Rukshan Jayathilaka Gurukam Advertisement

ලිංගික සංසර්ගය

ලිංගික සංසර්ගය, හෝ මෛථූනය හෝ සංවාසය, යනු, ලිංගික සුඛය, ප්‍රජනනය හෝ, ඒ දෙකම හෝ සඳහා, ප්‍රධාන වශයෙන්, සාමාන්‍යයෙන් උදර්ජිත අවස්ථාවෙහි පවතින පුරුෂයාගේ ශිෂ්නය, ස්ත්‍රියගේ යෝනිය තුලට ඇතුළු කිරීම සහ තෙරපුම වෙයි. යෝනි මාර්ගමය සංසර්ගය හෝ යෝනි මාර්ගමය සේවනය ලෙසින්ද මෙය හැඳින්වෙයි.

විෂම ලිංගිකයින් දෙදෙනෙක් අතර ඇතිවන ආදරයේ උච්ඡතම අවස්ථාව වන්නේ ලිංගික සංසර්ගයයි. යෞවනයේ පසුවන තරුණ තරුණියන්ගේ ආදරය මානසික මෙන්ම කායික අවශ්‍යතාවයකි. මානසික අවශ්‍යතාව සපිරුණු වහාම ඔවුන් කෙමෙන් කෙමෙන් ලංවන්නේ කායික අවශ්‍යතාව සපුරා ගැනීමටයි.

යෝනි මාර්ගය ලෙස හඳුන්වන්නේ කාන්තාවගේ බාහිර ලිංගික අවයව සහ අභ්‍යන්තර ලිංගික අවයව සම්බන්ධ කරනා කුහරයක්‌ වැනි වූ අවයවයකට වේ. මෙය වෛද්‍ය විද්‍යාව තුළ "වැජයිනා" ලෙස හඳුන්වයි.මෙම අවයවය පරිණත වන්නේ දියණිය මල්වරවීමත් සමඟයි. යෝනි මාර්ගය කාන්තාවගේ ලිංගික සංසර්ගයට ඉතා වැදගත් අවයවයක්‌ ලෙස හඳුන්වා දිය හැකියි. යෝනි මාර්ගයේ බාහිර විවරය කන්‍යා පටලය, කන්‍යා පටලයේ වටේට පිහිටා ඇති පටකවලින් යම්කිසි ප්‍රමාණයකට ආවරණය වී තිබේ. යෝනි මාර්ගයේ උඩ කොටස ගැබ්ගෙල සහ ගර්භාෂය සමග සම්බන්ධ වී ඇත.

යෝනි මාර්ගය ලෙස හඳුන්වන අවයවය හොඳින් විස්‌තාරනය විය හැකි අවයවයක්‌ වන අතර ලිංගික සංසර්ගයේදී මෙහි දිග සහ පළල අවශ්‍ය පරිදි වෙනස්‌ වේ. යෝනි මාර්ගයේ ඇති වන විවිධ ස්‍රාවයන් ලිංගික සංසර්ගය සඳහා වැදගත් වේ. එමෙන්ම ඔසප් චක්‍රයේ විවිධ හෝමෝන සාන්ද්‍රණ මත යෝනි මාර්ගයේ ඇතිවන ස්‍රාවයන්ගේ සහ එහි ගුණාත්මක භාවයේ වෙනසක්‌ ඇතිවේ. සමහර කාන්තාවන්ට මෙය මානසික වඳයක්‌ වුවත් බොහෝ කාන්තාවන්ට මෙම වෙනස මගින් ඔසප් චක්‍ර පිළිබඳව අවබෝධයක්‌ ලබා ගත හැකි වේ.

කාන්තාවගේ ලිංගික සංසර්ගයේ දී සම්පූර්ණ තෘප්තිය යෝනි මාර්ගය විවරයට ඉදිරියෙන් ඇති "ක්‌ලිටෝරිස්‌" " නැමති අවයවය සමඟ බැඳි ඇත. ඊට අමතරව යෝනි මාර්ගයේ ඉදිරිපස බිත්තිය මගින් යම්තරමක්‌ දුරට ලිංගික සංසර්ගයේදී තෘප්තියක්‌ ලැබීමට කාන්තාවට සිදුවේ.

