Rajawathi Gurumaniyo රාජවතී ගුරුමෑණියෝ sinhala wal katha 2013

gall bladder stone - පිත්තාශයේ ගල්

  • පිත්තාශයේ ගල් ඇති වීම යනුවෙන් හදුන්වන්නේ කුමක් ද?

පිත්තාශය යනු මිනිස් ශරීරයේ අක්මාව ආශ්‍රිතව පිත වැඩිපුර ගබඩා කර ඇති ස්ථානය වේ. එහි පවතින පිත ඝන වීම මගින් ගල් ඇති වේ. පිත්තාශයේ ගල් ඇති වීමේ තත්ත්වය ළමා, වැඩිහිටි ඕනෑම වයස් කාණ්ඩ‍යක සිටින පුද්ගලයෙකුට ඇති විය හැකි ය. පිත්තාශය තුළ ගල් ඇති වීමේ තත්ත්වයක් වන අතර ස්කෑන් පරීක්ෂාවක් සිදු කළ විට වැඩිහිටි ජනගහනයෙන් 7%, හෝ 8% කට කුඩා හෝ පිත්තාශයේ ගලක් පවතින්නට පුළුවන.

පිත්තාශයේ ගල් තිබීම නිසා රෝග ලක්ෂණ පෙන්නුම් කළ හොත් අනිවාර්යයෙන්ම පිත්තාශය ඉවත් කළ යුතු ය. නමුත් පිත්තාශයේ ගල් තිබුණ ද රෝග ලක්ෂණ නොමැති නම් ඒ සඳහා ප්‍රතිකාර කිරීම අවශ්‍ය නොවේ.

  • මුත්‍රාශයේ ගල් ඇති වීම සහ පිත්තාශයේ ගල් ඇති වීම අතර වෙනස කුමක් ද?

මුත්‍රාශයේ ගල් ඇති වන්නේ මුත්‍රාවල සංඝටකවල තිබෙන වෙනස්කම්, පානය කරන ජලයේ තිබෙන වෙනස්කම්, සහ ශරීරයේ ලවනවල තිබෙන වෙනස්කම් හේතුවෙනි. පිත්තාශයේ ගල් ඇති වී රෝග ලක්ෂණ ඇති වුවහොත් පමණක් වෛද්‍ය උපදෙස් ගෙන ශෛල්‍යකර්මයක් සිදු කර පිත්තාශය ඉවත් කිරීම කළ යුතු ය. මෞත්‍රලිංගික පද්ධතිය සකස් වී තිබෙන්නේ මුත්‍රාශය, මුත්‍රා නාල සහ වකුගඩු මඟිනි. මුත්‍රා පද්ධතියේ ගල් තිබෙන විට වකුගඩු හෝ මුත්‍රා නාල ඉවත් නොකර ගල් පමණක් ඉවත් කිරීම සිදු කරනු ලබයි. පිත්තාශයේ ගල් නිසා රෝග ලක්ෂණ ඇති වනවා නම් ගල් සමඟ පිත්තාශය ඉවත් කළ යුතු ය.

  • මුත්‍රාශයේ ගල් ඇති වීමේ දී සහ පිත්තාශයේ ගල් ඇති වීමේ දී දැක ගත හැකි ලක්ෂණ වෙන වෙන ම හඳුන්වන්න.

මුත්‍රා පද්ධතියේ ගල් ඇති වී තිබෙන විට බඩේ යට කොටසේ මුත්‍රා කිරීමේ දී ඇතිවන වේදනාව, මුත්‍රා සමඟ ලේ පිට වීම,මුත්‍රා අඩස්සිය,බඩේ යට කොටසේ වේදනාව පිට කොන්දේ යට කොටසට විහි දී යාම, වැනි රෝග ලක්ෂණ දැක ගත හැකි වේ.

පිත්තාශයේ ගල් තිබීමෙන් බොහෝ විට රෝග ලක්ෂණ ඇති වන්නේ නැත.පිත්තාශයේ කර්තව්‍යයන්ට යම් අවහිරතාවන් සිදු වුවහොත් පමණක් රෝග ලක්ෂණ මතු වේ.මුල් අවදියේ දී ගැස්ට්‍රයිටිස් රෝගයේ දි ඇතිවන වන බඩේ පිපුම, බඩේ දැවිල්ල, උගුරට ඒමේ ස්වභාවය,බඩ පිම්බීම වැනි ලක්ෂණ ඇති වේ.ගල්වල පිහිටීම සහ ගල් තිබෙන තැන අනුව සෙසු රෝග ලක්ෂණ ඇති වේ.

