Rukshan Jayathilaka Gurukam Advertisement

Baba Ekka Wahanee Yanna Kalin Sithanna බබා එක්ක වාහනේ යන්න කලින් සිතන්න

 

ළදරු අසුන තියෙන්නේ පෙනුමට නොවේ, ආරක්ෂාවට!

ඉතාම කුඩා කිරිකැටි බිලිඳුන් ඔබ අතේ තබාගෙන වාහනයේ පසුපස ආසනයේ ගෙනයන්න. ඉදිරි ආසනයේ ගෙනයාම පසු ආසනයේ ගෙනයාමට වඩා අවදානම වැඩියි. ඇත්ත වශයෙන්ම බොහෝ ළදරු ආසන, කිරිකැටි බිලිඳුන් පවා ආරක්ෂිතව ගෙනයාම සඳහා නිර්මාණය කර ඇත. තවද baby sling ,front carrier මගින් දරුවාව ඔබේ ගතට රඳවාගෙන යාම කල හැකියි. නමුත් මාස 8 ට පමණ පසු, දරුවාට ආසනයක් අවශ්‍ය වේ.

  • මාස 6 සිට අවු 3 / 6 දක්වා දරුවන් ගෙන යා යුත්තේ වාහනයේ “පසු ආසනයකට” හොඳින් සවිකළ ළදරු ආසනයකයි. දරුවාගේ උස අවම වශයෙන් අඩි 4 ක් වනතුරු විශේෂිත ආසනයක අවශ්‍යතාවය අවධාරණය කර ඇත.
  • වයස 6 සිට 12 දක්වා “බූස්ටර් අසුනක් “ පසු ආසනයක සවිකළ හැක. එසේ නැතහොත්, දරුවා පසු ආසනයේ ආසන පටි මැනවින් පළඳවා ගෙනයා යුතුය.
  • කුඩා දරුවකු වැඩිහිටි ආසනයක තබා එම ආසන පටි පළඳවා ගමන් කරවීමෙන්, දරුවාට අවශ්‍ය ආරක්ෂාව නොලැබේ. රිය අනතුරකදී, එලෙස ගමන් ගන්නා දරුවකුගේ අභ්‍යන්තර අවයව වලට සිදුවන හානි වලක්වා ගත නොහැකියි. එමෙන්ම ආසන පටිය යටින් දරුවා බිම වැටී හානි විය හැකියි. 

 

දරුවාට දෙන නොදෙන දේ නුවණින් යුතුව තීරණය කරන්න 

කිසිවිටකත් රියදුරු ආසනයේ, රිය පදවන ඔබගේ උකුල මත දරුවා රැගෙන නොයන්න. දරුවා සමග එකට වාහනය පැදවීම අමනෝඥ ක්‍රියාවක්. එය ඔබත්, දරුවාත්, අන් මගී ජනතාවත් යන සියලු දෙනාගේ ජීවිත දරුණු අවදානමකට ලක් කිරීමක්.

අපේ බොහෝ දරුවන්, (විශේෂයෙන් පුතුන්) වාහනයේ ඉදිරි අසුන ඉල්ලීම අරඹන්නේ ඉතා කුඩා වයසේ සිටයි. මෙහිදී තම දරුවාට මුල සිටම සිය අසුන වටහා දීම සහ ඔවුන්ගේ ඉල්ලීම් නිසි කළමනාකාරිත්වයෙන් බැහැර කරවීම ඔබගේ වගකීමක්. 

ගමනක් යනවිට, වාහනය තුල හිටගෙන යාමද ඉතාම අනතුරුදායකයි. එමෙන්ම ගමන අතරතුර වාහනය තුල ආසන මාරු කර ගැනීමද අවදානම්. ඉතින් කිසිම විටක ඔබේ දරුවන්ට එලෙස කිරීමට ඉඩ දෙන්න එපා. එක වරක් හෝ ඔබ මෙවැනි හැසිරීමකට ඉඩ දුනහොත්, එය දිගු කාලීන පුරුද්දක් කරගැනීමට ඉඩ ලබා දීමක් බව මතක තබා ගන්න.

දරුවන් වාහනයෙන් එලියට හිස හෝ අත දමාගෙන යාම නිතරම පාහේ දකින දෙයක්. මෙයද ඉතා භයානක ක්‍රියාවක්. තවද, හිරු සෙවිල්ල (sun roof) තුලින් හිස දමාගෙන යාමද අනතුරකට අත වැනීමක්.

 

ආරක්ෂාකාරී පිළවෙත් සහ නීති ගැන දැනුවත් වන්න 

ආසියානු රටවල්වල, බොහෝ දරුවන් රිය අනතුරු වලට මුහුණ දීමට ප්‍රධානතම හේතුවක් වන්නේ, මෙවැනි ආරක්ෂාකාරී පියවර නොසලකා හැරීමයි. එමෙන්ම, යාවත්කාලීන ලෙස මාර්ග නීති රීති ප්‍රතිසංස්කරණය නොවීමත් සුරක්ෂිත බව තහවුරු කරන උපාංගවල මිල අධික බව හා ඒවා සුලභ නොවීමත්, අනෙකුත් හේතු වලින් කිහිපයක්.

ත්‍රී රෝද රථවල දරුවන් තනිව ගමන් කරවීම, පාසල් වෑන් රථවල,එක රථයකට දරාගත නොහැකි තරම් දරුවන් ගණනක්, අනාරක්ෂිත ලෙස ප්‍රවාහනය කිරීම, දුම්රිය, බස් රථ වැනි පොදු ප්‍රවාහන මාධ්‍ය වල දරුවන්ගේ ආරක්ෂාව පිලිබඳ කිසිඳු යටිතල පහසුකමක් නොතිබීම ආදිය පිළිබඳව බලධාරීන් කිසිඳු අවධානයක් යොමු කර නොමැති වීම ශෝචනීයයි නේද? දියුණු වන රටක් ලෙස, අපේත් අප දරුවන්ගේත් ආරක්ෂාව ගැන මීට වඩා සැලකිය යුතු කාලය එළඹ ඇතිබව මාතෘ අපගේ ස්ථාවරයයි.

දරුවන් අපගේ අනාගතයයි. මල් වැනි ඔවුන් සුරැකීම සහ ඔවුනට හැකි උපරිමයෙන් පහසුකම් සැලසීම අපගේ පරම වගකීමයි! 

වෛද්‍ය දේවිකා ජයසේකර