Hisakes Watima Nawathwa Ganimata හිසකෙස් වැටීම නවත්වා ගැනීමට

 

හිසකෙස් වැටෙන එක නවත්වන්න හරිම පහසුයි

 

හිසකෙස් රෝග නිසා පීඩාවට පත්ව සිටින අය බොහොමයි. ආයුර්වේදයේ දක්වා ඇති පරිදි මෙයට හේතුව වාතදෝෂ සහ පිත්දෝෂයන් හි ඇතිවන කෝපතාවයයි. හිසකෙස් රෝග වශයෙන් ගතහොත් ඒ බොහෝමයක් හිස්කබල හා සම්බන්ධයි. හිසෙහි සම වියළීම නිසා ඇතිවන හිස්හොරි රෝගය බහුලව ඇතිවුවහොත් එය කබොළු ගැලවෙන තත්ත්වය දක්වා ගමන් කරනවා. ඊට අමතරව හිසකෙස් ගැලවී යාම ද වැඩිවෙනවා. නිසි ලෙස හිසකෙස් පිරිසුදු නො කිරීම ද මෙයට හේතුවක්. කෘත්‍රිම ෂැම්පු වර්ග භාවිතයෙන් මෙම තත්ත්වය තවත් උග්‍රවෙන්න පුළුවන්. ඊට අමතරව දිලීර රෝග අවස්ථාවත් මෙයට බලපානවා.

 

මේ හැරෙන්නට තවත් රෝග අවස්ථාවක් තිබෙනවා. ඉන් එක් තත්ත්වයක් වෙන්නේ හිසකෙස් වැටීමයි. මෙය ඛාලිත්‍ය වශයෙන් ආයුර්වේදයේ දක්වා තිබෙනවා. මෙහිදී සිදුවෙන්නේ හිසකෙස් ගැලවීයාමයි. එයට හේතුව වශයෙන් සඳහන් වන්නේ ද වාත සහ පිතේ ඇති වන්නා වූ දෝෂතාවයයි.

බොහෝවිට අපේ ආහාර රටාවේ ප්‍රශ්න, අධිකව කේන්තියාම, ක්‍රෝධය, මානසික අසහනකාරී තත්ත්වයන්, වෙහෙසකාරී භාවය, හිසකෙස් වැටීම හා සම්බන්ධ තත්ත්වයන්. වයස්ගතවීමත් සමඟ හිසකෙස් වැටීම සැලකිය හැක්කේ සාමාන්‍ය දෙයක් හැටියටයි. නමුත් සාමාන්‍ය ප්‍රමාණයට වඩා අධිකව හිසකෙස් ගැලවීයාම සිදුවනවා නම් එය රෝගී අවස්ථාවක්. එයට නිසි ප්‍රතිකර්ම ගත යුතුයි.

අනෙක් කරුණ නම් හිසකෙස්වල වර්ණය අඩුවීම හා හිසකෙස් සුදුවීම. එයට බොහෝවිට බලපාන්නේ වාත සහ පිතවල ඇතිවන කෝපතාවයයි. අධික කෝපය, නිදිමැරීම, අධික වෙහෙසකාරී ක්‍රියාවල යෙදීම, ආහාරවල අක්‍රමිකතා මෙයට හේතූන් වෙනවා. අකලට හිසකෙස් සුදුවීම ආයුර්වේදයේ දැක්වෙන්නේ පාලිත්‍ය වශයෙන්.

ඊට අමතරව සමහර රෝග අවස්ථාවල විශේෂයෙන්ම ඇලෝපීසියා කියන රෝග තත්ත්වය. මෙහිදී තැන් තැන්වලින් හිසකෙස් ගැලවෙනවා. සමහරවිට මෙය මුලින්ම ආරම්භවෙන්නේ හිසේ ස්ථාන කීපයකින් හිසකෙස් ඉවත් වී තට්ටය පෑදෙන ආකාරයටයි.

මෙය හිස වටාම පැතිරෙන්නට පුළුවන්. ආයුර්වේදයේ දැක්වෙන ආකාරයට මෙය සහජව උප්පත්තිගතව ඇතිවෙන්න පුළුවන්. නැත්නම් රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව අඩුවීම නිසා ඇතිවන රෝග අවස්ථාවකි. මූලිකවම අපට දක්නට ලැබෙන්නේ හිස්සොරි, තට්ටය පෑදීම, හිසකෙස් වැටීම සහ හිසකෙස් පැසීම වැනි තත්ත්වයන්ය.