  • පිත්තාශයේ ගල්වල රෝග ලක්ෂණ විවිධාකාර තත්ත්වයන්වල දී වෙනස් වනවා නේද ?

අක්මාවේ පිත මිලි ලීටර් 800-1000 අතර ප්‍රමාණයක් නිෂ්පාදනය කරනු ලබයි.වැඩිපුර පිත ප්‍රමාණය පිත නාලවලින් කුඩා බඩවැලට රැගෙන යයි.වැඩිපුර තිබෙන පිත ප්‍රමාණය පිත්තාශයේ ගලඩා කරනු ලබයි.වැඩිපුර තෙල් සහිත ආහාරයක් කුඩා බඩවැලට පැමිණියහොත් පමණක් පිත්තාශය සංකෝචනය වී වැඩිපුර පිත , පිත නාලවයට නිකුත් කරයි. පිත්තාශ නාලයේ ගෙල කුඩා ය.පිත්තාශ නාලයේ ගලක් හිර වුණහොත් එය පැසවීමට ලක් විය හැක. ඉන් පසු විෂබීජ පැතිර යෑමට පුළුවන.මෙය අධික වේදනාත්මක තත්ත්වයක් වන අතර හදිසි ශෛල්‍ය කර්මයකින් පිත්තාශය ඉවත් කිරිම හෝ ප්‍රතිජීවක ඖෂධ දින කිහිපයක් ලබා දීමෙන් පසුව පිත්තාශය ඉවත් කිරීමට සිදු වේ.පිත්තාශය සංකෝචනය වීමෙන් ඇතිවන මිරිකා අතහරිනවා වැනි වේදනාව Billiary Colick ලෙස හදුන්වනු ලබයි.එමෙන් ම මෙහි දී වමනය යෑම, උදරයේ උඩ කොටසේ වේදනාව කොන්ද දිගේ පැතිර යාම, වැනි ලක්ෂණ දැක ගත හැක.

පිත්තාශයේ ගලක් පිත නාලය දිගේ පහළට පැමිණ අවහිර වු විට අක්මාවේ හැදෙන පිත බඩවැල්වලට ගෙන යාමට නොහැකි වේ. එවිට පිතෙහි සංඝටක ලේ වලට මුසු වීමෙන් රෝගියා කහ පැහැති ස්වභාවය ඇතිවීම, සහ වේදනාවන් ඇති වීමට පුවවන. පිත නාල අවහිර වීමෙන් විෂබීජ .පැතිර යාම බරපතල තත්ත්වයක් වන අතර නිසි ප්‍රතිකර නොකළහොත් ජීවිත අවධානමකට ලක් විය හැකි ය.

අග්න්‍යාස නාලය සහ පිත නාලය යන නාල දෙකම කුඩා බඩවැලේ ‍දෙවැනි කොටසට විවිර වන්නේ පොදු විවිරයක් තුළිනි. පිත නාලය දිගේ පහතට පැහිමිණෙන ගලක් මෙම පොදු විවිරයේ දී අග්න්‍යාස නාලය අවහිර කළහොත් අග්න්‍යාස ප්‍රදාහය ඇති විය හැකි ය.මෙම අග්න්‍යාස ප්‍රදාහය ද බරපතළ රෝග තතත්ත්වයක් වන අතර ඇතැම් විට එය ද ජීවිත අවධානමක් ඇතිකරන මට්ටමට වැඩි විය හැක.

අග්න්‍යාශ ප්‍රදාහයට හේතු වන්නේ මේ ආකාරයෙන් පිත්තාශයේ සාදන ගල් හෝ වැලි පිත නාලය දිගේ අග්න්‍යාස නාලය අවහිර කිරීමෙන් ය. අනෙක් සුලභ හේතුව වන්නේ වැඩිපුර මධ්‍යසාර භාවිත කිරීම ය.

එහි මුලික රෝග ලක්ෂණ ලෙස ගැස්ට්‍රයිටිස් රෝගයේ ලක්ෂණ වන බඩ පිපීම, උගුරට ඒම, බඩේ දැවිල්ල,බඩ පුරෝදාන ස්වභාවය,වැනි තත්ත්වයන් හට ගනී.එවිට වෛද්‍යවරයෙකුගේ උපදෙස් පරිදි අධි ධ්වනි ශබ්ද තරංග පරීක්ෂණය ( Ultra sound scan ) සිදු කළ යුතු ය.එමගින් 95% ක් පමණ නිවැරදිතාවයෙන් යුක්තව පිත්තාශයේ ගල් තිබෙන බව නිශ්චිත වශයෙන් හදුනා ගැනීමට පුළුවන.