මෙයට අමතරව ප්‍රජනන ක්‍රියාවලියේදී ගර්භාෂය තුළ වැඩෙන දරුවා බාහිර ලෝකයට ගෙනයාමේදී ඉතා වැදගත් අවයවය ලෙස යෝනි මාර්ගය හඳුන්වාදිය හැකියි. මෙම යෝනි මාර්ගයේ ඉදිරිපස බිත්තිය මත ගර්භාෂය පිහිටා ඇති අතර පසුපස බිත්තිය මත ගුද මාර්ගය පිහිටා ඇත. යෝනි මාර්ගයේ මාංශපේශි සහ පටකවල දුර්වලතා ඇති වනවිට මුත්‍රාශය ගුද මාර්ගය තුළට නෙරායාමක්‌ හෝ ගුද මාර්ගය යෝනි මාර්ගයට නෙරායාමක්‌ වැනි රෝග තත්ත්වයක්‌ ඇතිවෙන්නට පුළුවනි. ගර්භාෂය යෝනි මාර්ගයට ඉහළින් පිහිටා ඇති හෙයින් යෝනි මාර්ගයේ පටක දුර්වල වනවිට ගර්භාෂය යෝනි මාර්ගයට පහත්වීම හෙවත් අපි සාමාන්‍යයෙන් හඳුන්වන ගර්භාෂය පහත්වීමේ රෝග තත්ත්වය ඇති වේ.

ඒත් එක්‌කම දරුවෙකු මෙලොවට බිහිවනවිට මෙම යෝනි මාර්ගය ඉතාමත් විශාලවීමක්‌ වේ. මෙය ස්‌වභාවික ක්‍රියාවලියකි. මේ සඳහා අවශ්‍ය හෝමෝන පසුබිම මවගේ ගර්භනි කාලය තුළ ක්‍රමානුකූලව සිදු වේ. යෝනිමාර්ගය කෙතරම් පළල් වෙනවාද කිවහොත් සෙන්ටිමීටර් 10 ක්‌ පමණ හිසක විශ්කම්භයක්‌ ඇති ළදරුවෙකුට මෙලොවින් බිහිවීම සඳහා ප්‍රමාණවත් වන පරිදි මෙය පළල් වේ. මෙහිදී යෝනි මාර්ගයට කිසිදු හානියක්‌ නොවීම තවත් විශේෂත්වයකි.

යෝනි මාර්ගයේ මාංශපේශිවල තානය රදා පවතින්නේ යෝනි මාර්ගයේ පටකවලට ලබාදෙන ව්‍යායාම මතය. මේ නිසා යෝනි මාර්ගයේ පටක සහ බිත්තිවල දුර්වලතා ඇති වූ විට මාංශපේශි ශක්‌තිමත් කිරීමට වෙනම ව්‍යායාම ක්‍රමයන් වෛද්‍යවරුන් විසින් කාන්තාවන්ට හඳුන්වා දේ. මෙවැනි ව්‍යායාම මගින් යෝනි මාර්ගය අවට ඇති පටක ආරක්‌ෂා කර ගැනීමට හැකිවේ.

ව්‍යායාම කිරීම මගින් යෝනි මාර්ගය තුළට ගර්භාෂය පහත්වීම හෝ මුත්‍රාශය පහත්වීම යම්තාක්‌ දුරකට මඟ හරවා ගන්නට පුළුවනි.

ලිංගික ක්‍රියාවේ යෙදෙනවිට යෝනි මාර්ගයේ තිබෙනා විවිධ ග්‍රන්ථි මගින් යෝනි මාර්ගයට ස්‍රවයන් ස්‍රාවය වේ. කන්‍යාපටලය පිටතින් ඇති පටක වල තිබෙන තොල්වැනි පටක දෙකේ තිබෙනා බාතෝලින් ග්‍රන්ථි මගින් යෝනි මාර්ගය තුළට සහ මතුපිටට ඉතා විශාල ප්‍රමාණයෙන් ස්‍රාවයන් පිට වීමක්‌ සිදුවේ. මෙම ක්‍රියාවලිය ලිංගික උත්තේජනයකදී කාන්තාවන්ගේ සිදුවේ.

මිනිසාගේ සෞඛ්‍ය සම්පන්න බව සඳහා කායික සෞඛ්‍යය, මානසික සෞඛ්‍යය හා ලිංගික සෞඛ්‍යය යන තුනම වැදගත් වේ. මිනිස් සිරුර ක්‍රියාත්මක කරන මූලික ලිංගික අවයවය ලෙස අපේ මනස හැඳින්විය හැකිය. සියලුම අදහස් හා උත්තේජන මනසේ ඇතිවන බැවිනි. ආකර්ෂණය, ආශාව, උත්තේජනය, උත්තේජනයෙහි උපරිමයට පත්වීම යන සියලුම ක්‍රියාවලීන් චක්‍ර ක්‍රමයකින් සිරුර තුළ ඇති වෙයි. මිනිසාගේ ලිංගික ක්‍රියාවලිය චක්‍රයකි. එය මනෝමූලික චක්‍රයක් යැයි කියනු ලැබේ. දරුවකුගේ කායික වර්ධනය හා බුද්ධි වර්ධනය ගැන මවුපියන්ගේ වැඩි අවධානය යොමු වුවත් දරුවාගේ ලිංගික වර්ධනය පිළිබඳ වැඩි අවධානයක් යොමු නොවේ. ලිංගික වර්ධනයේදීත් ලිංගික ඉන්ද්‍රියයන් ගේ කායික වර්ධනය හා හෝමෝනවල බලපෑම ඉතා වැදගත් වේ.

