Rukshan Jayasekara



ලිංගාශ්‍රිත රෝග පිළිබඳව නිසි වැටහීමක් නොමැතිකමින් ජීවිත අවුල් කරගන්නා පිරිස් අප අතර දැකිය හැකියි. ඒත් ලිංගික රෝග මොනවාද යන්න නිවැරදිව හඳුනාගෙන ඊට නිසි ප්‍රතිකාර ලබාගැනීම තුළින් ලිංගික රෝග බොහෝමයක් සුව කරගත හැකි වෙනවා.
නිර්නාමිකව අප වෙත වෛද්‍ය ගැටලු එවූ පාඨකයින් කිහිප දෙනෙකුගේ මෙන්ම අනුරාධපුර සාලියපුර ‘ආරෝග්‍යා’ පාඨකයෙකුගේ ඉල්ලීම මත මෙවර ලිංගික සෞඛ්‍ය පිටුව ලිංගික හර්පීසස් රෝගය සඳහා වෙන් කෙරෙනවා.


මේ රෝගය පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ශාන්ත හෙට්ටිආරච්චි මහතා අදහස් දැක්වූයේ මෙසේයි. ලිංගික හර්පීස් රෝග තත්ත්වය ශ්‍රී ලංකාවේ සුලබව දක්නට ලැබෙන රෝගී තත්ත්වයක්. ලිංගික ප්‍රදේශවල තුවාල ඇතිවීම මේ රෝගයේ ප්‍රධාන ලක්‍ෂණ වෙනවා.
lingika herpesමේ රෝගයේ රෝග කාරකය වෛරස් ආසාදනයක්. Herpes Simplex හර්පීස් සිම්ප්ලෙස් නැමැති වෛරසය එක හා දෙක ලෙස කොටස් දෙකකින් යුක්තයි.
මෙහි දෙවැනි කාණ්ඩයේ (HS2) රෝග තත්ත්වයේදී ලිංගික තුවාල ඇති කරනවා.
මෙම රෝගී තත්ත්වය හටගත් අයෙකුගේ ශරීරයෙන් සති දෙකක් ඇතුලත රෝග ලක්‍ෂණ මතු වෙනවා. රෝග ලක්‍ෂණ ලෙස උණ, ශාරීරික අපහසුතා, සමහර අවස්ථාවලදී මුත්‍රා දැවිල්ල, බිබිලි මතුවිය හැකි ස්ථානවල වේදනාව සහ කැසීම, වැනි තත්ත්ව සතියකට පෙර ඇති වෙනවා. ඉන් පසු ලිංගේන්ද්‍රිය සහ අවට දිය බිබිලි ඇති වෙනවා. මේ බිබිලි දවසක් හෝ දෙකක් ඇතුලත පිපිරී යාමෙන් පසු තුවාල බවට පත් වෙනවා.


මෙවැනි තුවාල රැසක් ඇතිවිය හැකියි. නමුත් මෙම තුවාල ගැඹුරු තුවාල බවට පත් වන්නේ නැහැ. පළමු වරට ලිංගික හර්පීස් රෝගී තත්ත්වය ඇති වන විට තුවාලවල වේදනාව වැඩි වශයෙන් දැනෙනවා. දෙවැනි හෝ තුන්වැනි අවස්ථාව වන විටදී තුවාල වල වේදනාව එතරම් දැනෙන්නේ නැහැ.


වෛරසය ශරීරගත වී මාසයක් හෝ මාස කීපයක් ගතවුවත් සමහර දෙනාට රෝග ලක්ෂණ මතු නොවිය හැකියි. නමුත් රෝග කාරක වෛරසය ශරීරයේ දිගටම පවතිනවා. මෙවැනි ආසාදන රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදන ලෙස සැලකෙනවා. නමුත් මෙවැනි රෝගීන් තවත් අයෙකු සමග ලිංගික සබඳතා පැවැත්වුවහොත් ඒ අයට මෙම රෝගය වැලදෙනවා.


ලිංගික හර්පීස් රෝගයට ප්‍රතිකාර තිබෙනවා. වඩාත් වැදගත් වන්නේ තුවාල සහිත පෙදෙස ඉතා හොඳින් පිරිසුදු කොට එම ප්‍රදේශය වියලිව තැබීමයි. මෙහිදී ලුණු වතුරින් දිනකට තුන් වරක්තුවාල සේදීම කළ යුතුයි. ලුණු වතුර සාදා ගැනීමේදී උණුකර නිවාගත් වතුර ලීටරයකට කෑමට ගන්නා ලුණු කුඩු තේ හැඳී 2 ක් දමා දියකර ගැනීම ප්‍රමාණවත් වෙනවා.


තුවාල සේදීම සඳහා පිරිසුදු පුළුන් හෝ ගෝස් කැබලි ගත යුතුයි. වේදනාව ගැන සැලකීමකින් තොරව එක්වරකට විනාඩි පහක් පමණ වන සේ දිනකට තුන්වරක් තුවාල පිරිසුදු කළ යුතු වෙනවා. මේ ප්‍රතිකර්මයෙන් පසු වෛද්‍යවරයා ලබාදෙන ඖෂධ භාවිතා කළ යුතුයි.තුවාල පිරිසුදු නොකිරීමෙන් තුවාල පැසවා එම ප්‍රදේශ එකට ඇලීම සිදු වෙනවා. Adhesion නැමැති තත්ත්වය නිසා කාන්තාවන්ගේ යෝනි පෙදෙස එකට ඇලීමෙන් ගැටලු ඇති වෙනවා.


මේ රෝගය වෛරස් රෝගයක් නිසා එක්වරක් සෑදුන කෙනෙකුට ලිංගික එක්වීමකින් තොරවද නැවත වතාවක් රෝගය සෑදීමේ හැකියාව තිබෙනවා. එයට හේතුව මුල් වතාවේ ශරීරගත වූ වෛරසය ඕනෑම මොහොතක නැවත සක්‍රිය විය හැකි වීමයි. නැවත රෝග ලක්ෂණ මතුවීමේදී ඇතිවන තුවාල ඉතාම අඩු ප්‍රමාණයක් වෙනවා. පුකාලීනව ඇතිවන තුවාල සඳහා ද පළමු ප්‍රතිකාරය ම කළ හැකියි. නමුත් තුවාල සුව නොවෙනවා නම් පමණක් වෛද්‍යවරයෙකු මුණ ගැසීම වැදගත් වෙනවා. නැවත රෝග ලක්ෂණ මතුවිය හැකි පහසුව අවස්ථාව හැටියට ආර්ථවය ඇතිවන දිනවලදී, සමහර ගර්භණී අවස්ථාවලදී, උණ රෝග අවස්ථාවලදී මානසික ආතතිය නිසා සහ Steroids ස්ටෙරොයිඩ් වැනි ඖෂධ භාවිතය දැක්විය හැකියි.
 මෙවැනි රෝගයකදී කලබල නොවිය යුතුයි. එමෙන්ම එය විවාහයට බාධාවක් කර නොගත යුතුයි. සුදුසු වෛද්‍යවරයෙක් හමුවී නිසි ප්‍රතිකාර ගැනීමෙන් රෝගය සුව කර ගත හැකි වෙනවා. මේ රෝගයෙන් පසු කිසිදු අතුරු ආබාධයක් ඇති වන්නේ නැහැ.