පිත්තාශයේ අනෙකුත් රෝග ලක්ෂණ සහ පිත නාලවල ගල් හදුනා ගැනීමට නම් සී.ටී ස්කෑන් වැනි ඉහළ මට්ටමේ පරීක්ෂණ සිදු කළ හැකි ය.

  • පිත්තාශයේ ගල් වැඩියෙන් ම ඇති වන්නේ කාන්තා පක්ෂයට ද? පුරුෂ පක්ෂයට ද?ඒ සඳහා වයස බලපානවා ද?

පිත්තාශයේ ගල් ඕනෑම වයසේ කෙනෙකුට ඇති වීමට පුළුවන.එසේ වුවත් සුලභවම මෙම තත්ත්වය ඇති වන්නේ තරමක් තරබාරු,වයස අවුරුදු 40 වැඩි ( මධ්‍ය වයස) දරුවන් ලබා තිබෙන කාන්තාවන්ට ය.

  • පිත්තාශයේ ගල් ඇති වීම කිහිප වරක් සිදු විය හැකි ද?

පිත්තාශයේ ගල් කිහිපවරක් ඇති වීමට පුළුවන.පිත්තාශයේ ක්‍රියාකාරීත්වයේ යම් ගැටලුකාරී තත්ත්වයක් තිබීමෙන් ගල් ඇති වේ. රෝග ලක්ෂණ සහිතව පිත්තාශයේ ගල් ඇති වී තිබුණහොත් අනිවාර්යයෙන් ම පිත්තාශය ඉවත් කළ යුතු ය. එවිට නැවත නැවත පිත්තාශයේ ගල් හට ගැනීම සිදු වන්නේ නැත. එසේ නොමැතිව පිත්තාශයේ ක්‍රියාකාරීත්වයේ වෙනස්කම් නිරන්තරයෙන් සිදු වීමෙන් පිත්තාශයේ ගල් ඇති වේ.

  • පිත්තාශයේ ගල් ඇති වීමට බලපාන හේතු මොනවා ද?

පිතෙහි ප්‍රධාන සංඝටක වශයෙන් cholesterol,lecithin,bile salt ද්‍රවයන් පිතෙහි තැන්පත් වී තිබේ.මෙම සංඝටක නියමිත ප්‍රමාණයන් ප්‍රතිශතයන් ලෙස පිතෙහි ද්‍රවයන් ලෙස පිහිටා ඇත. cholesterol වැඩි වීම හිතකර වන්නේ නැත. lecithin සහ bile salt අඩු විම ද හිතකර වන්නේ නැත.පිතෙහි පවතින ද්‍රවයන්ගේ සංයුතියේ යම් වෙනස්කම් සිදු වු විට ද්‍රවයන් වශයෙන් පවතින දෑ ගණ වීමට පටන් ගනී.එවිට පිත්තාශයේ ගල් ඇති වේ.උදාහරණ වශයෙන් කොලෙස්ට්‍රෙරෝල් වැඩි වුණවිට කොලෙස්ට්‍රෙරෝල් ගල් , ලෙසිතීන් වැඩි වු විට ලෙසිතීන් ගල් ඇති වේ.

සාමාන්‍යෙයන් මිනිසුන්ගේ ජීවන පුරුදු හේතුවෙන් පිත්තාශයේ ගල් ඇති වීම සිදු නොවේ.එසේ වුවත් තරබාරුකම එසේත් නැත්නම් අධික කොලෙස්ටරෝල් ප්‍රමාණයක් ශරීරයේ තැන්පත් වී තිබීම හේතුවෙන් පිත්තාශයේ ගල් ඇති වේ.

තැලිමීසියා වැනි රතු රුධිරාණු වැඩිපුරු විනාශ වන රෝගී ත්ත්තවයන්ගේ දී රතු රුධිරාණු කැඩීමෙන් ඇතිවන සංඝටක පිත්තාශයේ එකතුවීමෙන් මෙවැනි රෝගීන්ට පිත්තාශයේ ගල් ඇති වීමේ අවදානම වැඩි ය.

අධික මේදය පවතින ආහාර ගැනීමෙන් වැළකී ස්ථුලතාවයට පත් නොවීමට වග බලා ගැනීමෙන් පිත්තාශයේ ගල් ඇති වීම වළක්වා ගැනීමට පුළුවන.

  • වර්තමානයේ දී පිත්තාශයේ ගල් ඉවත් කිරීම සඳහා භාවිතා කරන නවීන ප්‍රතිකාර විධි මොනවා ද?

