරින් නොව කෘත්‍රිම වර්ණක, රසකාරක යෙදූ කල් තබාගැනීමේ ද්‍රව්‍ය සමග වෙළෙඳපොළට එන මෙම ටින් මාළු ආහාරයට ගැනීම තුළින් විවිධ ලෙඩ රෝගවලට ගොදුරුවීම විරල නොවේ.

ශීතකරණයෙහි ගබඩා කර තබා අවශ්‍ය විටකදී බැද ආහාරයට ගත හැකි පරිදි කලින් පිස සකස්‌ කරන ලද කට්‌ලට්‌, රෝල්ස්‌ වැනි ආහාර අද වෙළෙඳ පොළේ බෙහෙවින් දක්‌නට ලැබේ. මේ ආහාරයන් ගෘහණිය විසින් ලේසියටත් පහසුවටත් නිරතුරුව ම භාවිතා කරයි. සමහර ක්‌ෂණික නූඩ්ල්ස්‌වල වියළන ලද මස්‌, එළවළු කැබලි එක්‌ කොට අවශ්‍ය පමණට සකස්‌ කර ගැනීමට හැකි පරිදි වෙළෙඳපොළට නිකුත් කොට ඇත. අවශ්‍ය වනුයේ උණු වතුර ස්‌වල්පයක්‌ පමණි. ‘විනාඩි දෙකක්‌’ වැනි ඉතා කෙටි කලක්‌ තුළදී ආහාරය සරිකර ගත හැකිය. මෙවැනි ක්‌ෂණික නූඩ්ල්ස්‌ සමග තිබෙන විවිධ රස කාරක ශරීරයට ඉතා අහිතකරය. එහෙත් ඒ බව දැන දැන ම පහසුව සහ ඇබ්බැහිකම නිසා ම මෙවැනි ආහාර ගැනීමට පෙලඹෙති. මීට අමතරව ආහාර වර්ග පිස ගැනීමට හැකිවන පරිදි විකිණීමට තිබේ. නිදසුනක්‌ ලෙස සති පොළක අගුණ කොළ වැනි ලිවීමට අපහසු කොළ වර්ග ඉතා සිහින්වට ලියා විකිණීමට ඇත. අවශ්‍ය වනුයේ ගෙදර ගෙන ගොස්‌ තෙල් දමා මැල්ලුම සකස්‌ කර ගැනීම පමණකි. අමු කජු ද මේ ආකාරයෙන් ම විකිණීමට තිබේ.

කොස්‌ පොළොස්‌ වැනි දේ ද ඒ ආකාරයෙනි.පොළොස්‌ මැල්ලුමට සරිලන අයුරින් ඉතා සිහින්වට ලියා විකිණීමට තබා තිබේ. මීට අමතරව ඉවීමට හැකි පරිදි කෑලි කපා සකස්‌ කරන ලද පොළොස්‌ කැබලි වශයෙන් විකිණීමට ඇත. මෙවැනි සාම්ප්‍රදායික ‘ගමේ කෑම’ සඳහා වර්තමාන ගෘහණියට වැය කිරීමට කාලයක්‌ නොමැති තරම්ය. අනෙක්‌ අතට අවශ්‍ය පරිදි එම කටයුතු වල යෙදීමට තරම් පළපුරුද්දක්‌ ද ඇය සතුව නොමැත. එබැවින් විකිණීමට තබා ඇති මඳක්‌ සකස්‌ කළ ආහාර මිලදී රැගෙන විත් තම ආහාර වේල සකස්‌ කර ගැනීමට වර්තමාන කාර්යබහුල ගෘහණිය පෙලඹී තිබීම අරුමයක්‌ නොවේ.

කරුණු මෙසේ වුවද වර්තමානයේ අප මිලදී ගන්නා ආහාර බොහොමයක පෝෂ්‍යදායී බව නොමැති බව මෑත කාලීන පර්යේෂණ තුළින් සනාථ විය. කුසගිනි නිවා ගැනීම සඳහා කුමන හෝ දෙයක්‌ ආහාරයට ගැනීම සාර්ථක පිළියමක්‌ නොවේ. ආහාර සමග බැඳි පෝෂණ ගුණයන් පවතී. එ නිසා ආහාරයට ගත යුතු වන්නේ මොනවාදැයි යන්න පිළිබඳවත් අප තුළ දැනුවත් භාවයක්‌ තිබීම අත්‍යවශ්‍ය කරුණකි. අප ගන්නා කුමන ආහාරයක්‌ හෝ වේවා එය ගුණාත්මක බවින් සහ පෝෂණයෙන් යුතුවීම නිරෝගී ජීවිතයකට මග පාදයි.

