Dammananda Weda Hamuduruwo
Hot Kello

Daruwanta Waladena Pilika දරුවන්ට වැළදෙන පිළිකා රෝග දැන ගමු.

 

“පිළිකාව” අපි තරමක් බියවන වචනයක්. පිළිකා රෝග ඇතිවුන වැඩිහිටියන් පිලිබඳ විස්තර අපිට සාමාන්‍යයෙන් ඇසිය දැකිය හැකි නමුත් දරුවකුට පිළිකා ඇතිවීම නිතර  දෙවේලේ අසන්නට ලැබෙන්නේ නැහැ. එසේ වුවත්,  කුඩා දරුවනුත් විවිධාකාරයේ පිළිකා රෝග වලට ගොදුරු වේ. එලෙස සිදුවන සම්භාවිතාවය සාපේක්ෂව අඩු නමුත්, මේ ගැන දැනුවත් වීම, අවශ්‍ය වෛද්‍ය උපදෙස් නිසි ලෙස, හැකි තරම් ඉක්මනින් ලබාගැනීමට අපට උදව් වනු ඇති.

 

වසරකට ලොව වටා දරුවන් 175,000 ක් පමණ පිළිකා රෝගීන් ලෙස හඳුනා ගනියි. එලෙසම, ලෝකයේ වසරකට පිළිකා රෝග නිසා මියයන දරුවන් සංඛ්‍යාව 96,000 පමණ වේ. ශ්‍රී ලංකාව තුලද, වසරකට පිළිකා රෝග ඇති දරුවන් 400 ක් පමණ හඳුනා ගනු ලබයි. (මහරගම පිළිකා රෝහල් දත්ත 2010)

 

දරුවන්ට ඇතිවන්නාවූ පිළිකා රෝග සඳහා විවිධාකාරයේ හේතු සොයාගෙන ඇති අතර,ඒ තුලින්, ජානගත වෙනස් වීම්, සිගරට් දුම ආඝ්‍රණය කිරීම, ආහාර වල ඇති විෂ සංඝටක ඇතුලත් වීම, එක්ස් රේ සහ වෙනත් විකිරණ වලට නිරාවරණය වීම හඳුන්වා දිය හැකියි.

දරුවන්ට බහුලව වැළඳෙන පිළිකා වර්ග කිහිපයක් හඳුනාගනිමු.

 

·         ලියුකේමියාව  

බහුලවම දරුවනට ඇතිවන පිළිකා වර්ගය මෙයයි. >30% . මෙය රුධිර ඇටමිදුලු හා රුධිර සෛල ආශ්‍රිතව වැළඳෙයි. ඒ අතරින් “ලිම්ෆොබ්ලාස්ටික් ලියුකේමියාව” කුඩා දරුවන්ට වැඩිපුර ඇතිවන තත්වයකි. මෙය වැළඳෙන දරුවන් බොහෝවිට වයස අවු 2 - 4 පිරිමි දරුවන් වේ. 

සන්ධි කැක්කුම්, ශරීර දුර්වලතා, දිගු කලක් නොනවතින උණ, ශරීර ස්කන්ධය අඩු වීම මෙහි රෝග ලක්ෂණ සමහරකි.

 

·         මොලය සහ ස්නායු  ආශ්‍රිතව හටගන්නා ගැටිති වර්ග.

මෙවන් පිළිකා තත්වයන් විවිධාකාරයෙන් ඇති විය හැකියි. ( ග්ලයෝමා, එපෙන්ඩයි මොමා, මෙඩුලෝබ්ලාස්ටෝමා)... ;  මොලයේ හා ස්නායු පද්ධතියේ ගැටිති ඇතිවන ස්ථානය අනුව, රෝග ලක්ෂණද වෙනස් විය හැකියි. හිසරදය , ඇස් පෙනීමේ හෝ කන් ඇසීමේ දුර්වලතා,ශරීරයේ කොටසක් අප්‍රාණික වීම හෝ අපස්මාර තත්වයන් මේ අතර වේ.

 

·         නියුරෝබ්ලාස්ටෝමා 

වයස අවු 5 ට අඩු දරුවන්ට වැළඳෙන මෙය, අධිවෘක්ක ග්‍රන්ථි අනුබද්ධ තත්වයකි.

 

·         විල්ම්ස් ටියුමර්

වකුගඩු සම්බන්ධව ඇතිවන පිළිකා තත්වයක් වන මෙය, වයස අවූ 3- 5 දක්වා දරුවනට වැළඳේ. උදරයේ ගෙඩියක් හෝ ඉදිමුමක් ලෙස මෙය මූලිකව හඳුනා ගැනේ. මීට අමතරව දිගු කාලීනව ඇති උණ, උදර වේදනා සහ කෑම අරුචිය, රෝගී දරුවාට ඇතිවිය හැක.