ලැපරස් කොපි කැමරා ක්‍රමය මඟින් වර්තමානයේ සුලභ වශයෙන් ගල් නිසා රෝගී පිත්තාශය ඉවත් කිරීම සිදු කරනු ලබයි.කැමරා භාවිත කර කුඩා සිදුරු කිරීම් කිහිපයක් මඟින් රූපවාහිනී යන්ත්‍රය දෙස බලා හීනි දිග උපකරණ කිහිපයක් උපයෝගී කර ගනිමින් මෙම ලැපරස් කොපි කැමරා ක්‍රමයට සිදු කරන ශෛල්‍යකර්ම සිදු කරනු ලබයි.උදර බිත්තියේ සිදු කරන ඉතා කුඩා කැපුම් හරහා මෙවැනි ශෛල්‍යකර්ම සිදු කරන නිසා ශෛල්‍ය කර්මකින් පසුව ඇතිවන වේදනාව ඉතා අවම ය. මේ නිසා ලැපරස් කොපි ක්‍රමයට පිත්තාශය ඉවත්කර පැය 12 ක් ඇතුළත ද රෝගියාව නිවසට පිටත් කර හැරීම බොහෝ විට සිදු කෙරේ.පිත්තාශය කිහිපවරක් පැස වීමට ලක් වී ඇලිම් සහගත ස්වභාවය තිබුණහොත් මෙම ශෛල්‍යකර්මය සංකීර්ණ විය හැකි අතර විවෘත ශෛල්‍යකර්මයක් මඟින් පිත්තාශය ඉවත්කළ හැකි ය.

  • පිත්තාශයේ ගල් තිබෙන බව දැනගත් විට ප්‍රථමයෙන් කළ යුත්තේ මොනවා ද?

පිත්තාශයේ ගල් තිබෙන බව දැනගත් විට ප්‍රථමයෙන්ම ශෛල්‍ය වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ගත යුතු ය.අවුරුදු 16 ට වඩා අඩු දරුවෙකුට පිත්තාශයේ ගල් ඇති වි තිබුණහොත් රෝග ලක්ෂණ නොමැතිව වුව ද පිත්තාශය ඉවත් කළ යුතු ය. දීර්ඝ කාලයක් රෝග ලක්ෂණ සහිතව පිත්තාශයේ ගල් තිබීමෙන් පිත්තාශයේ පිළිකා ඇති වීමට පුළුවන. සෙන්ටිමීටර් 1.5 ට වඩා වැඩි ප්‍රමාණයේ ගල් තිබීමෙන් පිළිකා ඇතිවීමේ අවධානම වැඩි වේ.

  • පිත්තාශයේ ගල් පිළිබඳව සමාජයේ පවතින මිත්‍යාවන් මොනවා ද?

බොහෝ මිනිසුන් පිත්තාශය යනු මොළය තරම් වටිනා ඉන්ද්‍රියක් ලෙස සිටී. එසේ වුවත් පිත්තාශය නොමැති වුවත් කිසිදු ගැටලුවක් නොමැතිව පුද්ගලයෙකුට ජීවත් වීමට පුළුවන.

පිත්තාශය ඉවත් කළ විට ආහාර ගැනීමේ රුචිය අඩු වනවා යැයි මතයක් පවතී . එය අසත්‍ය කරුණකි.පිත්තාශයෙන් සිදු කරන්නේ වැඩිපුර පිත ගබඩා කර තැබීම පමණි. කිසි විටක ආහාර ගැනීමට එය බාධාවක් වන්නේ නැත.

  • පිත්තාශයේ ගල් තිබෙන බව දැන දැනත් ඒ සඳහා කිසිදු ප්‍රතිකර්මයක් නොකර සිටීමෙන් ඇති විය හැකි ගැටලු මොනවා ද?

රෝග ලක්ෂණ සහිතව පිත්තාශයේ ගල් තිබෙනවා නම් අනිවාර්යයෙන්ම මුල් කාලයේ දීම පිත්තාශය ඉවත් කිරීම කළ යුතු ය.ප්‍රමිතියකින් තොර ප්‍රතිකාර සහ විවිධ අත් බෙහෙත් වර්ග ආදිය භාවිත කරමින් ශෛල්‍යකර්මයක් සිදු නොකර සිටිමෙන් එය ඉතා සංකූල තත්ත්වයක් දක්වා වර්ධනය වී ජීවිත අවධානමට ලක් වීම දක්වා වර්ධනය විය හැකි ය.

  • පිත්තාශයේ ගල් තිබීම මඟින් ඇති වන වෙනත් රෝගාබාධ මොනවා ද?