නමුත් වර්තමාන තරගකාරී වෙළෙඳපොළ තුළ ප්‍රධානතම සාධකය වන්නේ ‘මිල’ යි. පාරිභෝගිකයා පුරුදු වී සිටින්නේ මිල සැසඳීමට ය. අඩු මිලට ඇති නිෂ්පාදනවලට තිබෙනුයේ වැඩි ඉල්ලුමකි. මේ නිසාම ලාභයම අපේක්‌ෂා කරන මහා පරිමාණ ව්‍යාපාරිකයෝ ගුණාත්මක බවින් අඩු නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කරමින් සිය මඩිය තරකර ගනිති. කුමන හෝ දෙයක්‌ කෙසේ හෝ පාරිභෝගිකයාගේ ඇඟේ ගැසීමට සෑදී පැහැදී සිටින කූට වෙළෙඳුන්ගෙන් කෙසේවත් පෝෂ්‍යදායී ආහාර බලාපොරොත්තු විය නොහැකිය.

ක්ෂණික ආහාර

ටින් මාළු වර්තමාන සමාජයේ කල්තබා ගන්නා ආහාර අතර ප්‍රමුඛ වේ. ටින් මාළු ආහාරයට ගැනීමේදී යම් අවදානමක්‌ද පවතින බව පර්යේෂණවලට අනුව සොයා ගෙන ඇත. මිනිස්‌ සිරුරට අහිතකර බැක්‌ටීරියා වර්ග මෙබඳු නිෂ්පාදනවල වර්ධනය වීමට තිබෙන ඉඩකඩ වැඩිය. ‘ක්‌ලෝස්‌ටීඩනම් බොටුලිනා’ නමැති බැක්‌ටීරියාව එ අතරින් ප්‍රධානය. මේ බැක්‌ටීරියාව ශරීරගත වීම හේතුවෙන් සිහිමද ගතිය ඇති වීමේ අවදානමක්‌ පවතී.

මස්‌ පිණිස ඇති කරන සත්ත්වයන්ට (ගවයන්, කුකුළන්, ඌරන්, බැටඵවන්) ප්‍රතිජීවක ඖෂධ ලබා දීම හේතුකොටගෙන මිනිසුන් තුළ මර්දනයට අපහසු සුපිරි බැක්‌ටීරියාවන් නිර්මාණය වන බව ඇමරිකා එක්‌සත් ජනපදයේ කෙරුණු පරීක්‌ෂණ මාලාවකදී පෙනී ගොස්‌ ඇත. මෙවැනි මස්‌ වර්ග පිටරටින් බෙහෙවින් ආනයනය කරන බව නොරහසකි. කෙසේ වුවද මෙවැනි ආහාර වර්ග දීර්ඝ කාලීනව භාවිතා කිරීම තුළින් ස්‌ථූලතාව, දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘද රෝග බහුල වීමට ඉවහල් වේ.

විවිධ ‘කෘත්‍රිම රසකාරක’ යොදා නිපදවනු ලබන ආහාර වර්ග රාශියක්‌ වෙළෙඳපොළෙහි දැකගත හැක. සෝයා බෝංචි පෝෂණ ගුණයෙන් අනූන ආහාරයක්‌ බව සත්‍යයකි. නමුත් වර්තමානයෙහි එය යොදාගෙන නිපදවනු ලබන කෘත්‍රිම රසකාරක අඩංගු සෝයා නිෂ්පාදන වලින් අපේක්‌ෂා කරන ප්‍රතිඵල ලැබේද යන්න ප්‍රශ්නයකි. සෝයා නිෂ්පාදන විවිධ කෘත්‍රිම වර්ණකාරක හා රසකාරක මගින් විකෘති කොට ඇති බව පෙනේ. දැල්ලො ඩෙවල්, චිකන් ඩෙවල්, මෂ්රූම් ඩෙවල්, සෝයා පොළොස්‌ ඇඹුල, සෝයා ඇඹුල් තියල් ආදී විවිධාකාර අයුරින් කෘත්‍රිම රසකාරක මඟින් සෝයා ආහාර වෙළෝදපොළට නිකුත් කොට තිබේ.

ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික ආහාර වට්‌ටෝරු මෙලෙස විකෘති කොට කෘත්‍රිමව එහි රසය දැනවීම මෙහි අරමුණයි. මේවායෙහි බහුලව අඩංගු වන ‘මොනොසෝඩියම් ග්ලුටමේට්‌’ රසායනිකය මිනිස්‌ සිරුරට අහිතකර වන අතර පිළිකා සෑදීම කෙරෙහි බලපානු ලබයි. මීට අමතරව කෘත්‍රිමව සකස්‌ කළ විවිධ නූඩ්ල්ස්‌ වර්ග වර්තමාන වෙළෙඳපොළෙහි බහුලව දැකිය හැකිය. මේවායෙහි පවතින රසයට වහවැටී දීර්ඝකාලීනව පරිභෝජනය කිරීම තුළින් විවිධාකාර අතුරු ආබාධවලට වැඩිිටියන් පමණක්‌ නොව කුඩා දරුවන් ද ලක්‌ වීම ජාතියේ අවාසනාවකි. කලින් පිසින ලද කට්‌ලට්‌, රෝල්ස්‌වලට අමතරව විවිධ රසයන්ගෙන් යුතු ‘සොසේජස්‌’ වර්ග ආහාරයට ගැනීම තුළින්ද දරුවන් සථූලතාවයෙන් යුතු වීමට මෙන්ම වෙනත් අතුරු ආබාධයන්ට ද ලක්‌ වන බව මෑතකදී කරන ලද පර්යේෂණ තුළින් සනාථ වී ඇත.

කෙසේ වුවද වර්තමාන සමාජය තුළ ක්‍රම ක්‍රමයෙන් ‘දේශීය ආහාර’ වෙත යළි නැඹුරු වීමේ ප්‍රවණතාවක්‌ ද දක්‌නට ලැබේ. කුරක්‌කන් පිටි යොදා සෑදූ ආහාර වර්ග ජනප්‍රිය වීම හා රතු කැකුළු බත් වැනි ආහාර ජනතාව අතර මෑත කාලීනව වඩාත් ප්‍රචලිත විය. හේතුව බටහිර ආහාර පසුපස ගොස්‌ බටහිරින් පැමිණි සුපිරි ලෙඩ රෝග ඔවුන් පසුපස හඹා එමය. සුපිරි ආහාර පාන මෙන්ම සුපිරි ලෙඩ රෝග රැසක්‌ද මෙම ආහාර සමගම අපහට උරුම විය. මෙවැනි වාතාවරණයක්‌ තුළ දේශීය ආහාර පාන කරා නැඹුරුවීමේ වැඩි ප්‍රවණතාවක්‌ වර්තමානයෙහි දක්‌නට ලැබේ.

‘සිය රට දේ සිරි සැප දේ’ යන්න වඩාත් අර්ථගන්වමින් අවට පරිසරය හා බද්ධ වෙමින් බෙහෙවින්ම ශාකමය ආහාර මත යෑපෙමින් දිවි ගෙවූ ලාංකිකයාගේ ආහාර පරිභෝජන රටාව තුළින් රසයත්, ගුණයත් ඇති වන අයුරින් හා ශරීරයට හිතකර වන පරිද්දෙන් මනා සේ පිළියෙල කර අනුභව කිරීම යන විශිෂ්ට සංස්‌කෘතික ලක්‌ෂණයන්ට වර්තමාන ලාංකිකයා හුරුවිය යුතු6ය. එතෙක්‌ ‘දේශීය ආහාර සංස්‌කෘතියෙහි’ වටිනාකම ලාංකිකයාට අහිමි වනු ඇත.

විශ්ම ලෝකය වෙබ් අඩවිය ඇසුරිනි