හිසකෙස් කී විට හිසකෙස් පමණක් නොවෙයි ඒ අවට තිබෙන චර්මය ආශි‍්‍රත එන රෝගත් තිබෙනවා. දිලීර රෝග, සමහර කුෂ්ට රෝග වැනි දේවල් නිසාත් කෙස්වල රෝග හටගන්නවා. ආයුර්වේදයේ මේ සඳහා කරන ප්‍රතිකර්මය වාතය සහ පිත කෝපතාවය සමනය කිරීමයි. එතැනදී ආහාර විහරණ ඉතාමත් වැදගත් වෙනවා. ඊට අමතරව මානසික තත්ත්වයන්හී පාලනය, නිසිකලට ස්නානය සිදුකිරීම, හොඳින් හිස පීරීම, ස්වභාවික ෂැම්පු වර්ග භාවිතය. උදා: දෙහිගැට, උළුහාල්, ගොඩපර තලා ස්වාභාවික ෂැම්පු එකක් ලෙස හිසට යොදන්න පුළුවන්. එවන් ස්වාභාවික ෂැම්පු වර්ග වෙළෙඳ පොළේ තිබෙනවා. කෘත්‍රිම රසායනික ෂැම්පු භාවිතයෙන් තවදුරටත් හිස්කබල වේලීමට පත්වන අතර හිස්හොරි තාවකාලිකව නැතිවුණත් නැවත නැවත ඇතිවෙන්න පුළුවන්.

මේ සඳහා සිදු කෙරෙන ආයුර්වේද ප්‍රතිකර්ම මොනවාද?

ආයුර්වේද පංචකර්ම ප්‍රතිකර්ම යටතේ විශේෂයෙන්ම ශීර්ෂ අභ්‍යාංග එනම් සම්බාහනය සිදු කෙරෙනවා. ඊට අමතරව තෙල් වර්ග හා හිස කුඩ්ච්චි උපයෝගීකර ගන්නවා.

ශීරෝධාරා මෙම රෝග අවස්ථා සඳහා යොදා ගන්නවා. මෙහිදී සමහර බෙහෙත් වර්ග විශේෂයෙන්ම නිල්‍යාදී, නිල් අවරිය, දිය හබරල, කීකිරිඳිය වැනි ඖෂධ වර්ග තිබෙනවා. ඒවා ඉතාමත් ගුණයි. මෙහිදී ඖෂධ යෙදීම පමණක් නොවෙයි මෙම ඖෂධ අප පාවිච්චි කළ යුත්තේ ශෝධන කර්ම සිදුකර, එනම් ශරීරය පිරිසුදු කිරීමෙන් පසුවයි. ඊට අමතරව වාත සහ පිත් දෝෂය සමනය කිරීමට කෂාය, ගුලිවර්ග පාවිච්චි කරනවා. අධික ලෙස හිසකෙස් යන කාන්තාවන් හෝ පිරිමින් ඉන්නවා නම් මේ වගේ ප්‍රතිකාර පද්ධතියක් තුළින් අප ඒ අයට ප්‍රතිකාර ලබාදෙනවා. මීට අමතරව කෘත්‍රිම කෑමවර්ග, කෘත්‍රිම දේ ආදියෙන් ඉවත් වී ස්වාභාවික ජීවන රටාවකට හුරු විය යුතුයි. අපට හිතකර විදිහේ ගුණදායක ආහාර ගත යුතුය. විශේෂයෙන්ම මුගුණුවැන්න, ගොටුකොළ වැනි පලාවර්ග හිසකෙස් වර්ධනයට අත්‍යවශ්‍යයි. මෙවන් ස්වාභාවික රටාවක් සමඟ ඉහත කී ප්‍රතිකර්ම පද්ධතිය අනුගමනය කළහොත් ඉතාමත් පහසුවෙන්ම මෙම රෝග තත්ත්වයන් අපට වළක්වා ගන්නට පුළුවනි.

උපදෙස් - විශේෂඥ උපදේශක වෛද්‍ය ආචාර්ය පතිරගේ කමල් පෙරේරා

දේශීය වෛද්‍ය විද්‍යායතනය