Diyawadiyawa දියවැඩියාව

 

වර්තමානයේ වේගයෙන් ව්‍යාප්තවන ‍බෝනොවන රෝග අතර දියවැඩියාව ඉදිරියෙන් සිටී. දියවැඩියාව හෙවත් මධුමේහය මිනිස් සිරුරේ හිසේ සිට දෙපතුල දක්වා ශරීරයේ සෑම අංගයකටම හානි පමුණුවයි. කටට මධුර රස දැනීම ,අත පය හිරි වැටීම ,අත පය දැවිල්ල , උගුර තොල කට වෙළීම, පිපාසය, අලසබව ශරීරගතව මධුමේහය වැලදී ඇති බවටකරනු ලබන ඉඟි වේ.

එවැනි රෝග ලකෂණ ඔබට තිබේ නම් හැකි ඉක්මනින් සුදුසුකම් ලත් වෛද්‍ය වරයෙකු වෙත යොමු වී රුධිර ගත සීනි ප්‍රමාණය හා මුත්‍රා වල අඩංගු සීනි ප්‍රමාණය පරීක්ෂාකරවා ගත යුතුවේ.

අත පය නොවෙහෙසා සිටීම ද අධික නින්ද දී කිරි ,මස් මාංශ හොදි වර්ග, කිරි වැඩි පුර ආහාරයට එක්කර ගැනීම නිරතුරුව අලුත් සහලේ බත් අනුභවය ප්‍රෙමේහයට හේතු වේ. තුන් දොසින් උපදින ප්‍රමේහය සෙම කෝප කරවන ආහාර විහරණ හේතුවෙන් ම ඇති වේ. ආයුර්වේදයේ ප්‍රමේහ රෝග විස්සක් දක්වා ඇත. එම ප්‍රමේහ රෝග නොසලකා හැරීමෙන් හා ඊට නිසි ලෙස පිළියම් නොකිරීමෙන් කල් යාමේ දී මධුමේහය හෙවත්(ලේ මුත්‍රා දෙකෙහි සීනි පැවැතීම )දිය වැඩියා තත්වය තෙක් පැතිරේ. එය අසාධ්‍ය තත්වයකි.

දියවැඩියා රෝග තත්වයට ආහාර බෙහෙවින් බලපෑම් කරයි. ප්‍රණීත මධුර රස ආහාර පාන දිගින් දිගටම ගැනීම ඒ අතර ප්‍රධාන වේ. ආහාරයේ රස ගුණ වීර්යය පිළිබඳ විමසද්දී, පැණි රස අධික ආහාර, ඇඹුල් රස අධික ආහාර , ලුණු රස අධික ආහාර, මෙන්ම තෙල් අධික ආහාර ද සිසිල් බවින් අධික ආහාර ද දිනපතා අසීමාන්තකව ගැනිම ද ප්‍රමේහ රෝග ඇති කරවයි.

ධාන්‍ය වර්ග ආහාරයට ගනිද්දී අලුත් ධාන්‍ය නොව පැරණි වූ ධාන්‍ය ආහාරයට ගැනීමට හුරුවිය යුතුය. අලුත නෙළාගත් ධාන්‍ය මධුර රසයෙන් යුක්ත වන බැවින් දිගින් දිගට ම ආහාරයට ගැනිම ප්‍රමේහයට හේතුවේ. පස්ගෝරස මෙන්ම තෙත් සහිත ප්‍රදේශයන්හි වෙසෙන සතුන් ගේ මාංශ නිතර ආහාරයට ගැනීම එළකිරි මීකිරි අධි මාත්‍රාවෙන් ගැනීම ,උක් හකුරුවලින් කළ ආහාර මෙන්ම පිටි සහිත ආහාර අහිතකර ය.

ව්‍යයාම නොකිරීම, දහවල් නිදීම(මහලු අයට සහ කුඩා දරුවනට මෙය බල නොපායි.) අලස කම දවසේ වැඩි කාලයක් සැප ආසන යන්නහි හිඳගෙන සිටීම ප්‍රමේහයට හේතු කාරකය.

