Daruwata Gana Ahara Hadunwa Deema දරුවාට ඝන ආහාර හඳුන්වා දීම

 

ඔබේ දරුවාට මවුකිරි හැර වෙනත් ආහාර හැදින්වාදීමට හොදම කාලය ඔහුගේ වයස මාස හය පසුවූ  විටයි. එම කාලය වන තෙක් දරුවාට අත්‍යවශ්‍ය සියලුම පෝෂණ අවශ්‍යතා මව් කිරි ලබාදීම මගින් පමණක් ලබා දීමට හැකියාව පවතී. මෙයට හේතුව දරුවාගේ ජීරණ පද්ධතිය උපතින් මාස 5ක් පමණ ගතවන තෙක් අර්ධ ඝන ආහාර ලබා ගැනීමට සුදුසු පරිදි වර්ධනය වී නොමැතී වීමයි. වෛද්‍ය මතය වන්නේ මාස හයක් අවසන් වන තෙක් මව් කිරි වලින් පමණක්ම දරුවා පෝෂණය කල යුතු බවයි.

දරුවාට ඔබ මුලින්ම ලබා දිය යුත්තේ “අර්ධ ඝන” ආහාර වේ. අර්ධ ඝන ආහාර හදුන්වා දීමෙන් පසුව ඝන ආහාර හදුන්වා දීම සිදු කෙරේ.

 

මුලින්ම හඳුන්වා දෙන ආහාර

බොහොමයක් දරුවනට ආහාර හදුන්වා දීම පොඩි කරන ලද විවිධ ඝන ආහාර ලබා දීම මගින් සිදුකල හැක. සාමාන්‍යයෙන් බොහෝ විට සැම දෙමාපියෙක්ම ප්‍රථමයෙන්ම තම දරුවාට ලබා දෙනුයේ අඹරන ලද ධාන්‍යමය ආහාරයකි. නමුත් මේ හැරුණ  වෙනත් ආහාර ද්‍රව්‍යද නැත්තේ නොවේ. මෙලෙස දරුවාට ප්‍රථමයෙන් ලබා දිය හැකි  ආහාර අතර හොදින් අඹරන ලද අර්තාපල් අල, නිවිති, කෙසෙල්, කැරට්, යනාදිය  ප්‍රධාන ස්ථානයක් ගනී. ධාන්‍යමය ආහාර මවු කිරි වලින් මිශ්‍ර කර සාදා දීම බහුලව සිදුවේ.

 

අහාර ලබා දෙන ආකාරය

ඔබ ආහාර හදුන්වා දීමේදී ප්‍රථමයෙන්ම දරුවාට කිරි බෝතලය මගින් කිරි ලබා දෙන්න. පසුව ඉතා දියාරුවට/ හොදින් අඹරන ලද ඝන ආහාරය තේ හැදී දෙකක් පමණ ලබා දෙන්න. ඇඹරූ / පිටිකළ ධාන්‍ය ලබා දෙන්නේ නම් එය ප්‍රථමයෙන්ම මව් කිරි සමග මිශ්‍ර කර ලබා දීමත් සිදු වේ. ආහාර ලබා දීම සදහා මෘදු දාරයන් සහිත ප්ලාස්ටික් හැඳි භාවිත කිරීම  මගින් දරුවාගේ විදුරුමහා තුවාල වීම අඩුවී වඩාත් සුරක්ෂිත වේවි. ආරම්භයේදී හැන්දේ අගින් කුඩා ප්‍රමාණ වලින් ආහාර ලබා දීම සිදු කරන්න. ආහාරයට තෙල් හෝ බටර් සුළු ප්‍රමාණයක් එක් කිරීමත් සුදුසුයි. මාස 8 පමණ පසු වන විට බිත්තර සහ මාළු නිතර ආහාරයට එක් කරන්න අමතක කරන්නන එපා. ආහාර වේලෙන් අනතුරුව පලතුරු සහ යොගර්ට් වැනි දේ ලබා දිය හැකියි.

    

එමෙන්ම ඔබගේ දරුවා හැන්දෙන් ආහාර ගැනීම ප්‍රතික්ෂේප කරනවා විවිධ වර්ණයන්ගෙන් යුතු ආහාර (කැරට්, නිවිති, වට්ටක්කා, බීට් රූට් ආදිය) කුඩා කැබලි වලට කපා පෙනෙන්නට සලස්වන්න. එවිට ඔවුන් කුතුහලයත් සමග ආහාරයටත් යොමු වේවි. එවිට ඔහු විසින්ම ආහාර පිලිබදව කැමැත්තක් ඇති වී ආහාර ගැනීම පහසු වේවි. ඔබගේ දරුවාගේ කිරි බෝතලයට කිසිම විටක ධාන්ය එක් කරන්න එපා. එවිට  ඇතැම් විට ඔහු සාමාන්‍ය පරිදි ආහාර ගැනීමකට පුරුදු කරගැනීමට නොහැකි වේවි.