 

·         ලිම්ෆෝමා  ( වසා ගැටිති)

රුධිර වසා සෛල (lymphocytes) සහ වසා ගැටිතිවල ඇතිවන පිළිකා වර්ගයකි. මීට අමතරව තයිමසය සහ ඇටමිදුලුද ඇතුලත්ව රෝගය වර්ධනය විය හැක. මෙය ප්‍රධාන වර්ග දෙකකි.

  • හොජ්කින්ස් ලිම්ෆෝමා (Hodgkin lymphoma)
  • නොන් හොජ්කින්ස් ලිම්ෆෝමා (Non Hodgkin Lymphoma)

බෙල්ලේ, කිහිලි, ඉකිලි වල විශාලනය වූ වසා ගැටිති ඇතිවීම, බර අඩු වීම, උණ සහ ශරීරය දුර්වල වීම, ලිම්ෆෝමා රෝග ලක්ෂණ වේ. 

 

·         රබ්ඩොමයෝසාකොමා ( මාංශ පේශි ආශ්‍රිත)

 

·         රෙටිනොබ්ලාස්ටෝමා (අක්ෂි සම්බන්ධ )

 

·         අස්ථි ආශ්‍රිත ඔස්ටියෝසාකොමා.

 

අපි හොඳින්ම දන්නා පරිදි බොහෝ පිළිකා මාරාන්තිකයි. නමුත් වැඩිහිටියන්ට වඩා, ළමයිනට වැළඳෙන පිළිකා තත්වයන්ගෙන් 80% ක් පමණම ප්‍රතිකාර සහිත වීම යම්තාක් දුරට සැනසීම ගෙනදෙන තොරතුරක්. බොහෝ දරුවන්ගේ  පිළිකාව හඳුනාගත් පසු අවරුදු 5 දක්වා හෝ ඊට වැඩි කාලයක් දිවි රැකගැනීමට, දැනට පවතින දියුණු වෛද්‍ය තාක්ෂණයට හැකියාව ලැබී තිබේ.

 

·         පිළිකා හඳුනා ගැනීම 

පිළිකා හඳුනා ගැනීමට විවිධ වෛද්‍ය පරීක්ෂණ සිදුකරනු ලබයි. රුධිර පරීක්ෂණ(Cancer Markers ), ස්කෑන් පරීක්ෂණ (අති ධ්වනි තරංග, සීටී, එම්.ආර්.අයි., මැමෝග්‍රැෆි), පටක සහ රුධිරය අන්වීක්ෂ මගින් පරීක්ෂාව (Biopsy, F N A C, PA P)ඉන් සමහරකි. පිළිකාව මුලින් හඳුනා ගැනීම මගින් දරුවන්ගේ දිවිරැකගනීමට ඇති හැකියාව වැඩි වන අතර සමහාර තත්වයන් නිට්ටාවටම සුවකළ හැකිවේ.

 

·         පිළිකා වලට ප්‍රතිකාර  

විවිධ ප්‍රතිකර්ම පිළිකා මැඩ පවත්වා ගැනීමට අනුගමනය කරයි. කීමෝ තෙරපි ( පිළිකා සෛල විනාශ කරන ඖෂධ), රේඩියෝ තෙරපි ( පිළිකා නසන විකිරණ) සහ පිළිකා කොටස්  ඉවත් කිරීමේ සැත්කම් සිදු කිරීමට අද වෛද්‍යවරු සමත් වී තිබේ.  මෙම ඖෂධ හා විකිරණ මගින්, පිළිකා සෛල වලට අමතරව නිරෝගී සෛල යම් ප්‍රතිශතයක්ද විනාශ වී යයි. තවද, අනෙකුත් අතුරු ඵල ඇතිවීමද නොවැලක්විය හැකියි. තදබල අහාර අරුචිය, වමනය, සම දුර්වර්ණ වීම, ශරීරය දුර්වල වීම හා ප්‍රතිශක්තිය අඩු වීම, හිසකෙස් හැලී යාම මින් සමහරකි.

තව තවත් පරීක්ෂණ හා සමීක්ෂණ මේ අංශයෙන් සිදුකරමින්, නොයෙකුත්  ප්‍රතිකර්ම සොයා යමින්, සියලු පිළිකා රෝගීන් වෙත සහන සැලසීමට ලොව වටා විද්‍යාඥයින් යුහුසුළුව කටයුතු කරති. කිසියම් දරුවෙක් ඉහත සඳහන් යම්කිසි රෝග ලක්ෂණයකින් පෙලෙයි නම්, වහාම වෛද්‍ය උපදෙස් කරා යොමු කරවීම ඔබගේ යුතුකම හා වගකීමයි.

- වෛද්‍ය  දේවිකා ජයසේකර