Advertisement Gurukam Advertisement

මාස් ශුද්ධියමාස් ශුද්ධියේදී අසාමාන්‍ය අයුරින් රුධිරය පිටවන අවස්ථා තිබේ. එය වැඩි දින ගණනක් පවතින අවස්ථාද වෙයි. මෙය බොහෝ යුවතියන්ට කාන්තාවන්ට පීඩාවක් වන්නේ මේ නිසාම ඔවුන් තම දෛනික කටයුතු අතපසු කරගන්නා බැවිනි. කෙසේ වුවත් මෙය මානසිකව හෝ කායිකව පීඩා විඳිය යුතු තත්ත්වයක් නොවේ. එයට හේතුව නම් වෛද්‍ය ප‍්‍රතිකාර මඟින් මෙය යථා තත්ත්වයට පත්කර ගැනීමට (සරල හා සංකීර්ණ ප‍්‍රතිකාර ක‍්‍රම මඟින්) ඉඩකඩ හිමිවීමයි.
මාස් ශුද්ධියේදී බොහෝ කාන්තාවන් තමන්ට අධික රුධිර වහනයක් වන බව නිසි පරිදි හඳුනා  නොගන්නා අවස්ථා තිබේ. එබැවින්ම එහි අසාමාන්‍යතාවක් වේ නම් පහත කරුණු ආශ‍්‍රයෙන් ඒ බව මනාව හදුනා ගැනීම කළ හැක.


* සනීපාරක්ෂක තුවා භාවතයේදී පැයක් තුළ ඉන් එකක් හෝ වැඩි ප‍්‍රමාණයක් මාරු කරන්නට සිදුවීම.
* සනීපාරක්ෂක තුවා දෙකක් එකවර භාවිතා කරන්නට සිදුවීම නිතර නිතර සනීපාරක්ෂක තුවා මාරු කිරීම.
*රුධිරය පිටවීම දින හතකට (සතියකට) වඩා පැවතීම.
*එහිදී අක‍්‍රමවත් අයුරින් හා කැටි ආකරයට රුධිරය පිටවී යාම.
*මාස් ශුද්ධිය නරත වී තිබී යළි මාස කිහිපයකට පසු රුධිරය පිටවී යාම.
*මාස් ශුද්ධිය සිදුවන කාලය තුළ එදිනෙදා කටයුතුවලට බාධා ඇතිවීම.


මේ ආදි කරුණු වේ නම් මාස් ශුද්ධියේ අසාමාන්‍ය ලක්ෂණ හඳුනා ගැනීමට අසීරු නොවේ. එවැනි ලක්ෂණ වේ නම් එය හඳුනා ගැනීම කළ හැක. ඉහත ලක්ෂණ කාලයක් තිස්සේ පැවතීමෙන් රක්තහීනතාව ඇතිවන අතර ඒ නිසාම නිතර තෙහෙට්ටුවට පත්වීම සිදුවිය හැක.
මීට අමතරව අක‍්‍රමවත් අයුරින් රුධිරය පිට වන්නේ නම් එය අවධානය යොමුකළ යුතු අවස්ථාවකි. මෙහිදී වෛද්‍ය පරීක්ෂණයකට ලක්ව එයට හේතු නිසි පරිදි හඳුනා ගැනීම මඟින් ප‍්‍රතිකාර කරා යොමුවීම පහසුය.


මාස් ශුද්ධිය අක‍්‍රමවත් වීමට හේතු
ප‍්‍රජනක හෝර්මෝනවල ඇති අසාමාන්‍යතාවයන් නිසාත්, ඩිම්බ කෝෂවල ඩිම්බ නිකුත් නොවීම ( මෙරීම සිදු නොවීම) වැනි කරුණු නිසාත්, ගර්භාෂයේ ඇතිවන ෆ‍්‍රයිබ්‍රොයිඩ් ගෙඩි නිසාත් මෙවැනි තත්ත්වයක් ඇතිවය හැක. ගර්භාෂ කුහරයේ වන Polyps  තත්වයන් මෙයට හේතුවේ. උපත් පාලන ක‍්‍රමයක් ලෙස ලූපයක් පැළඳ සිටි නම් මාස් ශුද්ධියේදී රුධිර වහනය වීම වැඩි විය හැක. තවද මුල් අවස්ථාවේ සිදුවන ගබ්සාවීම් නිසාත්, ගර්භාෂ හා ඩිම්බ කෝෂ පිළිකා නිසාද රුධිර වහනය වීම විය හැක.කලාතුරකින් රුධිර කැටි ගැසීමේ දුර්වලතා නිසාද මෙය සිදුවේ.තවද භාවිතා කරන ඇතැම් ඖෂධ නිසාද මෙය සිදුවිය හැක.
උදා:- රුධිරය කැටි ගැසීම වළක්වන හෘද රෝගීන් සඳහා නියමිත ඖෂධ
මෙයට බලපෑ හැකි අතුරු රෝග කිහිපයක්ද වෙයි. ‍‍‍ඒ අතර තයිරොයිඩ් ග‍්‍රන්ථියේ දුර්වලතා නිසාත්, අක්මාවේ හා වකුගඩු ආශ‍්‍රිත රෝග නිසාත් මෙය සිදුවිය හැක.තවද විවිධ විෂබීජ ආසාදනයන් නිසාද රුධිරය අසාමාන්‍ය ලෙස පිටවී යා හැක.