 

මුලදී කෙතරම් ආහාර ලබා දිය යුතුද/ නිතර ලබා දිය යුතුද?

ආරම්භයේදී දවසකට එක් වරක් පමණක් ආහාර ලබා දීම ප්‍රමාණවත් වේවි. එය දරුවාට පහසු සුදුසු කාල වේලාවකදී සිදු කිරීමට යොදාගැනීම වඩාත් යෝග්‍ය වේවි. එම වෙලාව තොරා ගැනීමේදී දරුවා වෙහෙසට පත්ව ඇති අවස්ථාවක් යොදා ගන්න එපා. දරුවා ආරම්භයේදී එතරම් ආහාර ගන්නවා යයි සිතිය නොහැකියි. එමනිසා දරුවාට එම අවස්ථාවට හුරු වීමට කාලය ලබා දෙන්න. ඇතැම් අවස්ථා වලදී දරුවාට ගිලීමට හා සැපිමටද ඇතැම් ආකාරයේ උදව් ලබා දීමට සිදු වේවි.

දරුවා ආහාරයට පුරුදු වූ පසු දවසට තේ හැදී කිහිපයක් ආහාරයට ගන්නා අවස්ථාවට පත් වේවි.  එවිට ඔබගේ දරුවා ගන්නා ධාන්‍යමය ආහාරයේ ජලය එක් කිරීම අවම කර එය තරමක් ඝන තත්වයකට පත් කරවන්න. දරුවා වැඩියෙන් ආහාර ගැනීමට කැමති බව පෙනේ නම් දවසට තවත් ආහාර වේලක් එක් කිරීමට එය හොදම වෙලාව වන්නට පුළුවන්.

මාස 8ක් පමණ වන විට දිනකට වාරයන් දෙකකට පමණ ආහාර ලබා දීම සිදුකල හැකියි.

 

දරුවන්ගේ ආහාර රුචිය

ඔබගේ දරුවාගේ ආහාර රුචිය කෑම වේලෙන් වේලට වෙනස් වීම සිදුවේ. ඒ වගේම හුදෙක්ම දරුවා පිඟානේ ඇති ආහාර අඩක් කෑමට ගෙන ඇති විට ඔබට අනුමාන වශයෙන් සිතීමත් අපහසුයි. ඉතින් ඔබගේ දරුවා ඇති පමණින් කා අවසන් යයි දැනගන්නේ කෙසේද?

ඔබගේ සුරතල් දරුවා ඔබ කෑම හැන්ද ඔහුගේ මුඛය වෙත යොමු කිරීමේදී  ඔහු පිටුපසට ඇල වේ නම්, මුහුණ හැන්දෙන් ඉවතට ගනියි නම්, හැන්ද සමග සෙල්ලම් කිරීමට ආසාවක් දක්වයි නම් හෝ කට ඇරීමට අකමැත්තක් දක්වයි නම් බොහෝ වෙලාවට ඔහු දැනටමත් ඔහුගේ උපරිම ලෙස ආහාර ලබා  ගෙන ඇති තත්වයට පැමිණ ඇතිවා වන්නට පුළුවන්. ඇතැම් විට දරුවා මුඛය විවර නොකරනුයේ තවමත් ඊට පෙර ආහාරයට ලබා ගත් ආහාර දැනට මුව තුල පැවතීම වන්නට පුළුවන්. එමනිසා ඔහු සියලු ආහාර ගිල ඇතිද බැලීමද වැදගත් වෙනවා.

 

මව් කිරි ලබා දීම නැවත්වීම

ඔබ ඝන ආහාර ලබා ගැනීම ආරම්භ කල පසුව තවදුරටත් අවුරුදු 1 පසු වන තෙක්වත් මව් කිරිත් ලබා දීම ඉතා වැදගත්. මෙම කාලයේදී ඔබ රාත්‍රී කාලයේදී මව් කිරි ලබා දීමට පුරුද්දක් කර ගන්න .මව් කිරි වල ඉතා වටිනා විටමින් යකඩ සහ අනෙකුත් විවිධ ප්‍රෝටීන රාශියක් ඇතුලත් වෙනවා. ඝන ආහාර තුලින් මව් කිරි වලින් ලබා ගන්නා සියලුම ආකාරයේ පෝෂ්‍ය පදාර්ථ ලබා දීමට නොහැකියි.