Piyasena Guruthuma පියසේන ගුරුතුමා kallange selfe

Dahadiya Damima දහඩිය දැමීම

 

අපි සෑම කෙනෙක්ටම දහඩිය දමනවා. නමුත්, දහඩිය දැමීමටත් නොයෙක් හේතු තිබෙනවා. පුද්ගලයාගෙන් පුද්ගලයට දහඩිය දැමීමේ ස්වරූපයත් වෙනස් වනවා. ඇතැම් අයට දහඩිය නොදමා දිගු වේලාවක් යම් ක්‍රියාවක් සිදුකරන්නට පුළුවන්. නමුත් සමහර පුද්ගලයින්ට මේ තත්වය සම්පූර්ණ වශයෙන්ම වෙනස් වනවා. ඔබට දහඩිය දමන සෑම අවස්ථාවකම ශරීරයේ ඇති ඛනිජ සැළකිය යුතු ප්‍රමාණයක් පිටවී යනවා. ඒ වගේම, යූරියා වැනි විෂ සහිත සංඝටකත් දහඩිය දැමීම මගින් ශරීරයෙන් ඉවත්වී යනවා.
දහඩිය දැමීම නිසා ඇතිවන අනෙත් ගැටළුව තමයි දහඩිය දුඟඳ හැමීම. මෙයත් ඔබ විසින්ම කෙසේ හෝ පාලනය කළ යුතු කරුණක්.
දහඩිය පිටවීම සාමාන්‍ය ක්‍රියාවලියක් වුවත් අධික ලෙස දහඩිය පිටවීම “ hyperhidrosis ”ලෙස හඳුන්වන සෞඛ්‍යය ගැටළුව වනවා.
නිතර දහඩිය දැමීමට මුල් වන පොදු හේතු හයක් අද අපි ඔබට පවසන්නම්…

 

01. උණුසුම සහ ආර්ද්‍රතාවය

 

අප අවට ඇති පරිසරයේ උෂ්ණත්වය වැඩිවීමත් සමගම අපේ ශරීරයේ ඇති මිලියන ගණනක් වූ දහඩිය ග්‍රන්ථි සක්‍රීය තත්වයට පත් වී සමේ ඇති සිඳුරු හරහා වැඩි වශයෙන් දහඩිය වැගිරීම ආරම්භ වනවා. සම මත ඇති දහඩිය වාෂ්ප වීමත් සමග සමට සිසිලසක් දැනෙනවා. නමුත් වාතයේ තෙතමනය ඇති දිනයන් හී සම මත ඇති දහඩිය වාෂ්ප වීම සෙමින් සිදුවන නිසා අපට යම් ආකාරයේ ගැටළුවක් ඇතිවනවා.
අධික ලෙස දහඩිය දැමීම සහ දහඩිය දුඟඳ ඇතිවීම නවතා ගැනීමට ඔබට පුළුවන් වෛද්‍යවරුන් විසින් නිර්දේශ කළ දහඩිය දුඟඳ නාශකයක් භාවිතා කරන්නට. ඒ වගේම, සැහැල්ලු ඇඳුම් පැළඳීමේනුත් ඔබට පුළුවන් දහඩිය දැමීම පාලනය කර ගන්න.

 

02. අධික ලෙස ව්‍යායාම වල නිරතවීම

 

ව්‍යායාම මගින් ශරීර අභ්‍යන්තරයේ උණුසුම් වීමේ ක්‍රියාවලිය වේගවත් කරනු ලබනවා. ඔබේ අත් වලට සහ පාද වලට ව්‍යායාම සිදුකිරීමේ දී ඔබට අධික ලෙස දහඩිය දමනවා. ඉතින් මේ නිසා ශරීරය විසින් අභ්‍යන්තර උණුසුම යටපත් කරගන්නට දහඩිය දැමීම වේගවත් කරනවා.
ව්‍යායාම සිදුකරන අතර තුර අධික ලෙස දහඩිය දැමීම පාලනය කිරීමට ඔබට පුළුවන් සිසිල් වටපිටාවක් සහිත නිවස තුලට වී සිදුකරන ව්‍යායාම වල නිරත වන්නට.
ඔබට සෑම ව්‍යායාමයක්ම නිවස තුලටම වී සිදුකිරීම ප්‍රායෝගිකව සිදුකළ නොහැක්කක්. එමනිසා, දිවීම් වැනි ව්‍යායාම උදෑසන සහ සන්ද්‍යා කාලයේ දී සිදු කරන්න. ශරීරයට අවශ්‍ය වන තරලයන් දහඩිය සමග පිටවී යන නිසා ඔබ ව්‍යායාම සිදුකරන අතරවාරයේ ජලය වැඩි වශයෙන් පානය කරන්නත් අමතක කරන්න එපා.

