Rukshan Jayathilaka

Bawanawee Wasi භාවනාවේ වාසි Health Sinhala

 

භාවනාව එවක සිටම භාවිතා වූයේ මිනිසාගේ ආධ්‍යාත්මිකතාවය පිළිබඳව ගැඹුරු අර්ථයක් ලබා ගැනීමටයි. අද වන විට ලෝකයේ විවිධ රටවල මිනිසුන් විසින් තමාගේ පෞද්ගලික ජීවිතය මගින් සහ වෘත්තීමය ජීවිතය මගින් ඇති වන ආතති ස්වභාවය දුරුකර ගන්නට මේ භාවනා ක්‍රම සිදු කරනවා.
අපි අද මේ ලිපිය මගින් බලමු භාවනාව ආධ්‍යාත්මික චිකිත්සාවක් ලෙස යොදා ගෙන අපට සෙත සලසාගත හැකි ආකාර කිහිපයක් පිළිබඳව.

 

1.      ඕනෑම ස්ථානයක භාවනා කරන්නට පුළුවන්.

 

භාවනාවේ තිබෙන විශාලතම වාසිය වන්නේ ඕනෑම ස්ථානයක ඕනෑම වේලාවක සිතින් භාවනාවේ යෙදීමට හැකි වීමයි. ඔබ බස් රථයක සිටියත්, වෛද්‍යවරයෙකු මුණගැසෙන්නට පෝලිමක සිටියත් නැත්නම් ඔබ මාර්ගයක ඇවිදිමින් සිටියත් ඔබට පුළුවන් මනස ඒකාකාරී කර භාවනාවේ යෙදෙන්න. මෙමගින් ඔබේ සිතට නැගෙන අනවශ්‍ය ආතති තත්වය ලෙහෙසියෙන්ම මගහරවා ගන්නට පුළුවන්. ඒ වගේම, ඔබ සෑම දිනකම විශේෂයෙන්ම නිදාගන්නට ප්‍රථමයෙන් භාවනා ක්‍රමයක් සිදු කරන්න හුරුපුරුදු වන්න. එයින් ඔබේ මනසේ ඇති ආතතිය ඉවත්කර ගන්නට පුළුවන්.

 

2.      චිත්තවේගාත්මක දියුණුවක් වර්ධනය වීම.

 

ඔබ දවස තුල සිදුකරන වැඩ ප්‍රමාණයත් සමග ඔබේ සිතෙහි ධාරණය වන කරුණු ප්‍රමාණය වැඩි වී යම්තාක් දුරට ආතතිමය තත්වයකට පත්වන්නට පුළුවන්. කෙසේ වුවත් ආධ්‍යාත්මික චිකිත්සාවක් ලෙස භාවනාව යොදාගැනීමෙන් ඔබට ඉතා හොඳ ප්‍රතිපල අත්කර ගන්නට පුළුවන් කම තිබෙනවා.
මෙමගින් අත්වන විශාලතම වාසිය තමයි චිත්තවේගාත්මක දියුණුවක් වර්ධනය වීම. එනම්,
·         සෘණාත්මක සිතුවිලි තුරන් වීම
·         තම ආත්ම විශ්වාස වර්ධනය වීම
·         සිතෙහි නව යථාදර්ශනයන් ඇතිවීම
·         යථාර්ථයට සාර්ථකව මුහුණ දී එදිනෙදා කාර්යයන් සාර්ථකව ජයගැනීමට ශක්තිය ලැබීම
ඔබත් නිතර භාවනාවේ යෙදෙන්න. එවිට ඔබට මෙවන් ධනාත්මක සිතුවිලි සිත තුල වර්ධනය කරගෙන සාර්ථකව ජීවත් වන්නට අවස්ථාව උදා වේවි.

 

3.      සෞඛ්‍යය තත්වය වර්ධනය වීම.

 

සෞඛ්‍යය අධ්‍යයනයන් විසින් භාවනාවෙන් අත්වන ප්‍රතිලාභ පිළිබඳව තවමත් ගැඹුරු අධ්‍යයනයන් සිදුකරමින් සිටිනවා. විවිධ ලෙඩ රෝග සඳහා ප්‍රතිකාර ලබන රෝගීන් විශාල ප්‍රමාණයක් භාවනා ක්‍රම වලත් නිරත වනවා.
උදාහරණයක් ලෙස විවිධ රටවල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් හට භාවනා ක්‍රම සිදු කරන්නත් කාලය වෙන්කර තිබෙනවා. විදේශ රටවල විවිධ වාර්තා මගින් හෙළිකරන කරුණු වලට අනුව දිගුකල් පවතින වේදනා වලින් පීඩා විදින පුද්ගලයින්, විශාදය තත්වයෙන් පීඩා විදින පුද්ගලයින්, රාත්‍රී නින්ද නොලැබෙන පුද්ගලයින්,අධි රුධිර පීඩනයෙන් පීඩා විදින පුද්ගලයින් සහ පිළිකා රෝගීන් ඇතුළු විවිධ රෝග ඇති වූ පුද්ගලයින් භාවනා කිරීම මගින් සහනයක් සලසා ගන්නා බව සඳහන් කරනවා. ඔවුන් වැඩිදුරටත් පවසන්නේ රෝගී තත්වයක දී ඖෂධ සමග භාවනා ක්‍රම සිදු කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල අත්කර ගත හැකි බවයි.“The Lakes Treatment Center” වෛද්‍ය මධ්‍යස්ථානය මේ සඳහා හොඳ උදාහරණයක් ලෙස සඳහන් කරන්නට පුළුවන්.

 

4.      විවිධ වර්ගයේ භාවනා සෛලීන්

 

භාවනාවේ තවත් වටිනා වැදගත් කමක් තමයි විවිධ ස්වරූප මගින් භාවනාව සිදු කරන්නට පුළුවන් වීම. ඇතැම් පුද්ගලයින් සතිපට්ඨාන භාවනා ක්‍රම වැනි භාවනා ක්‍රම සිදුකර මනස දියුණු කරගෙන සිත සැහැල්ලු කරගන්නවා. ඒ වගේම, ඇතැම් පුද්ගලයින් භාවනාව ශාරීරික ක්‍රියාකාර කමක් ලෙස යොදාගෙන භාවනාවේ නියැලෙනවා.
උදාහරණයක් ලෙස “tai chi”, යෝගා වැනි ශාරීරික අභ්‍යාස වල නියැලෙන අතරවාරයේ හුස්ම පාලනයක ද නිරත වෙමින් මෙය භාවනාවක් ලෙස සිදුකරනවා.
ඔබ තෝරාගන්න භාවනා ක්‍රමය කුමක් වුවත් එය ඔබේ ආධ්‍යාත්මික චිකිත්සාව ලෙස භාවිතා කර සිතත් කයත් වර්ධනය කරගෙන භාවනාවෙන් ලැබෙන වාසි කෙටි කලක් තුල ලබාගන්න.