ශාරීරක රෝග මනසට ද මානසික රෝග ශරීරයට බල පෑම් කරයි. මානසික ආතතිය , යම් සිතිවිල්ලක දිගින් දිග‍‍ටම එල්බ සිටිම වැනි හේතු ද දියවැඩියා රෝගය ඇති වීමට උපකාරිවේ. නිතර නිතර තරහා යෑම ,නිතර ශෝක වීම බයෙන් සිටීම සිත් තැවුල් ආදියට ගොදුරු වීම මෙම රෝග තත්වය ඇතිවීමට බලපාන මානසික හේතූන්ය.

ආගම ධර්මයට අනුව ජීවත්වීම මගින් මානසික හේතු පාලනය කර ගැනීමෙන් අයුර්වේදයෙහි ප්‍රර්ථනා කරනා ලෙස හිතායු සුඛායු සහිතව ජීවත් වීමට අවස්ථව ලැබේ. දිය වැඩියාව පරම්පරාවෙන් පැතිර යන අවස්ථා ද වේ. බෝහො විට ළමයින් අතර දක්නට ලැබෙන මධු මේහ තත්වයට හේතු වන්නේ රෝගය ජාන මගින් පැතිරයාමයි. අධික ස්ථුල භාවයද දිය වැඩියාවට හේතු කාරක ය. සෙම මූලික රෝග තත්වයක් වන මධු මේහය වාපිත් සෙම් යන ත්‍රිදොෂ මූලිකව වර්ග කෙරේ.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ දී මෙම රෝගී තත්වයට ප්‍රතිකාර කරන ආකාර දෙකක් වේ. එනම් ස්ථූල බලවත් ශරීර ඇත්තන් හට අවශ්‍ය පරිදි ආහාර පාලනය කරමින් ප්‍රතිකාර කරන අතර කෘෂ සිහින් සිරුරක් ඇති දුර්වල අයට අගුණ නොවන පෝෂණීය ආහාර දෙමින් ද ප්‍රතිකාර සිදු කෙරේ. ඉන්සියුලින් මත යැපෙන රෝගීන් ට දේශීය වෛද්‍ය ක්‍රමයෙන් ප්‍රතිකාර ලබා ගත හැකිය.

ආහාර විහරණ නිසි ලෙස පවත්වා නොගැනීම .මානසික අවිවේකී භාවය, සිරුරේ වා සෙම් විකෘති වීම, ද මෙම රෝගය ඇති කරවයි. මෙම රෝගී තත්වය හේතුකොට ‍ගෙන මිනිස් සිරුරේ සෑම ඉන්ද්‍රියකම මල රැස් වේ. මේ හේතුවෙන් දියවැඩියා රෝ ගීන් ගේ සිරුරින් අප්‍රසන්න දුර්ගන්ධයක් පිටවේ.

මේ රෝගී තත්වයේදී ඉක්මනින් හිස කෙස් පැසේ. දන්ත මල , කර්ණ මල අක්ෂි මල වැඩේ. ඔවුන්ට අධික ලෙස දහදිය දැමීම ද සිදුවේ. වෙනත් රෝගී තත්වයක් නොමැති නම් දිනපතා නා පිරිසුදුව සිටීම අත්‍යාවශ්‍යය. මෙම රෝගී තත්වයේ දී ශරීරයේ ශක්තිය අඩුවීම, හතිය , ඉක්මනින් නිය කෙස් වැඩීම, ශරීරයේ මාංශ බුරුල් වීම , සීතලට කැමැති වීම, දක්නට ලැබෙන ලක්ෂණයන්ය.

ඊට අමතරව මෙම රෝගීන් අතර පීනස ,මුත්‍රා අධික ලෙස පිට වීම ,පෙනීමේ දුර්වලතා, විකෘති සන්නිවේදනය, ඉක්මනින් වෙහෙස දැනීම, ලේ වල සහ මුත්‍රා වල පවත්නා සීනි ප්‍රමාණය ඉහළ යාම දක්නට ලැබේ. මත්‍රා කහට පැහැ වීම , මුත්‍රා රළු වීම, පෙණ ගතියෙන් යුතුවීම විශේෂ ලක්ෂණවේ. මෙම අවස්ථාවේ දී ඉක්මනින් ප්‍රතිකාර සඳහා යොමු වීම අත්‍යාවශය වේ. නොසලකා හැරීම උපද්‍රව ඇති කරයි.

