Kurulaa Prathikara කුරුලෑ ප්‍රතිකාර

 

කුරුළෑ යනු සමේ තෙල් ස්‍රාවය කරන ග්‍රන්ථින් අවහිර වීමෙන් ඇතිවන තත්වයකි. නිසි ප්‍රතිකාර මගින් කුරුළෑ පාලනය කුරුළෑ නැවත ඇතිවීම වලක්වා ගැනීම සහ කුරුළෑ ලප කැළැල් ඉවත් කිරීම සිදුකල හැක.

 

කුරුළෑ ඇතිවන්නේ කෙසේද?


අපගේ සම මතුපිටට විවෘත වන ස්නේහ ස්‍රාවී ග්‍රන්ථින් ඇති අතර මෙයින් තෙල් සහිත දියරයක් සම මතුපිටට ස්‍රාවය කරයි. මෙම ස්‍රාවය සම තෙත්ව සහ මෘදුව තබා ගනී. මෙම ග්‍රන්ථින් අවහිර වීමෙන් සහ අසාදන වීමෙන් කුරුළෑ ඇතිවේ.

 

කුරුළෑ යනු රෝගී තත්වයක්ද ?


සාමාන්‍යයෙන් තරුණ වයසේදී ඇතිවන හෝමෝන වෙනස්කම් නිසා කුරුළෑ ඇතිවේ. එය රෝගී තත්වයක් නොවූවත් එමනිසා මානසික ආතතිය, ඉදිරිපත් වීමේ මැලිකම සහ ස්ව අභිමානය අඩුවීම වැනි මානසික පීඩාකාරී තත්වයන් ඇතිවිය හැක.

මෙයට අමතරව අසාමාන්‍යය ලෙස ශරීරයේ හෝමෝන වෙනස් වන රෝගී අවස්ථා කීපයකදී කුරුළෑ අධික ලෙස ඇතිවිය හැකි අතර එම කුරුළෑ පාලනය කිරීමද අසීරුය. මෙම රෝගී තත්වයන්  වන්නේ ඩිම්බකෝෂ ආශ්‍රිතව ඇතිවන අසාමාන්‍යය හෝමෝන වෙනස්කම් (Polycystic Ovary Syndrome) ඩිම්බකෝෂයේ සහ අධිවෘක්ක ග්‍රන්ථියේ ඇතිවන ගෙඩි වර්ග ආදියයි.

 

කුරුළෑ වැඩිවන  හේතූන් මොනවාද?

 

  • සමහර උපත් පාලන පෙති වර්ග
  • සමහර ඖෂධ වර්ග
  • ශරීර වර්ධන හෝමෝන (ඇන්ඩ්‍රජන්)
  • ඝණ තෙල් සහිත රුපලාවන්‍ය ආලේපන.
  • මාසික ඔසප්වීම ආසන්නයේ.
  • කුරුළෑ නිතර ඇල්ලීම සහ කැඩීම නිසා අසාදන වැඩිවීම සහ කැළැල් ඇතිවීම.
  • අධික සීනි සහිත ආහාර වර්ග  (සමහර අවස්ථා වලදී කුරුළෑ වැඩිකිරීමට හේතුවේ.)

 

කුරුළෑ සදහා ප්‍රතිකාරක තිබේද?


කුරුළෑ සදහා සුදුසු තනි ප්‍රතිකාර ක්‍රමයක් නොමැත. ප්‍රතිකාර සදහා ඖෂධ වර්ග ගණනාවක් ඇති අතර කුරුළෑ වර්ගය, ප්‍රමාණය සහ සමේ තත්වය අනුව වෛද්‍යවරයා විසින් නියම කරන ප්‍රතිකාර වෙනස් වේ. එක ප්‍රතිකාර වර්ගයක් ප්‍රතික්ෂේප කිරීමට පෙර අඩුම තරමින් මස දෙකක් වත් භාවිතා කල යුතුය.

සුළු කුරුළෑ තත්වයන් සදහා සම මතුපිට ආලේප කරන ක්‍රීම් පමණක් ප්‍රමාණවත් වේ. ඒ හැර මුඛ මාර්ගයෙන් ගතයුතු ප්‍රතිජීවක ඖෂධ, හෝමෝන ප්‍රතිකාර සහ විටමින් A (Isotretinoin) ප්‍රතිකාර ඇති අතර මෙයින් සමහර ඖෂධ භාවිතයේදී රුධිර පරීක්ෂාවන් කිරීමටද සිදුවේ.

 

කුරුළෑ ලප කැළැල් සදහා ප්‍රතිකාරක තිබේද ?


කුරුළෑ ලප කැළැල් සදහා ‘කෙමිකල් පීලින්’ (Chemical Peeling) ප්‍රතිකාරය සහ තවත් ප්‍රතිකාර වර්ග කීපයක් ඇත.
මෙම ක්‍රම මගින් ක්‍රම ක්‍රමයෙන් සමේ ඇති ලප සහ කැළැල් අඩුකර ගත හැක.

 

ඔබ කල යුත්තේ කුමක්ද ?

 

  • කුරුළෑ ඇල්ලීමෙන් සහ කැඩීමෙන් වලකින්න.
  • මුලික අවස්ථාවේදීම ප්‍රතිකාර ගැනීම සහ එමගින් ලප සහ කැළැල් ඇතිවීම අවම කර ගත හැක.
  • ඖෂධ පාවිච්චිය පිළිබද නිවැරදි ක්‍රමය අනුගමනය කිරීම සහ එක් ඖෂධයක් අඩුම තරමින් මාස දෙකක් වත් භාවිතා කිරීම.
  • තෙල් රහිත රුපලාවන්‍ය ආලේපන ආලේප කිරීම.
  • මුහුණ සෝදන විට තදින් ඇතිල්ලීම නොකිරීම සහ ඒ සදහා සුදුසු පිරිසිදුකරකයක් භාවිතා කිරීම.
  • ආහාරයට අලුත් එළවලු සහ පලතුරු එක් කිරීම.