Hadhawath Rooga හදවත් රෝග

 

කොහොමද අපේ හදවත රෝගාතුර වෙන්නේ ?

 

වැඩකටයුතු අධිකකම නිසා

නොසැලකිල්ල නිසා

ආතතිය නිසා

               
ඔබ දන්නවාද දිනකට හදවත ගැස්සෙන වාර ගණන කියද කියා, ලක්‍ෂයකට වැඩි වාර ගණනක් එය ගැස්සෙනවා. ඉතින් හදවත කවදාවත් නවතින්නේ නැහැ. ඔබ නිදාගත් විටත් හදවත නොනැවතී ක්‍රියා කරනවා. ඒ වගේම දිනකට රුධිරය ලීටර් 8000 කට වැඩි ප්‍රමාණයක් මේ හෘදවස්තුව තුලින් ගමන් කරනවා. එසේනම්, අපි අපේ හෘදවස්තුව ගැන මිට වඩා සොයා බැලීමට උනන්දු විය යුතුයි නේද ?

එසේ සැලකිලිමත් වන්නේ නම් ඉදහිට හෝ ලෙඩවන අපගේ හදවත සුවයෙන් තබා ගැනීමට අපට පුළුවන්. ඔබ දන්නවාද කොයි වෙලේ ද අපගේ හදවත ලෙඩ වෙන්නේ කියා ? කණගාටුවට කාරණය නම් අපගේ හදවත බොහො අවස්ථාවල දී ලෙඩ වන්නේ අපටත් හොරාය.

අපි අපේ ලෙඩවන හෘදවස්තුව ගැන සොයා බැලීමට අප උනන්දුවන්නේ අපිට පපුවේ කැක්කුමක් සැදුණොත් පමණි.

ඔබ දන්නවාද දැනට තිබෙන මාරාන්තික හදවත් රෝගය කුමක්ද කියා ?

එයට අපි හදුන්වන්නේ කිරීටික ධමනි හෘද රෝග නොහොත් Coronary Heart Disease ලෙසයි.
ඔබ දන්නවාද හෘදය කි‍්‍රයා කිරීමට රුධිරය අවශ්‍ය බව. හෘදයට රුධිරය සපයන ධමනිය අපි හඳුන්වන්නේ කිරීටක ධමනිය ලෙසයි. ඉතින් මේ හෘදයේ මස්පිඩු කි‍්‍රයාකාරිත්වයට අවශ්‍ය අම්ලකර (ඔක්සිජන්) ලබා දීම සිදුකරන්නේ මේ ධමනි මගින්. ඉතින් ධමනිවලට බාධා ඇති වුවහොත් වන්නේ එම හෘද මස්පිඩු මිය යාමයි. මෙය අපි හෘදයාබාධයක් ලෙස ද හඳුන්වනවා (heart attack නැත්නම් Myocardial Infarction).


ඉතින් කොහොමද අපි හෘදයාබාධවලින් වැළැකී සිටින්නේ ?

 

* හෘදයාබාධ වැළදීමට ප‍්‍රධාන වශයෙන් බලපාන්නේ දුම්බීමයි. දුම්බීමත් එක්තරා ඇබ්බැහිවීමකි.

 

* ශරීරය වුවමනාවට වඩා මහත් වීම, ඒ සඳහා කළ යත්තේ මේදය සහිත ආහාර ගැනීමෙන් වැළැකී සිටීමයි. ඔබ දිනපතා අලුත් එළවළු සහ පලතුරු වර්ග ආහාරයට ගැනීමෙන් ශරීරයේ සමබරතාවය පවත්වා ගෙන යා හැකිය. දිනපතා මස් සහ බිත්තර වැනි මේද සහිත දේ ආහාරයට ගැනීමෙන් තරබාරු ගතිය වැඩි වේ.

 

* කාන්තාවන් හා පිරිමින් දහ දෙනකුගෙන් හත්දෙනකු තමන්ගේ හෘදය වස්තුව ගැන කිසිම සැලකිල්ලක් නො දක්වන බව කරන ලද සමීක්ෂණවලින් හෙළි වී තිබේ. හදවත හොඳින් ක‍්‍රියා කරවීමට නම් ඒ සඳහා ව්‍යායාම අවශ්‍යවෙයි. හදවත ලෙඩ වන්නේ අවශ්‍ය තරම් ව්‍යායාම් නො ලැබූ විට ය. දිනපතා පැයක් හෝ පැය භාගයක් හෝ දිවීමෙන් හදවතට මෙම ව්‍යායාම ලබාදිය හැකි ය. ඇවිදින ව්‍යායාම දිනපතා කළ නොහැකි නම් එය සතියකට එක් වරක්වත් කළ යුතුය.