දියවඩියා රෝගී තත්වයේ උපද්‍රව ලෙස අක්ෂි රෝග ඇති වේ. මෙම රෝගය ඇසට කරනු ලබන හානිය ප්‍රබලය. ඉන් පෙනීමේ දුර්වලතා ඇතිවේ. වකුගඩු වල ක්‍රියා කාරීත්වයට ‍හිතකර නොවන දිය වැඩියාරෝගය ඒවා ක්‍රමයෙන් අකර්මන්‍ය කරයි. වකුගඩුවල කාර්යය නිසි ලෙස සිදු කිරීමට වකුගඩු රෝගියාගේ වකුගඩු සමත් නොවේ.

පාද හිරි වැටීම හේතුවෙන් දෙපා ගල් මුල් මේස පුටු ආදියෙහි වැදීම නොදැනීම හේතුවෙන් එම අවස්ථාවන්හි ඇතිවන තුවාල ‍ෙකරෙහි අවධානය යොමු නොවීමෙන් ‍තුවාල උත්සන්න වේ. දියවැඩියා රෝගීන් ගේ තුවාල සුවවීමේ කාර්යය ස්වභාවයෙන්ම ප්‍රමාද බැවින් දෙපා තුවාල කර ගැනීමෙන් වැළකී ‍සිටිම වැදගත් වේ. මතකය අඩුවීම ද මෙම රෝගයේන් ඇතිවන පීඩාකාරී උපද්‍රවයකි. ස්නායු විකෘතිතා ඇති වීම දියවැඩියාවේ ම උපද්‍රවයක්වේ. මේ හේතුවෙන් ආහාර මාර්ගයේ විකෘතිතා ද ඇති වේ.

අධික ලෙස රාමතෙල් යාම බහුලව දැකිය හැකි අතර ආහාර නිසි ලෙස නොදිරවීම , ආහාර අරුචිය , මල භේදය හෙවත් මල නිසි ලෙස ගන නොවීම, ආහාර මාර්ගයේ ඇතිවන විකෘතිතා ලෙස හඳුනා ගත හැකි ලක්ෂණ වේ. අස්ථි හා මාංශපේශී වල විකෘතිතා ඇතිවන අතර ශරීරයේ මාංශපේශී ලිහිල් වීම, සන්ධි ඇදවිම, අස්ථි දිරාපත් විම , අස්ථි ඇදවීම එහි ලක්ෂණ වේ. ලිංගය හා මුත්‍රාශය ආශිතව ඇතිවන ඉඳිකටුවලින් අනින්නාක් බඳු වේදනාව , නින්ද වැඩිවීම, වමනය ද මෙම රෝගයේ ලක්ෂණ වේ.

හඳුනා ගත් සැණින් ප්‍රතිකාර වෙත යොමුවීමෙන් මහ රෝග ගණයෙහි ලා ගැනෙන දියවැඩියාව වසරක් තුළ උපද්‍රවයන්ගෙන් තොරව ආයුර්වේද ප්‍රතිකර්ම මගින් සුවකර ගත හැකිවේ. නොසලකා හැර වසර දහයක් පහළොහත් අතර කාලයක් ගතවීමෙන් උපද්‍රව ඇතිවේ. එහෙත්ආයුර්වේද ප්‍රතිකර්ම වෙත යෙමු වීමෙන් වීමෙන් ජීවන තත්වය සාමාන්‍ය ලෙස පවත්වා ගෙන යාමට හැකිවේ. ප්‍රතිකාර සාර්ථක කර ගැනීමට රෝගීයා ආහාර විහරණ නිසි ලෙස පිළිපැදීම අවශ්‍යවේ.

දියවැඩියාව හෙවත් මධුමේහය රෝගය සඳහා අත්බෙහෙත් කිරීම නුසුදුසු වනඅතර ජාතික ආයුර්වේද ශික්ෂණ රෝහලේ මධුමේහයට ප්‍රතිකාර කෙරේ.

දියවැඩියාව පාලනය වර්තමානයේ අභියෝගයක් වී ඇත්තේ දෛනික දිනචරියාව නිසිලෙස පවත්වා ගැනීමට නොහැකිවීමයි. පිටතින් ආහාර ගැනීමට හුරුවිම දියවැඩියාවට අහිතකරය. මෙම රෝගයට ප්‍රතිකාර මෙන්ම පෞද්ගලික සෞඛයය පිළිබඳව සැලකිලිමත් වීම ද වැදගත් වේ. බ්‍රහ්ම මූහූර්තියෙන් අවදිවීම, පිරිසිදුව සිටීම, ආහාර පාන කෙරෙහි සැලකිලිමත් වීම වැදගත්වේ.