පිත්තාශයේ ගල් තිබීම මඟින් පිත්තාශය පැස වීම, අග්න්‍යාශ ප්‍රදාහයට පත් වීම,පිත්තාශයේ තිබෙන ගලක් පිත නාලය දිගේ පහළට පැමිණ අවහිර වීම මඟින් අක්මාවේ හැදෙන පිත බඩවැල්වලට ගෙන යාමට නොහැකි වීම යන තත්ත්වයන් ඇති විය හැක.

  • පිත්තාශයේ ගල් ඇති වීම වළක්වා ගැනීම සඳහා මිනිසුන් පිළිපැඳිය යුතු වෛද්‍ය උපදෙස් මොනවා ද?

පිත්තාශයේ ගල් ඇති වීමෙන් බෙහෝ විට ගැටලුවක් ඇති වන්නේ නැත. එහෙත් රෝග ලක්ෂණ මතුවී විවිධ වේදනාකාරී අවස්ථාවන්ට මුහුණ දීමට සිදු වුවහොත් අනිවාර්යයෙන්ම පිත්තාශය ඉවත් කළ යුතු ය. රෝග ලක්ෂණ නොමැති නම් පිත්තාශයේ ගල් තබා ගනිමින් මුළු ජීවිත කාලය පුරාම ගැටුවක් නොමැතිව වුව ද ජීවත් වීමට පුළුවන.

  • පිත්තාශයේ ගල් ඇති වීම වළක්වා ගැනීම සඳහා පුද්ගලයෙකු පරිභෝජනය කළ යුතු ආහාරපාන කෙසේ විය යුතු ද?

පිත්තාශයේ ගල් ඇති වීම වළක්වා ගැනිම සඳහා ආහාර රටාවෙන් විශාල බලපෑමක් සිදු නොවුණත් අධික මේදය සහිත ආහාර ගැනීමේ දී තරමක් පරිස්සම් විය යුතු ය.එමෙන් ම ස්ථුලතාවය මඟහරවා ගැනීමට සුදුසු ආහාර රටාවකට පුරුදු විය යුතු ය.

  • පිත්තාශයේ ගල් ඇති වීමේ තත්ත්වය මාරාන්තික තත්ත්වයක් ලෙස හැඳින්වීමට පුළුවන් ද?

ඔව් , පිත්තාශයේ ගල් ඇති වීමේ තත්ත්වය මාරාන්තික තත්ත්වයක් දක්වා වර්ධනය වීමට පුළුවන.පිත්තාශයේ ගෙලෙහි ගලක් සිරවී තිබීම, පිත නාලයකට ගලක් වැටීම මඟින් අවහිර වීම, සහ එම නිසා විෂබීජ පැතිර යාම, සහ පිත නාලයට වැටෙන ගලක් අගන්‍යාශයේ නාලය අවහිර කිරිම හෙවත් අගන්‍යාශ ප්‍රදාහය යන රෝගී ත්ත්ත්යවන් නිසි ප්‍රතිකාර ක්ෂණිකව නොකළහොත් රෝගියෙකුගේ මරණය එමගින් සිදු විය හැකි ය.

  • පිත්තාශයේ ගල් ඇති වී තිබෙන පුද්ගලයින්ට ඔබ දෙන උපදෙස් මොනවා ද?

බොහෝ දෙනා පිත්තාශයේ ගල් ඉවත්කිරීමේ දී සිදු කළ යුතු ශෛල්‍යකර්මය කිරිමට බිය වී සිටී. රෝග ලක්ෂණ හදුනාගෙන විවිධ නොසුදුසු ප්‍රතිකර්ම සිදු කර ඇතැම් මිනිසුන් අවාසනාවන්ත අයුරින් මිය ගොස් තිබේ.විශේෂයෙන් ම දියවැඩියා රෝගීයෙකුට රෝග ලක්ෂණ සහිතව පිත්තාශයේ ගල් තිබෙන බව දැනගත හොත් වෛද්‍ය උපදෙස් ගෙන සුදුසු ප්‍රතිකර්මයන් හැකි ඉක්මනින් කළ යුතු ය. රෝග ලක්ෂණ පෙන්නුම් කළ පසු පිත්තාශය ඉවත් කිරිම පමා කර වෙනත් සම්ප්‍රදායන්වල ප්‍රතිකර්ම සහ පිළියම් කිරිම අනුවණකමකි.

 

තේජන විජේරත්න
විශේෂඥ ‍ශෛල්‍ය වෛද්‍ය කළුබෝවිල ශික්ෂණ රෝහල
ජේෂ්ඨ කථිකාචාර්ය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

උපුටා ගැනීම-silumina.lk