යමකු වැඩිහිටි වියට එළැඹෙන විට ආදර හැඟුම් ඇතිවීම ස්වභාවික ක්‍රියාවලියකි. යොවුන් වියේදී ඇතිවන මෙම ස්වාභාවික වෙනස්කම් හේතුවෙන් තරුණ තරුණියන් අතර සබඳතා ඇතිවේ. ජීවිතයේ කිසියම් ස්ථාවරත්වයක් ඇති වූ විට මොවුහු විවාහ වෙති. විවාහ වී හෝ නොවී ස්ත්‍රියක් පුරුෂයකු අතර ඇතිවන සබඳතා යුවළ සම්බන්ධතා ලෙස හැඳින්වේ.

එසේ ඇතිවන සබඳතාවකින් අපේක්‍ෂිත අරමුණු කිහිපයකි. ඒවා ආර්ථික සෞභාග්‍යය, මානසික සෞභාග්‍යය, කායික සෞභාග්‍යය හා සමාජයීය සෞභාග්‍යය ලෙස හැඳින්විය හැකිය. යුවළක් අතර ඇතිවන සම්බන්ධයක් විවාහයකින් ස්ථිර කරගන්නට උත්සාහ කරන්නේ විවාහය මඟින් පුද්ගලයකු තනිව ජීවත් වනවාට වඩා පහසුවෙන් තම දෛනික කටයුතු බෙදා හදාගෙන කළ හැකි නිසාය. තවත් අතකින් තනිකම දුරලාගන්නට, මානසික මෛන්ම ශාරීරික අවශ්‍යතා හුවමාරු කරගැනීමට විශ්වාසවත් සහකරුවකු සිටීම වටිනේය.

කායික සෞභාග්‍ය ලෙස කායික සුවය හා පරපුර රැක ගැනීම සඳහා දරුවන් බිහිකිරීම ද යුවළක් වශයෙන් සමාජයීය වශයෙන් ඇතිවන බැඳීමෙන් අත්වන යහපත සමාජයීය සෞභාග්‍යය ලෙස ද සරලව හැඳින්විය හැකිය.

විවාහක යුවලක් අතර සිදුවන එක්වීම හුදෙක් කායික බැඳීමකට පමණක් සීමා නොවූ මානසික හා සමාජයීය වැදගත්කමක් සහිත වූවකි. කායික සුවයක් මානසික තෘප්තියක් මෙන්ම සමාජ වගකීමක් එහි ඇත.

ඕනෑම සමාජයක් ගොඩනැඟෙන්නේ ‘පවුල’ නමැති ඒකකය මතය. යහපත් පවුලක් ගොඩනඟා ගැනීම සඳහා පදනම සකස් වන්නේ යුවළක් අතර ආදර සබඳතාවක් ගොඩ නැගෙන මුල් අවස්ථාවේදීය. විවාහය දක්වා ආදරයෙන් වෙලී සිටින යුවළක් විවාහයෙන් පසුව ඒ ආදරය වඩාත් වර්ධනය වන පරිදි කටයුතු කළ යුතුය. විවාහයේ සාර්ථකත්වය රඳා පවතින්නේ දෙදෙනා තුළ ඇති ආදරය, විශ්වාසය, අන්‍යොන්‍ය ගෞරවය හා ආකර්ෂණය මතය. ඒ සඳහා ස්ත්‍රිය සහ පුරුෂයා යන දෙදෙනා තුළම යහපත් මනෝ විද්‍යාත්මක බැඳීමක් ඇති වීම වැදගත්ය.

ඒ සඳහා කරුණු තුනක් වැදගත් වේ. ඉන් පළමුවැන්න Emotional intimacy හෙවත් හැඟීම්වල සමීපතාව වේ. එයින් අදහස් කෙරෙනුයේ යුවළක් එකිනෙකා ගේ හැඟීම්, ආශාවන් හා රුචි අරුචිකම් හොඳින් වටහා ගැනීමයි. සැමියා බිරියගේ මෙන්ම බිරිය සැමියගේ අදහස් ආකල්ප මෙන්ම ඔහු / ඇය කැමති අකැමැති දේ හඳුනාගෙන ඒ අනුව කටයුතු කිරීම ඉතා වැදගත්ය. . අද බොහෝවිට විවාහක යුවළ අතර අසමගිතා වර්ධනය වන්නේ පෙම් කරන කාලයේදී මෙන් නොව විවාහයෙන් පසුව ඔවුනොවුන්ගේ සිතැඟිවලට පටහැනිව කටයුතු කිරීම නිසාය. එකිනෙකාගේ දුක සතුට හඳුනාගෙන ඒවා සමව බෙදා ගැනීමෙන් ලබන මානසික සුවය ඕනෑම වයස් කාණ්ඩයකට අයත් යුවලකට අසීමිත ලෙස යහපත් ප්‍රතිඵල අත්කරයි.