මෙය බහුලව දැකිය හැක්කේ කා අතරද?
මෙය වැඩිපුර දක්නව ලැබෙන්නේ යොවුන් වියේ පසුවන වැඩිවියට පත්වූ අලූත තරුණියන්ටය.විශේෂයෙන්ම වයස 21ට පෙර මෙම අසාමාන්‍යතා බහුලව දක්නට ලැබේ.මෙම අයගේ ප‍්‍රජනන හෝර්මෝන පද්ධතිය මෝරා නොමැති බැවින් වැඩිපුර රුධිරය පිටවිය හැක.තවද ඩිම්බ මෙරීම සිදුනොවීමස නිසාද මෙය ඇතිවේ.


කාන්තාවන්ගේ ආර්තවහරණ ක‍්‍රියාවලිය අසාන්නයේ සිටින විටද මාස් ශුද්ධියේදී වැඩි රුධිර ප‍්‍රමාණයක් පිටවීමට ඉඩ ඇත. එමෙන්ම මීට ඉහත කී විවිධ රෝග තත්ත්වයන් නිසාද මෙවැනි වෙනස්කම් ඇතිවේ.
මෙය දිගින් දිගටම පැවතීම


මෙහි වන බරපතල තත්ත්වය නම් මෙය දිගින් දිගටම පැවතීමෙන් යකඩ ඌනතා, රක්තහීනතාවය ඇති විය හැක. තවද ඇතැම් ඖෂධ වර්ග නිසාද අතුරු ආබාධ ඇතිවිය හැක. මෙය නිවැරදව හඳුනා ගැනීම වැදගත් අතර ඒ සඳහා වෛද්‍යවරයා හා සාකච්ජා කිරීම වැදගත්ය. මෙහිදී එහි ඉතිහාසය පිළිබඳවද වෛද්‍යවරයා සමඟ සාකච්ජා කිරීම වැදගත් වෙයි.


පරීක්ෂණ සිදුකළ යුතුද?
මෙහිදී ලේ පරීක්ෂණයක් හෝ ස්කෑන් පරීක්ෂණයක් සඳහා යොමුවීම වැදගත් අතර පැප් පරීක්ෂාවක් මඟින්ද එම ගැටලූ හඳුනාගත හැක. කායික පරීක්ෂාවද මෙහිදී වැදගත් විය හැකිය.
එමෙන්ම හිමොග්ලොබින් තත්වයද මෙහිදී පරීක්ෂාකර බැලිය යුතු අතර ගර්භාෂ ආස්තරණ කුහරයේ අභ්‍යන්තර කොටස් පරීක්ෂාවද මෙහිදී සිදුකරනු ලැබේ.
ඒ ලැබෙන වාර්තා අනුව ගර්භාෂය තුළට කුඩා කැමරාවක් යවා Hysteroscopy මඟින් අසාමාන්‍ය තැන් වෙනම එහි කොටස් ගෙන පරීක්ෂා කිරීම වැදගත් වෙයි.


ප‍්‍රතිකාර විධි
හේතු කාරක අනුව ප‍්‍රතිකාර කළයුතු වේ.අධිකව ලේ වහනය වීම නිසා ලේ මදිකමක් සිදුවිය හැක.එවිට යකඩ පෙති ලබාදීමට සිදුවේ. තවද වේදනාවක් සමනයට වේදනා නාශක පෙති ලාබදීමටද සිදුවේ. එවිට අධිකව රුධිරය පිටවීම නතර වන අතර අසාමාන්‍යතාව මඟ හරවා ගැනීම සඳහා හෝර්මෝන පෙති ලබාදීම බොහෝවිට සිදුවේ. හෝර්මෝන ඇතුල් කරන ලද ලූපයක් පැලදීම (ගර්භාෂයට ඇතුල් කිරිම මඟින්) ගැටලූකාරී අවස්ථා පාලනය කළ හැක.


මෙහිදීත් රුධිරය පිටවීමේ අඩුවක් නොවේ නම් Hysteroscopy  පරීක්ෂාවකින් පසුව ගර්භාෂ ආස්තරණ බිත්ති සූරා දැමීම, ලේසර් කිරණ ප‍්‍රතිකාර අතර තුර කළ හැක. තවද ෆ‍්‍රයිබ්‍රොයිඩ් ගෙඩි වේ නම් එය අයින් කිරිම මඟින්ද මෙම තත්ත්වය පාලනය කළ හැක. ඇතැම් විටෙක මේ සියල්ල කළද මාස් ශුද්ධියේදී සිදුවන අධික රුධිර වහනය පාලනය කළ නොහැකි අවස්ථාද වේ. කලාතුරකින් එවන් විටක ගර්භාෂය ඉවත් කිරීමටද සිදුවය හැක.


මඳ සරුබව පිළිබඳ විශේෂඥ සහ නාරිවේද විශේෂඥ වෛද්‍ය මිල්හාන් බාචා
පවුල් සෞඛ්‍ය කාර්යාංශය
ද සොයිසා කාන්තා රෝහල

උපුටා ගැනීම සුවනෙත (රිවිර පුවත්පත) ඇසුරෙනි.