Rukshan Jayathilaka

පුංචි පැටියෙක් තමන්ගේ කැදැල්ලට එකතු වනතුරු බලාගෙන ඉන්න අඹුසැමි යුවලක් මුහුණ දෙන ගැටලු ඒවා නිරාකරණය කරගත යුතු අයුරු අප වරින්වර සාකච්ඡා කරමින් එමින් සිටින බව ඔබ දැන් දන්නවා.
දරුවෙකු පිළිසිඳ ගැනීම ප්‍රමාදවන හැම අවස්ථාවකම කාන්තාව දෙසටම ඇඟිල්ල යොමු කළද, කාන්තාවට එහි බර වැටෙන්නේ සියයට පනහක ප්‍රමාණයක් පමණයි. ඉතිරි සියයට පනහක දුර්වලකම හිමිවන්නේ පිරිමි පාර්ශවයටයි. නමුත් මේ ගතානුගතික සමාජයේ පිරිමි පාර්ශවයට වරද පැටවෙන්නේ නැති තරම්.
මෙය කාගේවත් වරදක් නොවන නමුත් රෝගී තත්ත්වයක් බව කිව යුතුය. මදසරුභාවයට පත්වන පිරිමින් තමන් එම තත්ත්වයට පත්වන්නේ ඇයි ද යන්න මහනුවර ශික්ෂණ රෝහලේ නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව් අබේකෝන් මහතා ගෙන ආ තොරතුරු මෙසේයි.
“දරුවෙකු බිහි කිරීමේ මහඟු ක්‍රියාවට පිරිමියෙකුගෙන් ලැබෙන දායකත්වය අති මහත්. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධාන දත්ත අනුව, සෑම පිරිමින් හත් දෙනෙකුගෙන් එක් අයෙකුට මදසරුභාවය ඇති කිරීමේ හේතූන් ඇති බව සොයාගෙන තිබෙනවා. එය සමස්ත ජනතාවම දැනගත යුතු කරුණක්.
කලලයක් කාන්තාවකගේ ගර්භාෂය තුළ වැඩෙන්නේ ශුක්‍රාණුවක පූර්ණ උදව්ව ඇතිවයි. එහෙයින් පිරිමියෙකුගේ ශුක්‍රාණු ජීවියෙකුගේ උපත තීරණය කරන ප්‍රධානතම සාධකය ලෙස ද සැලකිය හැකියි.


පිරිමින්ගේ මදසරුබව හෙවත්, කලලයක් තැනීමට අසීරුවන සාධක කවරක්දැයි බලමු.
1. නොදැනුවත්කම
2. ශුක්‍රාණු නිෂ්පාදනය වීමේ (හැදීමේ) ගැටලු
3. ශුක්‍රාණු පිටතට පැමිණෙන ගමන් මාර්ගයේ දුර්වලතා
4. ශුක්‍රාණු නිසිපරිදි යෝනි මාර්ගයේ තැන්පත් කිරීමේ අපහසුතා
5. ශුක්‍රාණුවල ගුණාත්මක බවෙහි දුර්වලතා
මේ පිළිබඳව වෙන් වෙන්ව ගත් කළ තමන්ට යම් ගැටලුකාරී තත්ත්වයක් වේ නම් විසදා ගැනීම පහසු වෙයි.


1. නොදැනුවත්කම
ශුක්‍රාණුවක් ඩිම්බයක් සමඟ එක්වීමට නම්, ඊට සුදුසු දින වකවානු ඇති බව බොහෝ අඹුසැමියන් නොදැන සිටීම මූලිකම ගැටලුවයි. මෙම සරල ගැටලුව විසඳා ගැනීමට හොඳම මාර්ගය තමන්ගේ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය නිලධාරිනියයි.
තවත් අවස්ථාවල දක්නට ලැබෙන දුර්වල තත්ත්වයක් වන්නේ ඇතැම් පිරිමින් කාය වර්ධන හෝමෝන ඖෂධ ලෙස පාවිච්චි කිරීමයි. තමන්ගේ සිරුරේ හැඩය හෝ ශක්තිමත් බව උදෙසා ලබා ගන්නා ඇතැම් හෝමෝන වර්ගවල බලපෑම මත ශුක්‍රාණු නිපදවීම බාල කරනවා.

2. ශුක්‍රාණු නිෂ්පාදනය වීමේ (හැදීමේ) ගැටලු
මෙම තත්ත්වය උපතේදීම ඇතිවීමේ ඉඩක් ද පවතිනවා. ඇතැම් පිරිමින්ගේ මානසික ආතතිය හේතුවෙන් ද මෙම තත්ත්වය ඇතිවිය හැකියි. අධික වැඩ රාජකාරී හෝ ආර්ථික ගැටලු හෝ දරුවන් නොමැති බව සිතමින් තැවීම වැනි තත්ත්ව මත, පිටියුටරි ග්‍රන්ථියේ හෝ හයිපොතැලමසයේ හෝ ඒ ආශි‍්‍රත ග්‍රන්ථිවල බලපෑම මත හා ඉන් ඇති කරන හෝමෝනවල බලපෑම මත ශුක්‍රාණු වැඩීමට බාධා ඇති කරනවා.

