Jeewithaya Lassana Wenna Lassana Rupaya ජීවිතය ලස්සන වෙන්න ලස්සන රූපය 

 

ජීවිතය ලස්සන වෙන්න ලස්සන රූපයත් ප්‍රධාන හේතුවක්...

කාන්තාවකගේ රුව ගැන කතාකරනවිට ඇ සතු පංචකල්‍යාණය ප්‍රමුඛයි. ඒ අතරින්ද ඡවි කල්‍යාණය ප්‍රමුඛ වෙන්නේ අපේ විශාලතම ඉන්ද්‍රිය සම නිසයි. සුන්දර පැහැපත් සමක හිමිකාරිනියක වීම රූමත් කාන්තාවක් වෙන්න හේතුවෙන්නේ ඒ නිසයි.

රූ සිරියෙන් යුතු ලියක වීමට නම් ඒ වෙනුවෙන් ඔබේ කැපවීම ද අත්‍යාවශ්‍යයි. ඒ සදහා ආයුර්වේද රූපලාවණ්‍ය සත්කාර මගින් ඉතා හොඳ ප්‍රතිඵල ළඟාකරගත හැකියි. එනමුත් අප භාවිතා කරන රූපලාවණ්‍ය සත්කාර කෙතරම් අපේ සමට යෝග්‍ය ද යන්න පිළිබඳ දැනුවත් වෙන්න ඕනෑ.

ඕනෑම සමක් සඳහා ඕනෑම ආලේපනයක් භාවිතා කළ නොහැකි අතර සමේ ස්වභාවය හඳුනාගනිමින් සිදුකරන සත්කාර මගින් උසස් ප්‍රතිඵල ළඟාකරගත හැකියි.

 

 තෙල් සහිත සමට

කඩල පිටි මේස හැඳි - 1

සුදු හඳුන් කුඩු මේස හැඳි - 1

වෙනිවැල් ගැට කුඩු මේස හැඳි - 1

කස්තුරි කහ කුඩු මේස හැඳි - 1

මේවා සියල්ල රෝස වතුරින් මිශ්‍රකර මුහුණේ සහ බෙල්ලේ ආලේප කරන්න මින්ත්තු 20 කින් මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න.

 

 වියළි සමට

ඉදුණු අලිපේර තේ හැඳි 4

බිත්තර කහමදයක්

මී පැණී තේ හැඳි 1/2

දෙහි බිංදු 2 ක්

මේවා සියල්ල හොඳින් මිශ්‍රකර මුහුණේ ආලේපකර මිනිත්තු 20 කට පසු ඇල් ජලයෙන් සෝදන්න.

 

 සාමාන්‍ය සමට

ඉදුණු ගස් ලබු මේස හැඳි 4

යෝගට් තේ හැදි 1

සුදු හඳුන් මේස හැඳි 1

දෙහි බිංදු 2 ක්

ඉහත ද්‍රව්‍ය සියල්ල මිශ්‍රකර ආලේප කරන්න. මිනිත්තු 20 කට පසුව සෝදා හරින්න.

 

 ළප කැළැල් සහිත සමකට

කොහොඹ දලු අත්කහ සමඟ අඹරා ආලේප කිරීමෙන් සමේ ළප කැළැල් මැකී සම පැහැපත් වේ.

මුං ඇට පෙඟෙන්නට තබා කොහොඹ දලු සමඟ අඹරා ආලේප කිරිමෙන් කුරුලෑ කැළැල් දුරු වේ.

රාබු අලයක් තම්බා එළකිරෙහි බහා ආලේප කිරීමෙන් ළප කැළැල් වලින් තොර සමක් හිමිකරගත හැකියි.

 

සමේ රැළි වැටුණු ස්වභාවය දුරුකර ගැනීම සඳහා

තම්බාගත් අර්තාපල් අලයක් පොඩිකර මුහුණේ ආලේප කර මිනිත්තු 20 කට පමණ පසුව සෝදා දමන්න

එසේම නිරත්නරයෙන් ජලය පානය කිරිම, සමබල ආහාර වේලක් භාවිතා කිරිම මගින් සමේ රැළිවැටීම් පමාකරමින් වියපත් බව පමා කළ හැක.

පැහැපත් දීප්තිමත් සමක් උදෙසා ස්වාභාවික ශාකසාර බොහොමයක් වේ. ඒ අතර කෝමාරිකා යුෂ සුවිශේෂී වන්නේ ඕනෑම සමකට එය හිතකර ඖෂධීය ආලේපනයක් වන නිසයි.

කෝමාරිකා යුෂ සමඟ දෙහි බිංදු කිහපයක් මිශ්‍රකර සමමත ගල්වන්න.

නැවුම් එළවළු, පලා වර්ග, කොළ කැඳ ඇතුළු ඖෂධීය පානයන් ඔබේ සමේ දිදුළන පැහැයට හේතු වේ. බාහිරින් ආලේපන ගල්වන ඔබ අභ්‍යන්තර පෝෂණය පිළිබඳව ද සැලකිලිමත් වීමෙන් ඡවි කල්‍යාණියක වීමට වරම් ලැබිය හැක.

 

උපදෙස් - ආයුර්වේද වෛද්‍ය නදීකා ගජනායක