 

* හදවත ලෙඩවන්නේ ඔබ ගන්නා ආහාර ප‍්‍රමාණයේ අඩුවැඩිකම නිසා නො වේ. ඔබ ගන්නා ආහාරවල ගුණ අගුණ භාවය අනුවය. මේධයෙන් පිරි, ලුණු වැඩි ආහාර හදවත් ලෙඩ කරන සතුරන් හැටියට සලකනු ලැබේ. රතුමස් එසේ නැත්නම් හරක්මස්, ලුණු මිශ‍්‍ර රටකජු, කි‍්‍රප්ස් (Crisps), ටින් කෑම, කේක් සහ පැණි රස වර්ග ද හදවත් ලෙඩ කරන කෑම වර්ගඅතර ප්‍රධාන තැනක් ගනී.

 

* හදවත් ලෙඩ කිරීමට ප්‍රධාන වශයෙන් කොලෙස්ටර්රෝල් මට්ටම ද තදින් ම බලපායි. ස්ටැටින් නමැති බෙහෙත් පෙති ගැනීමෙන් කොලෙස්ටර්රෝල් මට්ටම පාලනය කළ හැක.

 

* මත්පැන් පාවිච්චිය ද හදවත් ලෙඩවලට තවත් එක් හේතුවකි.

 

* අසහනය ද හදවත් ලෙඩ කරන එක් හතුරෙකි. බොහෝ විට රුධිර පීඩනය ඇතිවන්නේ අසහනය මුල්කරගෙන ය. අසහනයක් ඇති වූ විට පොතක් පතක් කියවීමෙන්, මියුරු ගීතයකට සවන්දීමෙන් හෝ චිත‍්‍රපටයක් නැරඹීමට යෑමෙන් එම අසහනය බොහෝදුරට සමනය කර ගත හැක. මිට අමතරව ඇවිදීම ද අසහනය සමනය කර ගත හැකි එක් ක‍්‍රමවේදයකි. කිසියම් අසහනයක් ඇති වූ විට රුධිර පීඩනය වැඩි වේ. එයට හේතුව ලේ ගමනය තදින් ම කි‍්‍රයා කරන බැවිනි. අනවශ්‍ය ලෙස කෝප ගැනීම ද, කුඩා දෙයට පවා සසලවීම ද, සංවේදිභාවය ද අසහනයට හේතූන් කීපයකි.

 

 

මීළඟට අපි බලමු හෘද රෝගයක් සුව වීමට පසු කලයුත්තේ කුමක්ද කියා

 

මෙයට ඔබ ගන්නා බෙහෙත් ප‍්‍රතිකාර පමණක් ප‍්‍රමාණවත් නොවේ. ඒ සඳහා හෘද පුනරුත්ථාපනයට යොමු වීම ද අවශ්‍ය ය. එහිදී නැවත හෘදයාබාධයක්  ඇති වීම සියයට තිහකින් ද අඩු කර ගත හැක.

 

කුමක්ද මේ සඳහා කලයුත්තේ ?

 

ඒ සඳහා ඔබ රෝහලේ දී ලබා දුන් ව්‍යායාම් ද ඒ පුහුණු වූ ආකාරයෙන් දිගට ම කලයුතුය. නමුත් බොහෝ විට ඔබ අවිවේකි කම නිසා බෙහෙත් ගත්තා මිස ව්‍යායාම් අතපසු කරයි නම්, එයින් උපරිම ප්‍රතිපල ලබාගත නොහැක.

 

හෘදයාබාධයකට ගොදුරු ඌ ඕනෑම කෙනෙකු මුල් දින කිහිපයක් ඇඳ විවේකයක් විවේකයෙන් සිටීම වැදගත් වේ. ඒ හෘදයට ඇතිවන කායික පීඩාව අවම කිරීමට ය. හෘදයේ ඇති රෝගී නොවූ මාංශපේශි කොටස පවා එයින් විවේක සුවය ලබයි. එවිට සිදුවන්නේ හෘදය මගින් පිටතට පොම්ප කරන රුධිර ප‍්‍රමාණය කලින් පිට කළ ප‍්‍රමාණයට වඩා අඩුවීම ය.

නමුත් ඇඳ විවේකයෙන් පසු ඇඳෙන් බැස ඇවිදීමට උත්සාහ කරන විට ඔහුට දැනට හෘදයෙන් ලබා දෙන රුධිර ප‍්‍රමාණය ප‍්‍රමාණවත් නොවේ. එසේ සිදුවන්නේ විවේක සුවයෙන් පසුවන හෘදයේ මාංශ පේශි දිගට ම එසේ විවේක සුවයෙන් සිටීමට උත්සාහ කිරීම නිසා ය. මෙවැනි අවස්ථාවක රෝගියා දිගට ම යම් කාර්යයක් කරන්නට උත්සාහ ගන්නා විට මහන්සියක් දැනෙන්නේ ඒ නිසා ය. අවාසනාවකට මෙහි දී හිතට ඇතිවන බිය නිසා රෝගියා ද ඇවිදීම ද නතර කරයි.