3. Undes testes හෙවත් වෘෂණ උපතින් පසුව නිසි තැනට නොපැමිණීම මත ද ශුක්‍රාණු නිපදවීමේ ගැටලු ඇති කරයි. දරුවෙකුගේ කලලයේදී වෘෂණ උදරය දෙසට වන්නට ඇති අතර උපතින් පසුව ස්වභාවිකවම ක්‍රමිකව කෝෂ තෙක් පැමිණිය යුතු වුවද ඇතැම්විට කෝෂ තෙක් නොපැමිණ තිබිය හැකියි.

4. උපතේදීම ශුක්‍රාණු ගමන් ගන්නා නාල පිහිටා නොතිබීම ද ඇතැම් පිරිමින්ගේ දක්නා ලැබෙන තත්ත්වයක්.
ජාන විකෘතිතා ඇති පිරිමින්ගේ ද ශුක්‍රාණු නිපදවීම හෝ මේරීමේ ගැටලු ඇතිවිය හැකියි.
ඇතැම් පුද්ගලයින් අධික උෂ්ණත්වයක් සහිත ස්ථානයක කටයුතු කිරීම හෝ තද යට ඇඳුම් භාවිතය ද ශුක්‍රාණු නිපදවීමට බාධාවක්. සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකුගේ ශරීර උෂ්ණත්වයට වඩා වෘෂණ කෝෂවල උෂ්ණත්වය අඩු තත්ත්වයක පවතී.
තුනී පටලයකින් සැදුම්ලත් සියුම් සමක් සහිත ආවරණයකින් වෘෂණකෝෂ පිහිටා තිබෙන්නේ ඒ නිසයි. නමුත්, තද හෝ ගණකම් යට ඇඳුම් ඇඳීමෙන් වෘෂණ කෝෂ තද වීමටත් උෂ්ණත්වය වැඩිවීමටත් ඉඩ තිබේ. එය අහිතකර වන්නට පුළුවන.
වෘෂණ කෝෂ වටා නහර ගැටගැසීමක් වැනි රෝග තත්ත්වයක් මත ද ශුක්‍රාණු නිපදවීම අඩු වී යා හැකියි. නහර ගැටගැසීමකදී, වෘෂණ කෝෂ වටා අධික රුධිරය ප්‍රමාණයක් ගැවසෙන අතර රුධිරයේ උණුසුම මත, ශුක්‍රාණු නිපදවීම ප්‍රමාද වීම හෝ අඩුවීම සිදුවෙයි.
ෆයිලේරියා වැනි රෝග තත්ත්ව මතද වෘෂණ කෝෂ උෂ්ණත්වය වැඩි වීමෙන් ශුක්‍රාණු නිපදවීම ප්‍රමාද වෙයි. විවිධ ආසාදන තත්ත්වයන් ද මෙයට හේතුවෙයි. කම්මුල්ගාය රෝගය වයස අවුුරුදු 12න් පසුව වැළඳීම එක් අවස්ථාවක් සේ පෙන්වා දිය හැකියි.
කම්මුල්ගාය රෝග තත්ත්වය ඇති කිරීමට ඉවහල් වන වෛරසය වෘෂණ කෝෂවල ශුක්‍රාණු නිපදවන සෛල විනාශ කිරීමක් සිදු කරනවා. එමෙන්ම බැක්ටීරියා ආසාදන මතද මෙම තත්ත්වය ඇතිවිය හැකියි. දිගුකාලීන රෝගී තත්ත්වයන් මත ද ශුක්‍රානු මේරීම නිපදවීම බාලවිය හැකියි.

1.ටියුබර්කියුලෝසිස්
2.මැල්නියුට්‍රිෂියල්
3.දුම්පානය හා මත්පැන් භාවිතය

අප විසින්ම සිදු කරන ඇතැම් ප්‍රතිකාර ක්‍රමවේද මත ද ශුක්‍රාණු නිපදවීම අඩපණ වෙයි. ඒවා නම්, පිළිකා වැනි රෝග තත්ත්වයන්ට ලබා ගන්නා ඖෂධ, එන්නත් හෝ විකිරණ ප්‍රතිකාර ද විය හැකියි.
තවත් විටෙක ගැස්ට්‍රයිටීස් රෝගයට නිතර නිතර ලබා ගන්නා ඖෂධ මෙන්ම අධික රුධිර පීඩනයට, වලිප්පුවට, මානසික ආතතිය සඳහා ලබා ගන්නා සමහර ඖෂධ හේතුවෙන් ද ශුක්‍රාණු නිපදවීම අඩපණ විය හැකි බව සොයා ගෙන තිබෙනවා.

සමන්ති වීරසේකර