 

03. දැඩි හැඟීම් ඇතිවීම “ Strong Feelings ”

 

ඔබේ මනසේ ඇතිවන ආදරය සහ ක්‍රෝධය වැනි විවිධ මානසික මට්ටම් අනුව දහඩිය දැමීම වේගවත් වනවා.
ඔබට ඇතිවන ආදරණීය හැගීම් නිසා ඔබේ අත්ලේ, අත් යට සහ පාද වල දෙපසින් දහඩිය දැමීම ආරම්භ වනවා. ඉතා හොඳ තත්වයේ දුර්ගන්ධ නාශකයක් භාවිතා කිරීමෙන් අත් යට වියළි කර දහඩිය දුඟඳ ඇතිවීම වළක්වා ගන්නට පුළුවන්.

 

04. උණුසුම් සහ සැර ආහාර අනුභව කිරීම

 

මිරිස් සැර වැඩි ආහාර අනුභව කිරීම මගිනුත් නළල සහ උඩු තොල ඇතුළුව ශරීරයේ දහඩිය දැමීම වේගවත් කරනවා. ඔබ උදෑසන තේ හෝකෝපි කෝප්පයක් පානය කිරීමෙනුත් දහඩිය දමනවා ඔබට දැකගන්නට පුළුවන්. කැෆේන් අඩංගු වන පානයන් දහඩිය ග්‍රන්ථි වල ක්‍රියාකාරීත්වය වේගවත් කරනවා.
ඔබට මේ සඳහා සිදුකිරීමට ඇත්තේ සැර ආහාර අනුභව කිරීම තරමක් අඩු කිරීම පමණයි.

 

05. අසනීප තත්වයන්

 

ශරීරයේ උෂ්ණත්වය වැඩිවීම යනු අපේ ශරීරය විසින් ආසාදන තත්වයක් හා සටන් කිරීමේ එක් ආකාරයකි. ශරීරයේ තිබිය යුතු සාමාන්‍ය උෂ්ණත්වයට වඩා සුළු ප්‍රමාණයක් හෝ වැඩි වූ විට ශරීර අභ්‍යන්තරයේ ඇති උණුසුම නැතිකර ගැනීමට ශරීරය විසින් දහඩිය දැමීම ආරම්භ වනවා. උණ ගැනීමේ දී ඇතිවන දහඩිය මෙන්ම දියවැඩියාව ඇති රෝගීන්ගේ සහ පිළිකා රෝගීන්ගේ ශරීර වලිනුත් දහඩිය දමනවා දැකගන්නට පුළුවන්. ඔබේ ශරීරයෙනුත් අසාමාන්‍ය ආකාරයකට දහඩිය දමනවා ඔබට නිරීක්‍ෂණය වනවා නම් වහාම වෛද්‍ය පර්යේෂණයකට යොමු වන්න.

 

06. භාර්භානී භාවය සහ ආර්තවාභාවය

 

කාන්තාවකගේ ගර්භනී සමයේදී හෝමෝන වල විවිධ වෙනස්කම් සිදුවීම නිසා ශරීරයේ රුධිර සංසරණය වේගවත් වනවා. මේ නිසා ශරීරයේ උෂ්ණත්වයත් යම්තාක් දුරට වැඩිවී ශරීරයෙන් දහඩිය දැමීම වේගවත් වනවා.
ආර්තවාභාවය යනු කාන්තාවකට ඇතිවන අවසාන ඔසප් වීමේ කාලයයි.මේ සමයේදී ඊස්ට්‍රොජන් හෝමෝනයේ සිදුවන වෙනස් කම් නිසා ශරීර අභ්‍යන්තරයේ උෂ්ණත්වය වැඩි වනවා. මේ නිසා දහඩිය දැමීමත් වැඩි වනවා. කාන්තාවක් මේ කාලය අතර තුර සිනිඳු වාතය එහා මෙහා ගමන් කරන ඇඳුම් පැළඳීම ඉතාමත් වැදගත් වනවා. ඒ වගේම, ස්නානය කිරීමත් සමග ශරීරයට අවශ්‍ය කරන ජලය ප්‍රමාණයත් පානය කිරීමත් ඉතාමත් වැදගත් වන කරුණක්.