ඒ වගේම දින කිහිපයක් එක තැනක සිටීම නිසා මතුවන තවත් ගැටලුවක් ද ඇත. එනම් විවේකව ඉන්නා රෝගියකු ගේ පර්යන්ත මස් පිඩු හෘදයේ මස් පිඩු මෙන් ම එක්තරා ආකාරයක විවේක සුවයට අවතීරණ වෙයි. වැඩ කිරීමේ දී පර්යන්ත මස්පිඩුවලට කලින් ලබා දුන් ප‍්‍රමාණයට වඩා වැඩි රුධිර ප‍්‍රමාණයක් සමඟ වැඩි ඔක්සිජන් ප‍්‍රමාණයක් අකර්මණ්‍ය වූ එම මස් පිඩුවලට ලබා දිය යුතු ය. මේ සඳහා වැඩි බර ලබා දිය යුත්තේ දුර්වල වී ඇති හෘදයටම ය. දුර්වල වූ හෘදයට මේ නිසා වැඩ වැඩිවෙයි. මෙහි දී හෘදය කරන්නේ කලින් ප‍්‍රමාණයට වඩා විනාඩියකට වැඩි වාර ගණනක් ගැස්ම මගින් අවශ්‍ය වැඩිපුර රුධිරය සපයා දීම ය. අධික මහන්සියක් මේ නිසා දැනෙයි. හෘදය සාමාන්‍ය ප‍්‍රමාණයට වඩා වැඩි වාර ගණනක් ගැස්සෙන විට රෝගියකුට අධික මහන්සිය ද දැනෙයි. එසේ ම මෙවැනි අවස්ථාවක දී හෘද රෝගියාට නැවත හෘදයාබාධයක් ඇති වීමට හෝ ඇතැම් විට ඔහු ගේ මරණය පවා සිදුවීමට ඉඩ ඇත.

හෘද පුනරුත්ථාපන හෙවත් ව්‍යායාම් කි‍්‍රයාවලියකින් සිදු කරන්නේ එවැනි තත්වයෙන් හෘද රෝගියා වළක්වා ගැනීම ය. එසේ නම් හෘද රෝගයකින් සුවය ලැබූවකු, විවේකීව සිටින කාලයේත් ඉන් පසුව එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු ආරම්භ කරන අතරතුර සහ ඊට පසුව ද ඒ ඒ අවස්ථාවට ගැළපෙන අන්දමින් ව්‍යායාම් ප‍්‍රතිකාර ලබා දීම අවශ්‍ය ය.

හෘද පුනරුත්ථාපනයේ දී කෙරෙන්නේ රෝගියා සුව වන විට ඒ එක් එක් අවස්ථාවේ හෘදයට දැරිය හැකි ප‍්‍රමාණයෙන් ව්‍යායාම කිරීමට උපදෙස් දීම ය. මෙසේ ලබා දෙන ව්‍යායාම තීව‍්‍රතාවය රෝගියා පෙන්වන ප‍්‍රගතිය අනුව ක‍්‍රමානුකූලව වැඩි කර ගත හැකි ය. මෙහි දී ඊ. සී. ජී. සහ ස්වායු යෝග්‍යතා පරීක්‍ෂාවක් සිදු කොට ඒ ලැබෙන ප‍්‍රතිඵල අනුව මුල් ව්‍යායාම තීව‍්‍රතාවය තීරණය කළ හැකි ය. මෙලෙස ලබා දෙන තීව‍්‍රතාවයට දිනකට යම්කිසි කාලසීමාවක් බැගින් සති කිහිපයක් ව්‍යායාම කිරීමෙන් පසු රෝගියා ගේ යෝග්‍යතාවය නැවත පරීක්‍ෂා කරනු ලැබේ. යෝග්‍යතාවය වැඩි වී ඇත්නම් ව්‍යායාම තීව‍්‍රතාවය ද පෙරට වඩා වැඩි කිරීමට උපදෙස් ලැබේ. ක‍්‍රමානුකූලව ලබා දෙන ව්‍යායාම තීව‍්‍රතාවය හා දිනපතා ව්‍යායාම කාලය ටිකෙන් ටික වැඩි කරන විට රෝගියාට තම එදිනෙදා කටයුතු කිසිදු මහන්සියකින් තොරව කර ගත හැකි ය.