රණවරා, තේ, එළකිරි මෙන්ම ගොටුකොළ, කොහිල, හාතවාරිය, මොනරකුඩුම්බිය, කරපිංචාවැනි කැඳ වර්ග පීනස, ප්‍රතිශාව වැනි තත්වයන් නැති නම් දිනපතා වුවද පානය යෝග්‍ය වේ. උදේ ආහාරයට ඉඳ ආප්ප කිහිපයක් එළවළුවක් සමඟ ගැනීම හෝ ආප්ප දෙක තුනක් නැතිනම් ධාන්‍ය යෝග්‍යවේ.

දහවල් තේ වේලාවට ඔසුපැන් ලෙස කොතල හිඹුටු,බෙලිමල්,රණවරා, මාදං ඇට කුඩුකර තම්බා බීම, ලා තැඹිලිවතුර,බාර්ලි,පලතුරුයුෂ (සීනි නොදමා පානය යෝග්‍යය. දහවල් ආහාරය ලෙස බත් පීරිසියක් පරණවූ රතු කැකුලු ,හීනටි හෝ තමම්බපු සහලින් ගැනීම ‍සුදුසුවේ.

පලාවර්ග වැඩිපුර ගතයුතු අතර තිත්ත රසැති එළවවළු කෙඳි බහුල ආහාර ,පිටි රස අඩු කැකිරි, පිපිඤ්ඤා,කරවිල, තලන බටු, අසමෝද ගම් කොළ,තෙඹු දළු කොහිල වඅනි ද්‍රව්‍ය සමඟ මාංශ ජනක ආහාර ගත යුතුය. වෙනත් රෝගී තත්වයක් නැත්නම් සතියකට බිත්තර 2ක් 3ක් සමග ප්‍රෝටීන් සහිත ධන්‍ය සලාද ආහාරයට එකතු කරගත යුතුවේ.

උතුරවා නිවා ගත් වතුර පානය කළයුතු අතර ඇඹුල් කෙසෙල්,සුවඳැල් කෙසෙල් , ගස්ලබු,දොඩම් ,වැනි පලතුරු ආහාරයට සුදුසු ‍ෙව්. සවස ‍ෙත් සඳහා නැවුම් කිරි සමඟ සීනි රහිත බිස්කට් යොග්‍ය වේ. රාත්‍රියට බත් කන්නේ නම් එළවළු බහුලව බත් පීරිසියක් පමණ ගැනීම යොග්‍යය . රාත්‍රී ආහාරය ලෙස එළවළු සුප් හෝ තම්බාගත් එළවළු යෝග්‍යවේ.

මෙම රෝගීතත්වයේදී නිතර නිතර බඩගිනීවීම වළක්වා ගත යුතුවේ. රෝගීහු සතියට දින තුනක්වත් තැම්බුම හොද්දක් පානය කළයුතුය.

කොත්තමල්ලි ඇට තේ හැන්දක් ,සූදුරු ඇට තේ හැන්දි බාගයක් (තලා),කුරුඳු පොතු කුඩා කැබැල්ලක් ,ගම්මිරිස් ඇට සවල්පයක් ,සුදුලූනු ගෙඩිභාගයක බික්,කරපිංචා ,සියඹලා,අවශ්‍ය පමණ ලුනු යන සියල්ල මැටි භජනයකට දමා වතුර කෝප්ප හතරක් දමා ලිප තබා වතුර කොප්ප දෙකකට සිඳ රසවත් තැම්බුම් හොද්දක් සකසා ගත හැකිවේ .එය රෝගී නිරෝගී කාටත් ගුණදායකය.

ආහාර ගත් සැනින් නින්දට යෑම කිසි සේත්ම යොග්‍ය නොවේ.

ආහාර විහරණ කෙරෙහි සැලකිළිමත් වෙමින් වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරීමෙන් දිය වැඩියාව සුවකරගතහැකි ය.

දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ,
බොරැල්ල දේශීය ආයුර්වේද ශික්ෂණ රෝහලේ
වෛද්‍ය දයාංගනී සේනාසේකර