 

මේ ව්‍යායාම ගැනීම වෛද්‍යවරයකු ගේ හෝ භෞත චිකිත්සකවරයකු ගේ අධීක්‍ෂණය යටතේ මුලින් සිදු කළ යුතු වේ. පසුව රෝගියාට තනිව ම මේ ව්‍යායාම සිදු කළ හැකි ය. එවැනි ව්‍යායාම මගින් රෝගියාට වාසි 2 ක් ඇති වේ. ව්‍යායාමයට ඇති බය නැති වී යාම හා අවබෝධයක් ඇති අයකු තමා අසල රැඳී සිටීම ඒ වාසි දෙක ය. එසේ ම ව්‍යායාමය ද බොහෝ වේලාවක් සිදු කිරීමට හැකි වෙයි. එයින් ඇතිවන තෘප්තිය නිසා රෝගියාට මානසික වශයෙන් ලැබෙන උත්තේජනය මගින් රෝගය සුවපත් කිරීමට ද දායක වෙයි. එසේ ම යම්කිසි ව්‍යායාම ප‍්‍රමාණයක් ගත් පසු නැවත වරක් රෝගියා ගේ ස්වාය යෝග්‍යතාවය පරීක්‍ෂා කළ විට එහි පෙන්නුම් කරන ප‍්‍රගතිය අනුව රෝගියාට දිගට ම ව්‍යායාම කිරීමට අවසර ලැබේ.

 

යම් අයකු ගේ හෘද ස්පන්දන වේගය මනින්නේ වයස 220 න් අඩු කිරීමෙනි. ව්‍යායාමයක යෙදෙන විට එම අගය වන්නේ හෘද ස්පන්දන වේගයෙන් සියයට 70 කි. උදාහරණයක් වශයෙන් වයස අවුරුදු 40 ක අයකු ගේ එම අගය වන්නේ 180 කි. මෙම අගයෙන් සියයට 70 ක් යනු 126 කි. එබැවින් ඒ පුද්ගලයා ව්‍යායාම කරන විට පැවතිය යුතු හෘද ස්පන්දන වේගය අගය වන්නේ විනාඩියකට 126 වාරයකි. එම අගයට වඩා වැඩි වේගයකින් ව්‍යායාම ගැනීම අනවශ්‍ය ය. මේ අගයට වඩා අඩු අගයකට ව්‍යායාම කිරීමෙන් ද පලක් නොවේ. හෘදය හා ධමනි පද්ධතිය ශක්තිමත් වීමට නම් හෘදය යම්කිසි අවම වේගයකට ස්පන්දනය විය යුතු ය. රෝගියා සාමාන්‍ය අයකු මෙන් ව්‍යායාම කළ හැකි වන තෙක්, ව්‍යායාම කරන අවස්ථාවේ හෘද ස්පන්දන අගය ටික ටික වැඩි කරනු ඇත. ඇතැම් විට මේ සඳහා මාස 3 – 6 දක්වා කාලයක් ගත විය හැකි ය.

 

එසේ ව්‍යායාම කරන රෝගියකුට සාමාන්‍ය කෙනකු මෙන් එදිනෙදා කටයුතු මහන්සියකින් තොරව කර ගත හැකි ය. මීට හේතුව ව්‍යායාම මගින් ස්වායු යෝග්‍යතාව වැඩි වීම ය. ස්වායු යෝග්‍යතාවය යනු අප කරන සාමාන්‍ය වැඩවල දී (ඇවිදීම, දිවීම, ගෙදර වැඩ කිරිම වැනි) වැඩි මහන්සියක් නොදැන එම වැඩ කළ හැකි වේගය හා තීව‍්‍රතාවය. හෘද පුනරුත්ථාපනයේ දී ව්‍යායාම ප‍්‍රතිකාරයට අමතරව තවත් බොහෝ දේ රෝගියාට ලබා දෙයි. හෘදයාබාධ නැවත ඇති වීම වළක්වා ගැනීම මෙහි අරමුණ ය. කොලෙස්ටරෝල් පාලනය, ජීවන රටාව වෙනස් කිරීමට උපදෙස් දුම්බීම නැවැත්වීම, මානසික ආතතිය අඩු කිරීමට ද උපදෙස් හා මගපෙන්වීම ද ලබා දෙයි. මෑත කාලයේ දී හඳුනා ගත් මෙටබොලික් සින්ඩෙ‍්‍රීම් නම් වූ හෘදයාබාධ, දියවැඩියාව අංශභාග වැනි රෝග ඇති කරන පෙර රෝගී තත්වය ද රෝගියාට තිබේ දැයි පරීක්‍ෂා කොට එසේ ඇත්නම් ඒවායින් මිදීමට ද අවශ්‍ය උපදෙස් හා ප‍්‍රතිකාර ද එහි දී ලබා දෙනු ඇත. චිත්ත කායික උපදේශනය නව සංකල්පයක් ලෙස පිළිගෙන ඇත. හෘදය රෝග දියවැඩියා ආදි බොහෝ රෝගවලට ද සිත මගින් බලපෑම් එල්ල කළ හැකි බව දැන් පිළිගෙන ඇත.